free stats

පුංචිම කාලේ දරුවන්ගේ කිරි දත් ගැන අම්මලා හරියට වද වෙනවා. සමහර වෙලාවට දරුවගෙ දත් වැඩි හොදට ආරක්ෂා කරන්න අම්මලා කරන සමහර දේවල් නිසා පුංචි පැටියගෙ කිරි දත් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවාගෙ කිරි දත් ගැන වගේම රෝගාබාධ වලින් තොරව කිරි දත් පරිස්සම් කරගන්න විදිය ගැනත් අම්මලා දැනුවත් වෙලා සිටීම හරිම වැදගත්.

දරුවෙකුගෙ ළදරු අවධියේදි මුලින්ම පැමිණෙන දත් අපි හදුනාගන්නේ කිරි දත් ලෙසයි. වැඩිහිටියෙකුගේ සම්පූර්ණ ස්ථිර දත් 32 ක් තිබුණත් කුඩා අවධියේ කිරි දත් පැමිණෙන්නේ 20 ක ප්‍රමාණයක්. දරුවාට මාස 6 සම්පූර්ණ වූ පසුව මේ කිරි දත් ඒමට පටන් ගන්නවා. පලමුව මතුවන්නේ යට ඇන්දේ ඉදිරිපස දත් කීපයයි. ඒවා දරුවා මාස 8 ක් පමණ ගිය පසු මතුවෙනවා. සම්පූර්ණ කිරි දත් 20 පැමිණීමට වසර එක හමාරක් දෙකක් වැනි කාලයක් ගතවනවා. දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වූ පසුවත් දත් ඒම ප්‍රමාද වීම බොහෝ දෙමාපියන්ට ඇති විශාල ගැටලුවක්. නමුත් ඒ තත්වය බිය වීමට අවශ්‍ය කාරණයක් නොවේ. වසර දෙකක් ගතවූ පසුවත් දරුවාගේ කිරි දත් ඒම ප්‍රමාද නම් එවිට දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැසීම සුදුසුයි. ස්ථිර දත් ඒමට පටන් ගන්නෙ අවුරුදු 5 න් පසුවයි. මුලින්ම යට ඇන්දේ කිරි දත් වැටීම ආරම්භ වෙනවා. අවසාන කිරි දත වැටෙන්නේ අවුරුදු 12 ක් පමණ වූ විටයි.

ස්ථිර දත් තරමටම කුඩා දරුවාගෙ කිරි දත්ද ඉතාම වැදගත් වන්නේ ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට ,දරුවාගේ මනා වර්ධනයට, වචන හොදින් උච්චාරණයට හා ආහාර මනාව සැපීමට ආදි අවශ්‍යතාවන් සදහායි.

කිරි දත් එන ලකුණු ගැන ඔබ දැනුවත්ද?

1) දරුවාගේ මුවින් නිතරම කෙල වැගිරීම, කෙල බෝල පිම්බීම.

ඇතැම් විට වෙනත් උගුරේ ආසාදන හා සෙම් රෝග තත්ත්ව නිසාත් දරුවාගේ මුවින් නිතර කෙල පිටවීමට ඉඩ තිබෙනවා. දෙමාපියන් ලෙස ඔබ ඒ පිළිබද අවධානය යොමු කිරීම වැදගත්.

2) දරුවා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම. මෙහිදී සිදුවන්නේ දත් ඒමේදී ඇති වන වේදනාව නිසා කෑම ගැනීමට කුඩා දරුවා තුල අකමැත්තක් ඇති වීමයි.

