free stats

“මගේ හීනය වුණේ අවුරුදු දෙකහමාරක් වයස මගේ දුවට සහෝදරයෙක් අරගෙන එන්න. අවාසනාවකට ඒ හීනේ සැබෑ කරගන්න මට බැරි වුණා. එයාට සති දහතුන හමාරක් වෙද්දි මට තේරුණා මොකක් හරි වෙනසක් වරදක් තියෙනවා කියලා. මම රෝහලට යද්දිත් මං ඇත්තටම පරක්කුයි.” 

මේ ඇමරිකාවේ මවක් තමන් ට සිදුවුනු miscarriage එකක් පිළිබඳව ලියල තිබුණු සංවේදී සටහනක්. ලෝකයේ දියුණු සෞඛ්‍ය සේවාවක් සහිත ඇමෙරිකාවේ වර්ෂයකට 10-15% ප්‍රමාණයකට miscarriage සිදුවෙනවා. ඒ වගේම තවත් දරුවන් 24000 ක් පමණ ක්ම උපතේදී මිය යනවා. මේක ඉතාම ඛේදජනක තත්වයක්. 

එවැනි අවස්ථාවක මවකට වටපිටාවෙන් වචනයෙන් වගේම ක්‍රියාවෙන් ලොකු සහයක් අවශ්‍ය වෙනවා. මෙහිදී අනෙක් අය අවබෝධ කරගත යුතු ප්‍රධානම දෙයක් තියෙනවා. miscarriage වෙන්නේ කාගෙවත් අවාසනාවකට නෙවෙයි. එයින් ඇයට නැවත කිසි දිනක දරුවන් ලැබිය නොහැකියි කියලා අදහස් වෙන්නෙත් නෑ. එනිසා මෙවන් අවස්ථාවකට මුහුණ දුන් මවක් ඉදිරියේ ඔබේ වචන ඉතා ප්‍රවේසමෙන් භාවිතා කළ යුතු බව අවධාරණය කළ යුතුයි. 

සුළුවෙන් සංවේගය පළකරන්න

දරුවා අහිමි වුණාට පස්සේ මවකට තවදුරටත් ඒ පිළිබඳව අතිවිශාල පැහැදිලි කිරීම් සහ තර්ක වලට සවන් දෙන්න අවශ්‍යතාවයන් නැහැ. ඒ නිසා සුළුවෙන් පිළිබඳව ඔබේ කණගාටුව පළ කරන්න. මේ වෙලාවෙදි ඔබ මතක තබාගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ මෙවැනි අවස්ථාවකට ඔබ මුහුණ දුන්නොත් ඔබට දැනෙන්නෙ මොකක්ද අනිත් අයගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එක විතරයි. 

තත්ත්වය මගාරින්න එපා

සමහර විට ඔබේ මිතුරියක් මෙවැනි අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා නම් ඔබට මේ තත්ත්වය යටතේ ඇය මගාරින්න බැහැ. නමුත් ඔබට තේරෙනවා නම් මේ වෙලාවේදී වාචිකව හෝ ක්‍රියාවෙන් යමක් කරන්න බැහැ කියලා ඇය එක්ක කාලය ගත කරන්න. කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ඉද්දී හෝ දරුවා ලැබුණු මුල් දවස්වල ඇයව බලන්න හැමෝම එනවා. දුක සැප කතා කරනවා. හැබැයි හදිසියේ හරි දරුවා නැති වුනොත් ඊට පස්සේ කවුරුත් තෑව බලන්න ඒ අම්මා තාත්තා එක්ක කතා කරන්න එන්නේ නෑ. සම්පූර්ණයෙන්ම ඔවුන්ව අත්හැරලා දානවා. මේ තත්ත්වය හරිම වේදනාකාරී. ගොඩක් මිනිස්සු හිතනවා එවැනි අවස්ථාවක ඒ අයට තනියම ඉන්න දෙන්න ඕනේ කියලා. ඒ අය තවදුරටත් මේ ගැන කතා කරන්න කැමති නැහැ කියලා හිතනවා. ඒත් ඇත්ත එක නෙවෙයි. කෙනෙකුට සහයක් උදව්වක් අවශ්‍ය වෙන්නේ මේ වගේ අවස්ථාවල. ඔබට කියන්න කිසිම දෙයක් නැතත් අඩුම තරමේ ඔවුන් ළඟට වෙලා ඉන්න. 

