free stats

දරුවෝ ඇස් දෙක වගේ රැකගන්න ඕන සම්පතක්. මේ නිසා පුංචි පැටියාගෙ ඇස් දෙක පරිස්සමින් ආරක්ෂා කරගැනීම අම්මලාගෙ වගකීමක්. කුඩා බිලිඳුන්ගෙ ඇස් වලින් කබ, කඳුලු ගැලීම සාමාන්‍යය තත්ත්වයක්. නමුත් ඇතැම් විට වැඩි වශයෙන් කබ, කඳුලු ස්‍රාවය වීම යම් කිසි අක්ෂි රෝගයක ලක්ෂණයක් වීමටත් ඉඩ තිබෙනවා. මේ නිසා ඇස පිලිබඳ දැනුම්වත්ව සිටීම පුංචි පැටව් ඉන්න අම්මලට හරි වැදගත්.

සාමාන්‍යයෙන් දරුවාගේ ඇස් දෙකෙන් වැඩිපුර කඳුලු ඒමට බලපාන හේතු කිහිපයක්
තිබෙනවා.

කඳුලු නාල සිරවීම
ආසාත්මිකතා
ආසාදන

මේ විවිධ හේතු සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම එකිනෙකට වෙනස් වෙනවා. ලදරුවන්ගේ ( අවුරුදු 1 ට වඩා අඩු ) කඳුලු ගැලීම රෝග රාශියක ලක්ෂණයක් වෙන්න පුලුවන් .

කඳුලු නාල සිරවීම.

මෙය ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙම තත්ත්වය කුඩා දරුවන්ගෙන් තුනෙන් එකකට පමණ පවතිනවා. කඳුලු නාල වල එක් කෙලවරක් ඇසේ එක් කොනකත් අනෙක් කෙලවර නාසයේද පිහිටා තිබෙනවා. බොහෝවිට සිදු වන්නේ උපතෙන් පසුව මෙම නාල වල විවරය විවෘත නොවීම හෝ විවෘත වූ විවරය පටු වීම නිසා කදුළු ගලා ඒම අවහිර වීමයි. සීයයට අනුවක් දරුවන්ගේ පලමු වසර සම්පූර්ණ වීමත් සමග මේ තත්ත්වය සුව අතට පත්වෙනවා. සාමාන්‍යයෙන් කඳුලු සිර වීම දින කීපයකින් ප්‍රතිකාර රහිතව සුව වීම දකින්නට හැකියි.

කඳුලු නාල සිරවීමට බලපාන වෙනත් හේතු

නාසය ඇතුලත ඇති අතිරේක මස් වැදලි
ඇසට සිදුවන තුවාල , ඇඟිල්ලෙන් කැසීම, ඇසෙහි බාහිර ද්‍රව්‍ය තැවරීම.
සැරව ගෙඩි ඇතිවීම
කබ ඇති වීම

කඳුලු නාල අවහිර වීම නිසා දරුවාගේ ඇසේ ආසාදන තත්ත්ව ඇති විය හැකියි. මෙය ෘ්ජරහදජහිඑසඑසි ලෙස හැඳින්වේ. මෙම රෝග තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ඇසේ ඇතුළු කෙලවර රතු වීම, නාසයේ පැත්තක් රතු වීම හා ඉදිමීම දකින්නට පුළුවන් . මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යයයි.

සෙම්ප්‍රතිශ්‍යාව

අඩු ප්‍රතිශක්තිය නිසා කුඩා බිලිඳුන් වැඩිහිටියන්ට වඩා ඉතා ඉක්මනින් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වෙනවා. මේ නිසා නාසයෙන් සොටු වතුර ගැලීම, නිතර කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකියි. සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ඇසටද බලපාන්නෙ මේ ආකාරයෙන්. ශ්වසන මාර්ගයේ උඩ කොටස වෛරස ආසාදනයකට ලක් වීම නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වෙනවා. මේ ශ්වසන මාර්ගය නාසයට සම්බන්ධයි. ඒ වගේම කඳුලු නාල හරහා නාසය ඇසට සම්බන්ධ වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනයකදී නාසයේ ඇතුල් පැත්තේ අපිච්චද පටක වලින් ශ්ලේශ්මල එනම් සොටු ස්‍රාවය වැඩි වශයෙන් පිට වෙනවා. ඒ නිසා අභ්‍යන්තරයේ පවතින අහිතකර බැක්ටීරියා මේ සොටු වල ඇලී හෝ කිවිසුම් මගින් හෝ සිරුරෙන් පිට වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව නිසා සොටු දියර ගලන විට නාල අවහිර වීම නිසා ඇස් වලින් කඳුළු පිට වීම දකින්නට පුළුවන් .

