free stats

පුංචි පැටියාගේ වර්ධනය කතා කරද්දි දවසින් දවස වෙනස් වෙන එයාගෙ චර්යාවන් අපිට අමතක කරන්න බෑ. මේ අතරින් ප්‍රධාන වශයෙන්ම දකින්න තියෙන දෙයක් තමයි බබා කටින් කෙල බෝල පුම්බන එක. මේක අම්මලාගෙ ටිකක් අලුත් අත්දැකීමක් වෙන්න ඇති.

නමුත් ඒක බබාගෙ වර්ධනයේ එක් පියවරක්. සාමාන්‍යයෙන් මනුස්සයෙක් දවසකට කෙල ලීටර 2-4 ප්‍රමාණයක් නිපදවනවා. බබෙකුත් මේ ප්‍රමාණයම නිපදවනවා වුණත් එයාට තමන්ගෙ කෙල වැඩිහිටියකුට වගේ පාලනය කරගන්න බැරි නිසා සමහර වෙලාවට කට දෙපැත්තෙන් කෙල පෙරෙන්න පටන් ගන්නවා.

කෙල කියන්නේ අපේ මුඛයේ තිබෙන ඉතාම වැදගත් සාධකයක්. මුඛයේ වියළි බව අවම කරන්න වගේම මුඛය පිරිසිදු කරන්නන් කෙළ ඉතාම වැදගත්. මේ නිසාම ළ නිෂ්පාදනය වීම අත්‍යවශ්‍ය බව අපිට තේරුම් ගන්න පුළුවන්. බබාගේ මුඛයේ මොයිස්චරයිස ගතිය රඳවා තබා ගන්නෙත් කෙල වලින් තමයි.

සාමාන්‍යයෙන් බබෙක් කෙල බෝල පිබින්න වගේම කෙල වලින් සෙල්ලම් කරන්න පටන් ගන්නෙ මාස තුනත් හයත් අතර කාලෙදි. විශේෂයෙන්ම මාස හයේ දී බබා වැඩිපුර කෙල සමග සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අත කටේ දාන එක, කෙල බෝල පිඹින එක වැඩිවෙන්නේ මේ කාලෙදී. මෙන්න මේ කාලය බබාට ඝන ආහාර ලබා දෙන්න වඩාත් සුදුසුයි.

වෛද්‍යවරු මාස හයේදී බබාට ඝන ආහාර ලබා දෙන්න නිර්දේශ කරන නිසා එයා අනිවාර්යෙන්ම මේ වයසෙදි ඝන ආහාර ගැනීම ආරම්භ කළ යුතුයි. එතනදී ආහාර දිරවීමට හොඳින් ගිලීම පහසු කරවීමට එයාගෙ මුඛය නිෂ්පාදනය වෙන කෙළ උදව් වෙනවා. ඒ වගේම බබාගේ දත් වර්ධනය වෙද්දී එයගේ කට දෙපැත්තෙන් කෙල වැගිරෙන්න පටන් ගන්නවා. ඒක එයාගෙ වර්ධනයේ එක් සන්ධිස්ථානයක්.

සාමාන්‍යයෙන් මාස තුනේ දී පමණ බබාගේ විදුරුමස් ඇතුළත තිබෙන කිරි දත් විදුරු මස පලාගෙන එළියට ඒම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් මාස හය හත පසු වන විට දරුවාගේ පළමු දත යාන්තමින් හෝ දැක ගන්න පුළුවන්. මෙන්න මේ කාලෙදි එයාගෙ කටෙන් කෙල වැගිරීම වැඩිවෙනවා.