3) මවගෙන් කිරි බොන අවස්ථාවේදී තන පුඩුව සැපීම, විවිධ සෙල්ලම් බඩු හා අතට හසුවන දේවල් සැපීමට යොමු වීම.
දරුවා මෙසේ සිදුකරන්නේ අලුතින් මතු වන කිරි දත් වලින් ඇතිවන වේදනාව අඩු කර ගැනීමටයි. මේ සදහා ඔබට උපක්‍රමයක් ලෙස ආහාර ලබාදීමේදි දරුවාට තරමක තද ආහාර එනම් තැම්බූ කැරට් කැබලි, අඹ කැබලි වැනි දේ උගුරේ හිර නොවන ලෙස ලබා දෙන්නට පුළුවන් .

4) දරුවාගේ විදුරු මස් පරික්ෂා කර බැලීම.
ඔබටම දරුවාගේ විදුරුමස් පිරිසිදු ඇගි⁣ල්ලෙන් පිරිමැද බලන විට උල් උල් සේ ඇගිල්ලට දැනේ නම් ඒ කිරි දත් මතුවීමේ ඉගියක්. විදුරු මස් රතු වීමද මෙහිදී දකින්නට පුළුවන් .

කිරිදත් වල ඇති වැදගත්කම.

ස්ථිර දත් එනතුරු මුඛයේ පිටුපස කිරි දත් තබා ගැනීම වැදගත් වෙනවා. අවම වශයෙන් කිරි දත් කුඩා කොටසක් හෝ තිබීම අවශ්‍යයයි. ඊට හේතුව ස්ථිර දත් ඒමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය තබා ගන්නට කිරි දත් තිබීම මනා රුකුලක් වීමයි.

දරුවාගේ දත් දිරා යාම ගැන දැනුවත්ද?

කිරි දත්වලට ඇතිවන ප්‍රධානම ගැටලුව වන්නේ දත් දිරා යාමයි. ලදරු අවධියේ දත් නරක් වීමේදි සිදුවන්නේ දතේ සුදු වර්ණයට වඩා වැඩි සුදු ගතියක් දතේ දකින්නට ලැබීමයි. ඉන්පසු එය දුඹුරු පැහැයට හැරීමට පටන් ගන්නවා. මේ අවස්ථා වේදී ෆ්ලෝරයිඩ් හා කැල්සියම් සහිත දන්තාලේපයකින් දත් මැදීමෙන් එම තත්ත්වය මග හරවා ගන්න පුළුවන්. ඔබේ දරුවාගෙ කිරි දතක් පැමිණි දා පටන් දත් මැදීම් ආරම්භ කල යුතුයි. ඊට හේතුව දරුවා නිතරම මව් කිරි හෝ පිටිකිරි බීම නිසා කිරි මැලියම් දත්වල අධිකව බැඳීම සිද්ධ වීමයි. එම මැලියම් වල ඇති බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ආම්ලික ගතිය නිසා දත් දිරායාම සිදුවෙනවා. දරුවෙකුගේ දත් මැදීම ඇගිල්ලෙන් හෝ පුළුන්, සිනිදු රෙදි යොදා ගැනීමෙන් නොකල යුතුයි. උචිත වන්නේ කුඩා මෘදු දත් බුරුසුවකින් කිරි දත් මැදීම පුරුදු කිරීමයි.

බොහෝ අවස්ථා වල කුඩා දරුවන් දත් මැදීමට අකමැත්තක් දක්වනවා. මේ නිසා දරුවාට දත් මැදීමට කැමැත්තක් ඇති කල යුතුයි. දෙමාපියන් ලෙස ඔබත් දරුවාට පෙනෙන සේ දත් මැදීම සිදු කිරීම තුලින් කුඩා දරුවාද එය අනුකරණය කිරීමට හුරු වෙනවා. එයට දරුවා රුචිකත්වයක් දැක්වීම නිසා ඔබට පහසුවෙන් දරුවාගෙ දත් මැදීමට හැකියාවක් ලැබෙනවා.

