free stats

ගැබිණි කාලේ අමුතු විශේෂත්වයක් නෑ සාමාන්‍ය විදියටම ඉන්න කියලානේ ගොඩක් අය උපදෙස් දෙන්නේ. හැබැයි සමහර දේවල් සීමා කරන්න කියන්නේ ගැබිණි කාලේ විශේෂ කරන්න නෙවෙයි. බබාගෙයි අම්මාගෙයි හොදට. ඉස්සර වගේ ඕන වෙලාවක නාන්න, ඕන දේවල් කන්න, බොන්න එපා කියන එකේ පොඩි වෙනසක් හරි වෙන්නේ අන්න ඒ හේතුව නිසා. 

විශේෂයෙන්ම මේ කාලේ ගර්භනී කාන්තාවක් තමන්ගේ පෝෂණය ගැන හිතන්නම ඕන. පෝෂණය ගැන හිතනවා කියන්නේ හැමෝම කන කෑම වර්ග තමන්ටත් හොදයි කියලා හිතලා කන එකට නෙවෙයි. හරියට උපදෙස් අරගෙන තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවබෝධ කරගෙන ඒ අනුව ආහාර තෝරා ගැනීම. 

ඉතින් මේ කාලේ වඩාත් වැදගත්ම පෝෂණ සංඝටකයක් වෙන්නේ ප්‍රෝටීන්. ඒ නිසාම ගොඩක් වෙලාවට ගැබිණි කාන්තාවන් අතරේ ප්‍රෝටීන් සප්ලීමන්ට් ගැන පොඩි පොඩි කතාබහ ඇති වෙනවා. සමහර අයට නම් වෛද්‍ය වරු මේවා බොන්න කියලා නිර්දේශ කරන අවස්ථා වුණත් තියෙන්න පුළුවන්. එහෙම වුණාම අනිත් අම්මලා මේ ගැන පොඩ්ඩක් උනන්දු වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ලිපිය සකසන්න අපි හිතුවේ. 

බබා ලැබෙන්න ඉන්න කාලේ ප්‍රෝටීන් සප්ලීමන්ට් බොන්න පුළුවන් ද? 

සරලම පිළිතුර “ඔව් පුළුවන්”.  හැබයි අපි දිනකට සිරුරට ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ප්‍රමාණය සිරුරට ලැබෙනවා නම් අමුතුවෙන් සප්ලීමන්ට් ගන්න ඕන නෑ. සමහර අය ට උදෑසන වමනය, කලන්තය, ආහාර අරුචිය වගේ දේවල් නිසා එන ගැටලු හේතුවෙන් ප්‍රෝටීන් සැපයීම අඩාල වෙන්න පුළුවන්. අන්න ඒ අයට තමයි මේ සප්ලීමන්ට් තියෙන්නේ. 

ඉස්සර කාලේ ඉඳන් කියන කතාවක් තියෙනවනේ “දෙන්නෙකුට කන්න” කියලා. මේ කතාවේ තේරුම බත් ගොඩක් කන්න කියන එක නෙවෙයි. පුළුවන් තරම් පෝෂ්‍ය පදාර්ථ සිරුරට එකතු කරගන්න කියන එක. මොකද බබා පෝෂණය වෙන්නෙත් අම්මගෙන් නේ. නමුත් ඒ අතරේ අධික සීනි, තෙල්, අහිතකර කැලරි තියෙන්න බෑ. ඒක තමයි හරිම විධිය. 

ඒ නිසා පළමු කාර්තුවේ අම්මා කෙනෙක් අඩුම වශයෙන් දිනකට 80g ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕන වෙනවා. දෙවන සහ තෙවන කාර්තුවේ දී ඒ ප්‍රමාණය 100g වෙන්න ඕන. පර්යේෂණයකින් හෙළි වෙලා තියෙන විධියට චිකන් බ්‍රේස්ට් කොටසේ ප්‍රෝටීන් 21g අඩංගු වෙලා තියෙනවා. ඒ ඇරුනම මස් වර්ග, චීස්, යෝගර්ට්, බිත්තර හෝ ඇට වර්ග වල ප්‍රෝටීන් අඩංගු වෙනවා. මෙන්න මේ ආහාරවලින් ප්‍රෝටීන් ලබා ගන්න අමාරු අයට තමයි පිටි වර්ග විධියට (සප්ලීමන්ට්) ප්‍රෝටීන් ලබාගන්න වෙන්නේ. 

ගැබිණි වියේ ප්‍රෝටීන් වැදගත් ඇයි? 

නිසි බර ප්‍රමාණ රදවා තබා ගැනීමට ප්‍රෝටීන් ඉතාම වැදගත්. ඒ වගේම රුධිරයේ සීනි හොදින් පවත්වාගන්න, රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යන්න ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. 

ප්‍රෝටීන් අතිරේක හොඳ නැති අවස්ථා තියෙනවද? 

උවමනාවටත් වඩා විටමින් හා මිනරල් වර්ග සිරුරට එන ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන් ම ගැබිණි කාලෙදි විටමින් අනවශ්‍ය ලෙස සිරුරට ලැබෙනවා කියන්නේ එය බබාගේ වර්ධනයට පවා බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ගැබිණි වියේ දියවැඩියාව හෝ සාමාන්‍ය දියවැඩියාව තියෙනවා නම් මේ පෝෂණ අතිරේක වල තියෙන සීනි නිසා ඒ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.