free stats

ඹබ සහ ඔබේ සහකරු දරුවකු පිළිබඳව සිහින මවනවා විය හැකිය. ඇතැම්විට මෙම සිහිනය කඩිනමින් යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඔබ අපේක්ෂා කරනු ඇත. මේ නිසාවෙන්ම ඉක්මන් ගැබ් ගැනීමකට සූදානම් වන ඔබ ඊට අවශ්‍ය ශාරීරික හා මානසික සුවය වටහා ගත යුතුය.

ඔබ දැනටමත් මවක විය හැකියි නැතහොත් ඔබ පළමු දරු පැටියා පිළිබඳ සිහින මවනවා විය හැකියි. කෙසේ වුවත් ඉක්මන් දරු උපතකට බලාපොරොත්තු වන ඔබ සැළකිළිමත් විය යුතු කරුණු ගණනාවකි.

ඒ අනුව බාහිර රෝග පවතින්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එම රෝග සුවකර ගැනීමට ඔබ වගබලා ගත යුතුයි. එසේ නැතහොත් එම රෝග පාළනය කර ගැනීමට වග බලා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතුයි.

මෙයට හේතුව වනුයේ ගැබ් ගන්නා කාන්තාව මනා සෞඛ්‍ය මට්ටමක සිටිය යුතු වීමයි. මවට කිසියම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් එය බිහිවන දරුවාට බලපෑමක් ඇතිකළ හැකියි. එමෙන්ට මවට පවතින යම් යම් රෝගී ත්ත්වයන් හේතු කොටගෙන ගර්භණී සමයේ දී විවිධ සංකූලතා ඇතිවිය හැකියි. ඒ සඳහා ඇති අවධානම ඉහළ අගයක් ලනු ලබයි. මේ නිසාවෙන් ඒ පිළිබඳ වබා සැළකිලිමත් වන්න.

දියවැඩියාව අධි රුධිර පීඩනය හෝර්මෝන අසමතුලිත බව හෘදයාබාධ පවතින්නේ නම් ඒවා හොඳින් පාලනය කරගත යුතුයි. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන බව ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි. සුදුසු පරිදි ප්‍රතිකාර ආදිය වෙනස් කරවා ගත යුතුයි.

මීලඟ කරුණ වනුයේ ශරීර ස්කන්ධ ප්‍රමාණය පිළිබඳව නිසි අවධානයකන් යොමු කිරීමට ඔබ වග බලා ගත යුතු වීමයි. විශේෂයෙන්ම උසට සරිල බරකින් යුක්ත වීම එසේ නැත්නම් නියමිත ඊඵෂ අගය පවත්වාගෙන යාම වැදගත් වේ. අධි බර තත්ත්වයක ඔබ පසු වන්නේ නම් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඔබ නියමිත බර මට්ටමකට පැමිණිය යුතුයි. ශරීර ස්කන්ධ ප්‍රමාණය අධි බර තත්වයට පත් වුවහොත් එමගින් රෝග ඇති වීමේ අවකාශය මෙන්ම ඔබ ගර්භණී වීමෙන් පසු කුස තුළ සිටින දරුවාට ද යම් යම් රෝගී තත්වයන් ඇති වීමේ අවකාශය පවතී. එමෙන්ම බර වැඩි වීම මත නියම්ත දිනට ප්‍රථම දරුවා බිහි කිරීමේ අවධානමද ඇති විය හැකියි.

බර වැඩි වීම මෙන්ම අඩු වීමද මත විවිධ සංකූලතාවයන් ඇති විය හැකි බව මේ අනුව හඳුනා ගත හැකිය. නියමිත කාල වකවානුවට පෙර ප්‍රසව වේදනා ඇති වීමේ අවධානම ඇති වීම නියමිත ප්‍රමාණයට වඩා බර අඩු වීමේ ප්‍රතිඵලයකි. එමෙන්ම බර අඩු දරුවන් හට රෝග බෝ වීම සහ අනාගතයේ දී චර්යාත්මක ගැටළුවලට මුහුණ දීමට පවා සිදු වේ. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී යම් යම් රෝගී තත්වයන්ට පවා ලක් විය හැකියි. මේ නිසාවෙන්ම ගර්භණී භාවයට පත් වීමට අපේක්ෂා කරන ඔබ ඔබේ සිරුර පිළිබඳව නිසි අවධානය යොමු කරන්න.උසට සරිලන නියමිත බරක් පවත්වාගෙන යාමට සැළකිපලිමත් වන්න.