දත් දිරා යාමට අමතරව ඇතිවන වෙනත් රෝගාබාධ කීපයක්ද තිබෙනවා. කුඩා දරුවාගෙ දත් වලට විෂබීජයක් ඇතුල් වුවහොත් මුහුණේ පටක අතර ඇති කුඩා සිදුරු හරහා එම විෂබීජ යාම සිදුවී මුහුණේ පැත්තක් ඉදිමීම සිදුවන්නට පුළුවන්. ඇතැම් විට මේ තත්ත්වය බරපතල වුවහොත් මරණය පවා සිදුවීමට ඉඩ තියෙනවා .

දරුවාට සුදුසු දන්තාලේපයක් තෝර ගන්නේ කොහොමද?

ඔබ මවක් ලෙස අවධානය යොමු කල යුතු වැදගත්ම කරුණක් වන්නේ දරුවාගේ දන්තාලේපය තෝරා ගැනීමයි.ආයුර්වේද සංයෝග අඩංගු දන්තාලේප කුඩා දරුවන්ගෙ දත්වලට යෝග්‍ය වන්නේ නෑ.

ෆ්ලෝරයිඩ් හා කැල්සියම් අඩංගු දන්තාලේපයක් තෝරා ගැනීම ඉතා වැදගත්. කැල්සියම් හා ෆ්ලෝරයිඩ් සංයෝගය දත් දිරා යාමට එරෙහිව මනා ප්‍රතිරෝධයක් ඇතිකරවනවා. මේ සංයෝගය දරුවාගෙ දත් වර්ධනයට මනා උපකාරිත්වයක් ලබා දීම ඊට හේතුවයි.

වර්තමාන වෙළෙඳ පොල තුල මෙම සංයෝගය අඩංගු මුඛ සේදුම්කාරක මිලදී ගැනීමට හැකියි. ඒ මගින්ද දත් දිරායාම වලකා ගන්නට පුළුවන්. නමුත් කුඩා දරුවන් සදහා මෙම දියර වලින් කට සේදීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා සුදුසුයි. ඊට හේතුව දරුවා ඒවා ගිලීමට ඉඩ ඇති නිසයි. කුඩා දරුවාගේ දත් මැදීමේ මූලික අරමුණ වන්නෙ දතේ කිරි මැලියම් ඉවත් කිරීමයි. අවම වශයෙන් විනාඩි 2 ක් වත් මැදීම සිදු කල යුතුයි. දරුවාගේ දත් දිනකට දෙවරක් මැදීම කල යුතුයි. ඊට හේතුව දරුවා රාත්‍රියට මව්කිරි, හෝ පිටිකිරි බොමින් නිදා ගැනීමට හුරු වීම නිසා ඒ කිරි තොල යට එකතු වීම අනිවාර්යෙන්ම සිදු වීමයි. දත් මැලියම් වල ඇති බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා දත් ඉක්මනින් නරක් වීමේ අවදානමක් ඇතිවෙනවා.

දරුවගේ වයස අවුරුදු 2 ක සම්පුර්ණ වූ වි⁣ට රාත්‍රියට දරුවාට කිරි දීම නතර කිරීම මීට උචිත පියවරක් විදියට හැඳින්වීමට හැකියි. එය කිරීම අපහසු නම් කිරි දීමෙන් අනතුරුව අවම වශයෙන් තොල යට ඇති කිරි පිරිසිදු පුළුන් කැබැල්ලකින් පිස දැමීම කල යුතුයි.

දන්ත ව්‍යසනය පාලනය කිරීමට කල හැකිදේ.

1) කුඩා දරුවන්ට පැණි රස කෑම දීමේදි ප්‍රධාන ආහාර වේල් ලබා ගැනීමෙන් අනතුරුව ඒවා ලබා දීම.
මීට හේතුව ප්‍රධාන ආහාර වේල් ලබා ගැනීමේදී මුඛයෙන් වැඩිපුර ඛේටය නිපදවීම සිදුවන නිසා ඒ අවස්ථාවේ ලබා ගන්නා පැණි රස කෑමවල පැණි රස ගතියද මේ අධික ඛේට නිපදවීමත් සමග දිය වී යාමයි.