හිත හදාගන්න උදව් කරන්න

දරුවෙක් අහිමි වුනා කියලා කියන්නේ අර මුලින් කිව්ව වගේ ම සදාකාලිකවම නැවත දරුවෙක් බිහි කරන්න බෑ කියන එක නෙවෙයි. සමහර විට සිරුර විසින් එවැනි දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දරුවන්ට අනෙක් සාමාන්‍ය දරුවන් මෙන් පරිසරය තුළ තමන්ගේ සුරක්ෂාව තහවුරු කරන්න බෑ කියලා තේරෙන නිසයි. ඒ නිසා මෙවැනි අවස්ථාවක් කියලා කියන්නේ වාසනාව හෝ අවාසනාව පිළිබඳව සලකා බලන තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා යම් මවක් මෙවැනි අවස්ථාවකට මුහුණ දීලා ඉන්නවනම් ඇයට හිත හදාගන්න උදව් කරන්න. miscarriage එකකින් මාස තුනකට පස්සේ නැවත මව් පදවිය සඳහා සාමාන්‍ය පරිදි සූදානම් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඇයව දැනුවත් කරන්න. වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරවන්න. 

පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න

මෙවැනි අවස්ථාවල අම්මා වගේම තාත්තත් තමන්ට දැනෙන දුක සහ වේදනාව හින්දම සමහර විට හොඳින් ආහාර ගන්නේ නෑ. ඒ වගේ වෙලාවකට එයාලට කන්න කැමති විදිහට කෑම ටිකක් හදලා දෙන්න. හදිසියේම කෑම ඕඩර් එකක් ගෙදරටම යවන්න. එයාලා පුදුම කරවන්න. ඒක ඔවුන්ට මේ වෙලාවෙදි සෑහෙන්න දැනෙයි. 

හොයලා බලන්න ඇහුම්කන් දෙන්න

ගොඩක් වෙලාවට මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නට පස්සේ ඒ ආසන්න කාලෙදි හැමෝම ඒ අය ගැන හොයලා බලනවා. නමුත් සති කිහිපයකට පස්සේ හුඟක් දෙනෙකුට ඔවුන්ගේ තත්ත්වය ගැන හොයන්න මතක් වෙන්නේ නැහැ. නමුත් අඩුම වශයෙන් වසරක් පමණ යනකල්  ඔවුන් එක්ක ඉන්න එක, ඔවුන්ගේ මනස  වෙනත් දේකට යොමු කරවන්න උදව් කරන එක ඔබ අතින් විය යුතුයි. සමහරවිට යම් මවක් මේ සිදුවුනු සිදුවීම ගැන දීර්ඝ කාලයක් ඔබ සමඟ කතා කරයි. අඬයි. ඒ වගේ වෙලාවට

“දැන් ඕක අමතක කරලා හිත හදාගන්න” 

කියනවා වෙනුවට ඇයට ඇහුම්කන් දෙන්න. 

Miscarriage ද stillbirth ද

අපි කෙනෙක්ට උදව් කරන්න යන්න ඕනේ ඇත්තටම ඇය මූණ දුන්න තත්ත්වය මොකද්ද කියල හරියටම දැනගෙන. මොකද එතනදි ඔබ දෙන සමහර උපදෙස්, සමහර උදව් අදාල වෙන්නේ ඒ තත්ත්වයට අනුවයි. එනිසා Miscarriage ද stillbirth (මළ දරු උපත්) ද කියල හරියටම දැනගෙන අදාළ උපදෙස් සහය ලබා දිය යුතු බව තරයේ මතක තියාගන්න. 

වැදගත්ම දේ

මිනිස්සු එක එක විදිහයි. සමහර කෙනෙක් තමන්ට සිදුවනු මේ සිද්ධියෙන් සම්පූර්ණයෙන්ම මානසිකව වැටෙද්දී තවත් කෙනෙක් ඉතා ශක්ති මට්ටමේ තත්ත්වයට මුහුණ දෙනවා. එයින් අදහස් කරන්නේ නෑ ඔවුන්ට දුක හිතුණේ නෑ කියලා. එනිසා මිනිසුන්ගේ වෙනස අවබෝධ කරගන්න තරම් පරිණත වෙන්න. කෙනෙක් තමන්ට සිද්ධවෙන මොනම පීඩනයකදිවත් අඬන්නෙ නැතුව ශක්තිමත්ව ඉන්නවා කියන්නේ එයා 

 හැඟීම් දැනීම් නැති කෙනෙක් කියන එක නෙවෙයි. කෙනෙක් මේ වගේ අවස්ථාවකදී මොනතරම් උපදෙස් දුන්නත් මොනතරම් උදව් කළත් අඬනවා කියන්නේ දුක් වෙනවා කියන්නේ එයා දුර්වලයෙක් කියන එකත් නෙවෙයි. ඒක ඒ මිනිස්සුන්ගේ ස්වභාවය. 

එනිසා ඔබ කාට හරි උදව් කරනවනම්, හොඳ යාලුවෙක් වගේ ලගින් ඉන්නවනම් ඒ අයගේ මනුෂ්‍ය ස්වභාවයන් හොඳින් හඳුනා ගන්න. ඒක ඔබේ උදව්ව හරි ආකාරව ඉටු කරන්න හේතුවක් වෙයි.