free stats

ලිංගික ජීවිතය තුළ අපි එකිනෙකාට ගෞරව කළා

විවාහයෙන් පස්සේ පලමු ලිංගික සම්බන්ධතාවය ඉදලම අපි එකිනෙකාට ගෞරව කරන්න පුරුදු උනා. අපි අතරේ කවදාවත් judgement එකක් තිබුනේ නැහැ. ඒ වගේම අපි හැම වෙලාවෙම අනිත් කෙනාගේ අවශ්‍යතාවය අදහස් සහ කැමති අකමැති දේවල් ගැන කතා කරන්න හුරු වෙලා හිටියා. ලිංගික සම්බන්ධතාවයන් ඇතුළෙ තමන්ට අවශ්‍ය දේ අනිත් කෙනා එක්ක හුවමාරු කර ගන්නේ කොහොමද කියන එක ගැන අපි දෙන්නා අතරේ හොඳ අවබෝධයක් තිබුණා.

එයා වගේම මමත් කලින් ආදර සම්බන්ධතා පවත්වපු අය විදියට අපි ඒ දේවල් පිළිබඳව මුල ඉඳන්ම කතාබහ කරල තිබුණා. ආදර සම්බන්ධතා පවත්වන කාලයේදී ලිංගික සබඳතාවක් දක්වා ඒ සම්බන්ධතා දුරදිග ගියේ නැහැ. නමුත් සාමාන්‍ය පුද්ගලයන් විදියට ඔහුත් මමත් දෙදෙනාම හොඳ ලිංගික අධ්‍යාපනයක් සහිත අවබෝධයක් සහිත විවෘත මානසික මට්ටමක හිටියා.

අපි දෙන්න අපි දෙන්නා කැමති අකමැති දේවල් ගැන කතා කළා. සමහර අවශ්‍යතා හැඟීම් ගැන අපිට හොඳ අවබෝධයකුත් තිබුණා. විශේෂයෙන්ම උපත් පාලන ක්‍රමයක් විදියට කොන්ඩමයක් භාවිත කරන්න අපි පෙළඹුණේ හෝමෝන පෙත්තක් සිරුරට එකතු කරගන්න එකෙන් සිද්ධ වෙන යම් බලපෑමක් තියෙනවා නම් අන්න ඒක අවම කරගන්න හිතාගෙන. එතනදී ඔහුගෙන් මට ලැබුණේ ලොකු සහයක්.

විවාහවෙන්න කලින් මම වෛද්‍ය උපදෙස් ලබා ගත්තා. තැලසීමියා පරීක්ෂාව කරගත්තේ අපි දෙන්නම එකට. මොකද දෙන්නගෙන් එක්කෙනෙක් වාහකයෙක් වුනොත් දරුවා වාහකයෙක් වෙන්න වගේම දෙදෙනාම වාහකයන් වුනොත් දරුවා පූර්ණ තැලිසීමියා රෝගියෙක් වෙන්නත් හේතු වෙන බව අපි දැනගෙන හිටියා.

ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවක් අවශ්‍ය වුණේ නැත්තේ අපි මීට පෙර ලිංගික සම්බන්ධතා පවත්වලා නැති නිසා. නමුත් විවාහයට පෙර අනාරක්ෂිත ලිංගික සබඳතාවයකට ගියානම් ලිංගික රෝග පිළිබඳ පරීක්ෂාවක් කරගන්න එක වඩා හොඳයි. එයින් දරුවාට ලිංගාශිත රෝග වැළඳීමේ අවදානම අවම කරන්න පුළුවන්.

විවාහයෙන් පස්සේ දරුවෙක් බිහි කරන්නේ කොයි කාලෙද කියන එක ගැන අපි මුලින්ම කතා වුණා කියලා මං ඔබට පළවෙනි කතාවේදී කිව්වා. ඉතින් මේ විදිහට අවුරුද්දක කාලයක් දරුවන් ලැබීම ප්‍රමාද කරන්න තමයි අපි තීරණය කළේ. ඒ කාලේ අපි විනෝදයෙන් ඉන්න වෙන් කළා. දුර ගමන් ගියා, මාලදිවයිනේ යන්න තිබුණු ආසාව නිසා එහෙත් ගිහිල්ලා ආවා. තවත් රටවල් කීපයකට ගියා. යාළුවන්ගේ උපන්දින සාද, විවිධ උත්සව carnival වැරදුනේ නෑ.

මේ හැමදේම වින්ද ට පස්සේ තමයි දරුවෙක් හදන්න අපි තීරණය කළේ. ජිවිතේ විඳලා ආදරෙන් ඉදලා ඊට පස්සේ දරුවෙක් ගැන හිතුවාම ඒ කාර්යබහුල ජීවිතය කරදරයක් කියලා කවදාවත් හිතෙන්නේ නැ.

ආදරෙයි ❤️