2) ටොෆි, චොක්ලට් වැනි පැණි රස කෑම සූප්පු කර කෑමට හුරු කරන්න.
මෙවැනි පැණිරස හපා කෑමට දීමෙන් දරුවාගෙ දත් වල දාර අතර එම පැණි රස කොටස් රැදීම සිදුවෙනවා. ඒ මගින් දත් දිරා යාම සිදු වන නිසා එම ක්‍රියාවෙන් වැලකිය යුතුයි. නමුත් ටොෆි වැනි කැවිලි සූප්පු කිරීමේදි දරුවාට ඒවා ගිලෙන්නටද ඉඩ ඇති නිසා ඒ පිලිබද ඔබ සැලකිලිමත් වියයුතුයි.

3) පැණි රස ආහාර ගැනීමෙන් පසු දත් මදින්නට දරුවා හුරු කරන්න.
එය සිදුකිරීමට අපහසු නම් අවම වශයෙන් ජලයෙන් කට සෝදා දැමීම හෝ කල යුතුයි.

4) ඔබ භාවිතා කරන ජලයේ ෆ්ලෝරයිඩ් ගුණය අධික නම් එම ජලය කුඩා දරුවාට දීමෙන් වලකින්න.
මෙහිදී ගැබිණි වියේදී මව එවැනි ෆ්ලෝරයිඩ් අධික ජලය නිතිපතා පාන⁣ය කිරීමෙන්ද, දරුවා ලැබී වසර 7, 8ක කාලය දක්වාද එම ජලය දරුවාට දීමෙන් දත් විනාශ වීම සිදුවෙනවා.එම රෝග තත්වය දන්ත ෆ්ලෝරෝසියාව ලෙස හඳුන්වනවා. මෙවැනි ෆ්ලෝරයිඩ් සංයෝගය අධික ප්‍රදේශ වල ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අඩු කිරීමට ෆ්ලෝරයිඩ් ෆිල්ටර් යොදා ගත හැකියි.

5) මාස 6 කට වරක් වත් දරුවාගෙ දත් දන්ත වෛද්‍යවරයා වෙත ගොස් පරික්ෂා කර ගන්න.
කුඩා දරුවන්ගේ දත් අතර පිහිටන සිදුරු වැඩිහිටියන්ගේ දත් අතර පිහිටන සිදුරු වලට වඩා වැඩියෙන් තිබෙනවා. මේ නිසාම දත් දිරා යාමේ ප්‍රවණතාවද කුඩා දරුවන් තුල වැඩියෙන් දකින්නට පුළුවන්. දත් කුහර pulpectomy ඇති වුවහොත් ඒවා පිරවීමකට ලක් කරන්නට වෛද්‍යවරයාට සිදු වෙනවා. ඇතැම් කුහර ගැඹුරටම ඇතිවී තිබුනහොත් ස්නායු පිරවුමක් මගින් ඒ තත්වයට පිලියම් කිරීමට හැකියි. නමුත් කුඩා දරුවන්ගේ දත් වලට ස්නායු පිරවුමක් කිරීමට නොහැකි නිසා ඒ වෙනුවට වෙනත් පිරවුම් ප්‍රතිකාරයක් යොදාගන්නවා. එම ප්‍රතිකාරය චමකචැජඑදපහ නමින් වෛද්‍ය විද්‍යවේදී හදුන්වනවා.

දෙමාපියන් ලෙස ඔබ දරුවාගෙ කිරිදත්, සේම ස්ථිර දත් දෙපල පිලිබදව මනා අධීක්ෂණයකින් සිටීම හා දරුවාට යහපත් දන්ත සෞඛ්‍ය පුරුදු හුරු කිරීමෙන් නිරෝගී දත් දෙපලක් ඔබේ දරුවාට නිසැකයෙන් හිමිවෙනවා.

සටහන කුමුදිකා සපුතන්ත්‍රි