මනා පෝෂණයක් ඔබේ සිරුරට ලබා ගැනීමට ද අමතක නොකරන්න. මන්ද ඔබ ගර්භණියක් වීමෙන් පසු නිසි පෝෂණයක් නොපැවතුනහොත් කුස තුළ වර්ධනය වන කලලයට මෙන්ම ඔබට ද ඉන් බලපෑම් එල්ල විය හැකියි. මෙය දරුවාගේ නිරෝගීභාවය කෙරෙහි ද බලපාන්නට ඉඩ තිබේ. මේ නිසාවෙන් ඔබ නිවැරදි ආහාර රටාවක් ලබා ගැනීම වැදගත් වේ.

ගර්භණියක් වීට සිහින මවන ඔබ මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වනුයේ ෆෝලික් අම්ලය ලබා ගැනීමයි. ඔබ ගර්භණීභාවය පිළිබඳ සිතන්නට පටන් ගත් දිනයේ සිටම ෆෝලික් අම්ල පෙත්තක් ලබා ගන්නේ නම් වැදගත් වේ. ප්‍රමාණවත් ෆෝලික් අම්ල සාන්ද්‍රනයක් පිළිසිඳ ගන්නා මොහොත වන විට සිරුර තුළ නොතිබුණහොත් එය ඔබ කුස තුළ පිළිසිඳ ගන්නා දරුවාගේ මොළයේ සහ ස්නායු ආබාධ ඇති කිරීමට එය හේතුවක් වේ. මේ නිසාවෙන් ෆෝලික් අම්ලය ලබා ගැනීමට අමතක නොකිරීමට වග බලා ගන්න.

ඉක්මන් දරු උපතකට සූදානම් වන ඔබ සැලකිලිමත් විය යුතු තවත් කාරණාවක් වනුයේ සරු කාල සීමාව තුළ ලිංගික එක් වීමක් සිදු කිරීමය. කාන්තාවකගේ ආර්තව චක්‍රය තුළ ගැබ් ගැනීමකට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලයයි. ක්‍රමවත්ව දින විසි අටකට වරක් ඔසප් වීම සිදු වන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නේ අවසන් වරට ඔසප් වීම ඇරඹුන දිනයේ සිට 12- ත් 16 අතර කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිට වුවත් ගැබ් ගැනීමේ අවකාශය පවතිනවා. ඔසප් චක්‍රය ආරම්භ වන්නේ ඔසප් වීමත් සමගයි.

එතැන් සිට ඩිම්භ කෝෂ වලින් ඊලග මාසය තුළ පිට වීම සදහා ඩිම්බ මේරීම සිදු වේ. ඩිම්බයක් පිටවීම සදහා සුදුසු තත්වයට මේරීමට දින 14 ක් පමණ ගත වේ. මෙය යම් තාක් දුරට වෙනස් වන්නත්හෙැකියාව පවතියි. ශුක්‍රාණුවක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ දින පහක් පමණ සජීවී ව තිබේ. මේ අනුව ගැබ් ගැනීමනට සුදානම් වන ඔබ මේ හේතුවෙන් ඩිම්බයක් සහ ශුක්‍රාණුවන් එක් වී සංසේචනයක් සිදු වීමට ඩිම්බ පිට වන දිනට ආසන්න දිනකදී ලිංගික එක් වීමක් සිදු කිරීම වැදගත්ම කාරණයක් වේ. මේ අනුව ඩිම්බ පිටවන දිනයට දින දෙකකට පෙර සහ දින දෙකකට පසු දින දක්වා සරු කාලය ලෙස හඳුන්වන කාල සීමාව තුළ ලිංගික එක් වීම වැදගත් වේ.
ලංකාව වැනි රටවලනම් කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ මට්ටමක පවතින්නේ නෑ. නමුත් එවැනි පුරුදු ඇති කාන්තාවක් නම් ගර්භණීභාවයට ප්‍රථම එවැනි අහිතකර පුරුදු වලින් ඈත් වීම ගර්භණී භාවයට පෙර ඔබ අනිවාර්යයෙන් මතක තබා ගන්න.

ගර්භණී භාවයට පත් වීම යනු ජීවිතයේ සුන්දරතම අවස්තාවකි. එමෙන්ම වඩාත් සැලකිලිමත් විය යුතු කාල සීමාවකි. මේ නිසාවෙන්ම ඔබ ගර්භණියක් වීමට පෙර ඉහත සඳහන් කළ කාරණාවන් කෙරෙහි මෙන්ම ඔබලේ මානසික සෞඛ්‍ය යහපත් තත්වයකට පත් කර ගැනීමටත් උනන්දු වන්න.

සටහන නදීශා ගයානි