ආසාත්මිකතා –

මෙය සිදුවන්නේ පරිසරයේ ඇති ආසාත්මිකතා වලට හේතු වන උද්දීපන ද්‍රව්‍ය වලට දරුවාගෙ දෙඇස් නිරාවරණය වීමයි. මෙම උද්දීපන ද්‍රව්‍ය වලට ප්‍රතිචාර දක්වන අයුරු දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා.

අක්ෂි පටල ප්‍රදාහය.

ක්‍දබවමබජඑසඩසඑසි හෙවත් අක්ෂි පටල ප්‍රදාහය යනු ඇස් පියන්පතේ ඇතුල් පැත්තේ ඇති සියුම් පටලයේත්, ඇසේ සුදු කොටස මතුපිටින් ආවරණය කරන සියුම් පටලයේත් ඇතිවන ඉදිමීමේ තත්ත්වයක්. මේ අක්ෂි පටල ප්‍රදාහය ආසාදනයක් ලෙස හෝ ආසාත්මිකතාවක් ලෙස වැලඳීමේ හැකියාව තිබෙනවා.

ඇස් ලෙඩ තත්ත්වය ආසාදනයක් ලෙස වැල⁣ඳේ නම් ඒ සඳහා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් වීමට හෝ නැතිනම් එය වෛරස් ආසාදන තත්ත්වයක් වීමටයි. මේ අවස්ථා දෙකෙනුත් ඇතැම් බැක්ටීරියා ආසාදන වලදී රෝග ලක්ෂණ බරපතල වෙනවා. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ පානය හෝ එන්නත් මගින් ලබා දීම සිදු කරනව වෛරස් මගින් සිදුවන ඇස් ලෙඩ තත්ත්වය විශාල අපහසුතාවක් ඇති කරයි. එය අන් අයට බෝ වීමේ ඉඩද වැඩියි.

ආසාත්මිකතා මගින් සිදුවන අක්ෂි පටල ප්‍රදාහය බෝ නොවන රෝග තත්වයක්. ඇස් මතට යම් උද්දීපන ද්‍රව්‍ය ( මල් පරාග, දූවිලි, දුම ආදී ) වැටීම නිසා ඇස් රතුවීම, කැසීම සිදු වෙනවා.

ඇතැම් බැක්ටීරියා ආසාදන නිසා ඇසෙන් කහ හෝ දුඹුරු පැහැයට කබ සමග ස්‍රාව පිට වීම දකින්නට හැකියි. මෙම බැක්ටීරියා ආසාදනය දුලබ රෝග තත්වයක්. නමුත් එය ඉක්මනින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍යයි .

ප්‍රතිකාර

විවිධ රෝග තත්ත්වයන් සඳහා වෙනස් ප්‍රතිකාර අවශ්‍ය වන අතර ඇතැම් අක්ෂි රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර , ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. අනෙකුත් අක්ෂි රෝග තත්ත්ව ඉබේම සුව වීම දක්නට හැකියි.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කවර අවස්ථා වලදීද ?

අලුත උපන් දරුවාගේ අසීමිත කඳුළු වහනය ඇතිවිට ( බොහෝ විට පැය 24 ක් ඇතුලත)

-ඇස් රතු වීම
-ඇසෙන් ස්‍රාවයක් / සැරව ගැලීම
-ඇසේ වේදනාව
-ආලෝකය දෙස බැලීමට අපහසු වීම
-අධිකව ඇස් කැසීම

ඔබේ පුංචි පැටියාට ඇස ආශ්‍රිතව යම් අපහසුතා තත්වයක් පවතින බව ඔබට පෙනේනම් වෛද්‍ය
උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

වෛද්‍ය ගනිදු මාධව මහතා
සීමාවාසික වෛද්‍ය නිලධාරී
උතුරු කොළඹ ශික්ෂණ රෝහල
රාගම


සටහන කුමුදිකා සපුතන්ත්‍රි