free stats

ඕනම කෙනෙකුට ප්‍රතිජීවක ඖෂධ බොන්න වෙනවා කියන්නේ සාමාන්‍ය තත්වයක් නම් නෙවෙයි. දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට බැක්ටීරියා ආසාදනයක් තියෙනවා නම්, එයාට අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ඖෂධ බොන්න වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රතිජීවක ඖෂධ ආසාත්මික වීමේ ප්‍රතිශතය ඉහළයි. ඒ ආසාත්මිකතා අතර හුස්ම ගැනීමේ අපහසුව, උදරාබාධ ඇතිවීම, බඩ බුරුලට යාම, මස් පිඩු පෙරළීම සහ මල බද්ධය ප්‍රධානයි.

ඇත්තටම ප්‍රතිජීවක ඖෂධ නිසා මලබද්ධය ඇතිවෙනවාද?

ප්‍රධාන වශයෙන්ම ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවෙන්නේ බඩ බුරලට යාමේ තත්ත්වයක්. නමුත් සමහර අවස්ථාවල මල බද්ධය ඇතිවෙන්න පුළුවන්. අපේ සිරුරේ සාමාන්‍යයෙන් සිටින බැක්ටීරියා වර්ග රාශියක් තිබෙනවා. ඒ අතරින් අපේ සිරුරට හිතකර මළ වාහිනි පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමට උදව් කරන, බැක්ටීරියා වර්ගත් ඉන්නවා. ප්‍රතිජීවක ඖෂධ මගින් මේ කියන බැක්ටීරියා වලටත් හානියක් වෙන්න පුළුවන්. එහෙම වුණාම තමයි අර ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම නිසා මලබද්ධය ඇතිවෙන්නේ. ප්‍රතිජීවක ඖෂධවලට හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා වශයෙන් වෙනසක් හඳුනා ගන්න බෑ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ සියලුම බැක්ටීරියා වලට හානි කිරීමයි. ඒ සමගම අර හොඳ බැක්ටීරියා වලටත් හානියක් සිදුවෙනවා.

ඒ නිසා සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැර වෙන බැවින් මල බද්ධය ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම අසනීප තත්ත්වයේ ඉන්න දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, වතුර පානය නොකිරීම, අධික උණ තත්ත්වය, වමනය, වෙනත් පාන වර්ග හොඳින් පානය නොකිරීම ආදී හේතු නිසාත් මල බද්ධය වර්ධනය වෙන්න පුළුවන්.

අසනීප වෙලා ඉද්දී දියර වර්ග වැඩිපුර පානය කරන්න කියන හේතුවක් තමයි වෙනත් රෝග ඇතිවීම වළක්වා ගැනීම.

ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවන මල බද්ධය පාලනය කරන්නේ කොහොමද?

හොඳින් ජලය පානය කිරීම ප්‍රධානම කාරණයක්. එයට අමතරව වෙනත් පාන වර්ග පානය කිරීම ඉතාම වැදගත්. දරුවෙකුට හොඳින් ආහාර ලබාදීමත් ඉතාම වැදගත් සාධකයක් වෙනවා. පුංචිම දරුවෙකුට නම් වැඩියෙන් මව්කිරි ලබාදීමත් සුදුසුයි.

විරේක ඖෂධ හොඳද?

ඒක ඇත්තටම කෙටි කාලීන විසඳුමක්. එ මගින් මලබද්ධය යම්තාක් දුරට පාලනය කරන්න පුළුවන්. නමුත් අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කිරීමට පමණයි. තාවකාලික විසඳුම් මගින් එයට ප්‍රතිකර්ම කරන්න බැහැ.

ප්‍රතිජීවක ඖෂධ ගන්න කාලේ කන්න හොඳ කෑම මොනවද?

මල බද්ධය ඇතිවෙනවා නම් කෙඳි සහ probiotics අඩංගු ආහාර වැඩියෙන් ආහාරයට ගත යුතුයි. ඒ වගේම හොඳින් වතුර පානය කිරීම, දියර වර්ග පානය කිරීම, පලතුරු සහ එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම ඉතාම ගුණදායක වෙනවා. Probiotics වැඩි ආහාර අතර කිරී, යෝගට් ප්‍රධානයි. Bone broth හෙවත් මස් කටු සුප් මල බද්ධයට ඉතාම ගුණදායක ආහාරයක්. ඒවගේම එය හිතකර බැක්ටීරියා නැවත ඇතිවීමට, ප්‍රතිජීවක ඖෂධ නිසා හානියට පත් වෙමින් හිතකර බැක්ටීරියා වලට නැවත ප්‍රතිස්ථාපනය වීමට උදව් වෙනවා.

බබාට ඉක්මනින් හොඳ උනොත් ප්‍රතිජීවක ඖෂධ නවත්වන්න පුළුවන්ද?

ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී පානය කිරීම සඳහා සුදුසු කාලයක් සහ ක්‍රමයක් වෛද්‍යවරයා නිර්දේශ කරනවා. ඒ නිසා අදාල ඖෂධ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පානය කර අවසන් කළ යුතුයි. ඒ වගේම ඒ සඳහා ලබාදී තිබෙන නියමිත කාලසීමාව සම්පූර්ණ කිරීමත් ඉතාම වැදගත්. ඒ කියන්නේ යම් ඖෂධයක් පැය 6 න් 6 ට හෝ පැය 12 න් 12 ට ගන්න නිර්දේශ කරලා තියෙනවා නම් අන්න ඒ පැය ගාන නියමිත පරිදි සම්පූර්ණ වන ආකාරයට ඖෂධය ලබාගැනීම ඉතාම වැදගත් වෙනවා.