free stats

හෙද නිලධාරිනී නන්දනී බස්නායක

දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව අපි නිතර කතා කරනවා. ඒ වගේම ඒ ගැන අපි හරිම උනන්දුයි. රට පුරාම තියෙන මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන, පෙරපාසල් සහ දිවාසුරකුම් මධ්‍යස්ථාන. මේ උනන්දුව පිළිබඳව ඇති ප්‍රබලම උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය මේ තරම් වැදගත් වෙන්නේ ඇයිද කියන කාරණය ගැන අපි තවදුරටත් පුළුල්ව කතා කරන්න හිතුවා. කොළඹ කාසල් කාන්තා රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී නන්දනී බස්නායක මහත්මිය සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව සැකසුණු මේ ලිපිය මුල් අමා විය යන සංවර්ධනය උදෙසා වැඩිහිටියන්ගේ දායකත්වය මොනතරම් දුරට වැදගත් වනවාද කියන කාරණය පැහැදිලි කරනවා.

දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා

අපි හැමදාම මුල් ළමාවිය පිළිබඳව කතා කරන්නේ දරුවාගේ උපතින් පසුයි. නමුත් ඔවුන්ගේ ළමා විය යංවර්ධනය ආරම්භ වෙන්නේ කලලයා විකසනයත් එක්කමයි කියලා කිව්වොත් ඔබ තරමක් පුදුමයට පත්වේවි. කලල විකසනය සමග වර්ධනය වන දරුවාගේ මොළය මවගේ ගර්භයේ සිටම බාහිර ලෝකය සමඟ තමන්ගේ මුල් ගනුදෙනුව පටන් ගන්නවා. මාස කිහිපයක් යද්දී බාහිර ලෝකයෙන් ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නේ අනෙකුත් අවයව වර්ධනය වීමත් සිදුවී අවසන් නිසයි.

මේ වෙද්දී වර්ධනය වෙමින් පවතින මොළය එක් එක් කාර්යයන් සඳහා වෙන්වීමත් සිදුවෙනවා. මවගෙන් ලැබෙන ආදරණීය උත්තේජනයන් වශ්‍යම කාලයක් විදිහට මෙන්න මේ කාලසීමාවත් වැදගත් වෙන්නේ ඒ හේතුව හින්දයි. පංච ඉන්ද්‍රිය උත්තේජනය සමඟ දරුවාට පණිවිඩ ලැබෙනවා. මේ ආදරණීය ආරංචි දරුවාගේ වර්ධනය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දාන්නේ අපි බලාපොරොත්තු වනවාටත් වඩා වේගයෙන්.

දරුවෙක් උස පිළිසිඳ ගත් අම්ම කෙනෙක් වෙනදාට වඩා සතුටෙන් සහ නිදහස් වෙන්න ඕනි කියන්නේ අන්න ඒ නිසයි. කුසේ ඉන්න දරුවා එක්ක කතා කරන්න, කුස අතගාන්න, ආදරණීය බැඳීමක් ඇති කරගන්න නම් අම්මා කායිකව හා මානසිකව නිදහසින් හා සතුටින් සිටීම ඉතාම වැදගත්. අනෙක් අතින් අම්මාගේ හිතේ මේ කාලයේදී ඇතිවන හැඟීම් දැනීම් සහ සංවේදනා දරුවාට සෘජුවම බලපාන බව වෛද්‍ය මතය. ඒවගේම අවට ඉන්න අයගෙන් අම්මාට වගේම කුසේ ඉන්න දරුවාට ලැබෙන ආදරය කරුණාව එයාට හොඳින් දැනෙනවා. තමන් පැමිණීමට නියමිත ලෝකය ආරක්‍ෂා සහිත ආදරය පිරුණු සුන්දර තැනක් බව දරුවා තේරුම් ගන්නේ එවිටයි.

නිතර කුස අතගාමින් සුරතල් බස්, නැලවිලි ගී කියන්නට හැකිනම් එයින් දරුවත් තෘප්තියට පත්වෙනවා. වැඩෙමින් පවතින මොළය ඇතුළු අනෙක් පංච ඉන්ද්‍රියන් උත්තේජනය වීම දරුවාගේ වර්ධනයට මනා පිටිවහලක්. කුස අත ගෑම, දරුවා සමග කතා කිරීම, මව පමණක් නෙවෙයි දරුවාගේ පියාටත් මෙවැනි දෑ මගින් දරුවාට සමීප වන්නට පුළුවන්. අම්මාගේ කුස අත ගෑම, කුස සිප ගැනීම, වැඩිහිටි දරුවෙක් සිටිනවා නම් ඒ දරුවා සමග කතා කිරීම වැනි දේ මේ කාලයේදී සිදු විය යුතුයි.

මවක් වෙන්නට ඉන්න ඔබත් මේ කාලයේදී හොඳ දේ දකින්න, අහන්න වගේම විඳින්න ඕන. ඒවගේම මනා ලෙස විනය පවත්වා ගැනීම, සිහිය පවත්වා ගැනීම, අදහන ආගමක් හෝ දර්ශනයක් සමග නිතර සමීප වීම වැදගත් වෙනවා. එය දරුවාගේ පංච ඉන්ද්‍රියන් වර්ධනයට වගේම මවගේ මානසික සැනසීමටත් හේතුවක්.

