free stats

මේ ඔයාගේ 6 වෙනි මාසය. ඒ කියන්නේ දෙවැනි ත්‍රයිමාසිකය අවසාන වෙන්නයි යන්නේ. මේ මාසේ ටිකක් වෙනස්. ඉන් මාස වලට වඩා ඔයාට දැන් ශක්තියක් අලුතින් එකතු වෙලා තියෙනවා. ශරීරයට බොහොම සහනදායී හැඟීමක් දැනෙන කාලයක්. කලින් මාස වල තිබුණු කලන්ත ගතිය, වමනේ වගේ දේවල් දැන් නැහැ. 

හැබැයි මේ මාසෙත් යම් යම් අසීරුතා ටිකක ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අද කතා කරලා බලමු 6 වැනි මාසෙ ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන් අපහසුතා මොනවාද කියලා.  

පපුවේ දැවිල්ල

මේ තත්ත්වය ඇති වෙන්නේ ගර්භනී සමයේ එන හෝමෝන වෙනස් වීමත් එක්ක. ඒ නිසා උදරයේ තිබෙන valve සිදුවන වෙනස්කම් මේකට හේතුවක්. මේ තත්ත්වය දිගින් දිගටම තියනව නම් දිනකට කුඩා ආහාර වේල් හයක් පමණ ගන්න පුරුදු වෙන්න. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමට බලපාන ආහාරවලින් ඈත් වෙන්න. 

කොන්දේ කැක්කුම

අපි මේ ගැන පස්වැනි මාසයේදී කතා කළා. දැනෙන විශාල වීමත් එක්ක කොන්දේ තිබෙන නැමුණු ගතිය වැඩි වෙන නිසා කොන්දේ කැක්කුම යන්න පුළුවන්. ඒවගේම දැන් ඔයාගේ බරත් වැඩි වෙලා තියෙන්නේ. මේ අතිරේක බර දරාගන්න සිද්ධවෙන්නේ කොන්දට ම තමයි. අසාමාන්‍ය දරාගන්න අමාරු කොන්දේ කැක්කුමක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන එක හොඳයි. 

කලන්ත ගතිය

බබාගේ වර්ධනයත් එක්ක රුධිර ගමනාගමනය වෙනස්කම් සිද්ධ වෙනවා. බබාට වර්ධන වෙන්න අතිරේක රුධිරය අවශ්‍යයි. ඒ නිසා සමහර වෙලාවට රුධිර සැපයුම වේගවත් වෙනවා. සමහර අවස්ථාවල මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. මේ කියන හේතු කාරණා හින්දා කලන්ත ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ තත්ත්වය එන්නෙ වාඩිවෙලා ඉඳලා නැගිටිනකොට, නින්දෙන් අවදිවෙලා එකපාරටම ඇඳෙන් නැගිටිද්දී වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල හදිසියේ ඇද වැටීම සිදු විය හැකි නිසා පරිස්සම් වීම වැදගත්. 

කෙන්ඩා පෙරලිම

කකුලේ දණහිසින් පහල කොටසේ මස්පිඩු වන පෙරලීමක් මේ කාලේ සමහර මව්වරුන්ට ඇති වෙනවා. නමුත් මාස පහේදී සඳහන් කළා වගේ පුංචි පුංචි ව්‍යායාම වල නිරත වෙන්න පුලුවන්නම් මේ තත්ත්වය මඟහරවා ගන්න එක පහසුයි. නිතර නිතර මේ තත්ත්වයට ලක්වෙනවා නම් උණු වතුර නාන්න, ඒ වගේම ස්පිඩු පෙරලෙන ප්‍රදේශවල අයිස් වතුර තියලා තවන්න. 

හදවතේ ගැස්ම වැඩි වීම

හදවතේ ගැස්ම වැඩිවීම මේ කල් සිදුවෙනවා. ඒ ගති ඔබටත් දැනෙනවා. ඒකට හේතුව ඔබේ හදවත ටිකක් වැඩිපුර වැඩ කරන්න පටන් අරන්. මොකද හොඳ රුධිරය ඔබේ සිරුර පුරා අරගෙන යන්න හදවතට සිදුවෙලා තියෙනවා. මුලින් කිව්ව වගේ බබාගෙ වර්ධනය සඳහා රුධිරය වැඩි වශයෙන් අවශ්‍ය නිසා හෘදය වස්තුව අධික වේගයෙන් වැඩ කරනවා. 

දැන් බලමු බබාගෙ වර්ධනය කොහොමද කියලා.

බබාගේ ඇස් පිහාටු වර්ධනය වෙලා. දැන් එයාගේ ඇස් බෝල එහාට මෙහාට හරවන්න පුළුවන්. ඔයාගේ කටහඬට බබා ප්‍රතිචාර දක්වනවා. මේ මාසෙදි එයාගේ පෙනහළු සම්පූර්ණයෙන්ම වර්ධනය වෙනවා. දැන් එයා බාහිර ලෝකයට එන්න සූදානම්. ඒ තරමට වර්ධනය වෙලා. මේ මාස දී තමයි බබාගේ ඇඟිලි සලකුණු වර්ධනය වෙන්නේ. එයාට අම්මගෙයි තාත්තගෙයි ජාන ලැබුණට මේ ඇඟිලි සලකුණු නම් අයිති එයාට විතරමයි. 

මේ මාසේ බබාගේ ප්‍රමාණය අඟල් 12 යි. බරත් චුට්ටක් විතර වැඩි වෙනවා. 

අම්මා ගේ සිරුරේ වෙනස්කම් මොනවාද?

අම්මගේ බර අවුන්ස 10 – 15 පමණ වෙනවා. උදරය ටිකක් ඉදිරියට නෙරාගෙන එනවා. මේ කාලේ තමයි අම්මට ව්‍යායාම අවශ්‍ය වෙන්නේ. වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම් වලට යොමු වීම ඉතාම හොඳයි. ඒ වගේම ඔයා මතක තියා ගත යුතු තවත් වැදගත් කාරණාවක් තියනවා. 

හොඳට වතුර පානය කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්න. හොඳට නිදා ගන්න. සතුටින් ඉන්න. 

ඒ වගේම ඔයාගේ සැමියාත් එක්ක, ඒ කියන්නේ බබාගේ තාත්තත් එක්ක සතුටින් කාලය ගත කරන්න, ලිංගික සබඳතා පවත්වන්න බාධාවක් නෑ. ඒ සඳහා සුදුසු ඉරියව්ව තෝරා ගැනීම ඔබේ වගකීමක්. එහෙම සම්බන්ධතා පවත්වන්න අවශ්‍ය නෑ කියල හිතුනොත් ඒකත් සාමාන්‍ය තත්වයක්.