මුල් ළමා විය

දරුවෙකුගේ මුල් ළමාවිය ලෙස අප සලකන්නේ උපතේ සිට අවුරුදු තුන දක්වා කාලයයි. මේ වයස වන විට දරුවාගේ මොළයෙන් සියයට අසූවක් පමණ වර්ධනය වී අවසානයි. මොළය නිර්මාණය වන්නේ ජාලයක් ආකාරයෙන්. මෙහි නියුරෝන සහ ස්නායු විශාල සංඛ්‍යාවක් අඩංගුයි. මේ ජාලයේ සෑම තැනකටම උත්තේජනයක් අවශ්‍ය වන්නේ එය නියුරෝනවල නිවැරදි වර්ධනය සඳහාය. වයස අවුරුදු දහය පහළව අතර කාලය වන විට තත්ත්වය ක්‍රමයෙන් අඩුව යන නිසා ප්‍රයෝජන නොගන්නා නියුරොන විනාශ වනවා.

එනිසාම දරුවාගේ අධ්‍යාපන සමාජ චර්ය හා සාරධර්ම යන කාරණා වගේම සන්නිවේදන හැකියාවේ වර්ධනය සඳහාත් මුල් ළමා විය කාලසීමාව ඉතාම වැදගත් වෙනවා. මේ වයසේදී දරුවාගේ ගණිතය හා තර්කන හැකියාව වර්ධනය කළ හැකි අතරම අවශ්‍ය නම් විදේශීය භාෂා දහයක් පමණ නිවැරදිව උගන්වන්නට පුළුවන්. දරුවාගේ ග්‍රහණය කර ගැනීමේ මෙන්ම මතක තබා ගැනීමේ හැකියාව ඒ තරම් ඉහළයි.

මේ වයසේදී දරුවෙකුගේ බුද්ධිවර්ධනය සහ මතකයේ ඉතාම ප්‍රබල මට්ටමක පවතින නිසා දරුවා වෙත කරන බලපෑම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. යම් හෙයකින් දරුවාගේ යහපත උදෙසා හෝ වෙනත් හේතුවක් මත ඔහුට පැනවෙන තහංචි, දඬුවම් ඔහුගේ අනාගතය අඳුරු කරන්නට හේතු වන්නට පුළුවන්. ඒවගේම මෙවැනි වයසක සිටින දරුවෙක්ට තමා කෙරෙහි ඇති අවධානය හෝ ආදරය අඩු යැයි හැඟෙන හැඟීමත් අනාගතය කෙරෙහි අනිසි ලෙස බලපාන්නට ඉඩ තිබෙනවා. මේ නිසා අවුරුදු දෙක තුන අතර වයසේ පසුවන දරුවෙක් සිටින මවක් නැවත ගැබ් ගත් විට දරුවා ලැබෙන තුරුත් ඉන්පසුව අලුත් උපන් දරුවාට තේරෙන වයස පැමිණෙනතුරුත් වැඩිමහල් දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්.

මුල් ළමා විය සංවර්ධනය වුණු දරුවෙක්

ඉතාම ස්වාධීන සහ නිවැරැදි තීරණ ගන්නා දරුවන් මුල් ළමා විය සංවර්ධනය හොඳින් සිදුවූ දරුවන් ලෙස සලකන්න පුළුවන්. මොවුන් ආත්ම ශක්තියෙන් පරිපූර්ණ දරුවන්. ඔවුන්ගේ ඉවසීම ඒ ඒ සිදුවීමට අනුරූපව වෙනස් වීම ද ඔවුන් තුළ දක්නට ලැබෙන ඉහළම ගුණාංගයක්. මෙයට අමතරව,

අනතුරුවලින් ආරක්ෂාවීම

තමාව පාලනය කර ගැනීම

අගය කිරීම හා ආත්ම අභිමානය දියුණු කර ගැනීම

අදහස් ප්‍රකාශනය හා නිර්මාණශීලී බව

භාෂා සංවර්ධනය

චාලක හැකියාව හොඳ මට්ටමක පැවතීම

දෙමාපියන් සමග සුරක්ෂිත හා ඉහළ මට්ටමේ සබඳතා පැවැත්වීම

ආදී අනෙකුත් යහපත් ලක්ෂණ දරුවා තුළ ජනිත වන්නේත් මුල් ළමාවිය නිසි පරිදි සංවර්ධනය වූ පසුවයි. මේ වයසේදී දරුවාගේ කණ්ඩායම් හැඟීම් වර්ධනය කරවීම උදෙසා අනෙක් දරුවන් සමග සෙල්ලම් කිරීම සඳහා ඉඩ ලබාදීම, කාලසටහනකට අනුව දවස කළමනාකරණය සඳහා හුරු කරවීම, පොත්පත්වල ඇති රූප කතා අවබෝධ කරවීමට උත්සාහ දැරීම, වැලි මැටි ආදියෙන් සෙල්ලම් කරමින් දරුවාගේ අත් ඇඟිලි වලට ව්‍යායාම ලබාදීම ආදිය වඩාත් සුදුසුයි.