free stats

ඔබේ පුංචි පැටියා හරිම සියුමැලියි. එයා තාම ජීවිතයට හුරුවෙමින් ඉන්න සුරතල් පැටියෙක්. ඒ නිසාම ඔබේ නිරන්තර සහය පැටියාට අවශ්‍ය වෙනවා. ඉතින් එයාගේ වර්ධනය ඉක්මන් කරවීමේ එක් ක්‍රමයක් විදියට බේබි මසාජ් එහෙමත් නැත්නම් ළඳරු සම්භාහනය හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් විශ්වාස කරන විදියට දිනපතා එක් වතාවක් හෝ දරුවාට හොඳ සම්භාහනයක් ලබාදීම සුවදායි නින්දක් ලැබීමට, සිරුරේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදුවීමට සහ සවස් කාලයේ ඇතිවන බේබි කෝලික් තත්ත්වය වළක්වාගැනීමට හේතුවනවා. සම්භාහනය සඳහා ඔබට වෙනම කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. ඇඳුම් මාරු කරන වෙලාවට, නිදිකරවන වේලාවට, නාවන වේලාවට වගේ ඕනම වේලාවක සම්භාහන සඳහා කාලය වෙන් කරගන්න පුළුවන්.

මුල්ම දවස්වල සම්භාහනය පැටියාට අමුත්තක් වෙන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක එයා මේ කාර්යයට හුරුවෙනවා. ඒ එයින් සිරුරට දැනෙන සුවදායිබව නිසා. ඒ වගේම පැටියා සහ ඔබ අතර දැඩි බැදීමක් ඇතිවෙන්නත් මේ ස්පර්ශය ඉතාමත් වැදගත්.

  1. බබාට යම් අපහසුවක් දැනෙන වෙලාවට හෝ පැටියා සිටින්නේ සතුටින් නෙවෙයි කියලා හිතෙන වෙලාවට හොඳ සම්භාහනයක් ලබාදෙන්න. මෙහිදි එකම ස්ථානයක් සම්භාහනය නොකර විවිධ විවිධ ශාරිරාංග සම්භාහනය වැදගත් වනවා.
  2. නිතරම පැටියාට හොඳ සම්භාහනයක් ලබාදෙන්න. පැටියාව වඩාගෙන ඉන්න වෙලාවට, එයාව නිදිකරවලා ඉන්න වෙලාවට අම්මා සුමුදුව පැටියාව ස්පර්ශ කිරීමත් සම්බාහනයක්.
  3. සම්භාහනය සඳහා වඩාත් සුදුසු තෙල් වර්ගයක් වෛද්‍ය උපදෙස් මත මිලට ගන්න පුළුවන්. ඒ හැරුණු විට හොඳ වර්ගයේ ඔලිව් තෙල්, පොල් තෙල් හෝ සෙසමි තෙල් මේ සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. මේ තෙල් වර්ග කිසිවකින් දරුවාගේ සමට හානියක් වෙන්නේ නැහැ. නමුත් පැටියාට මේ කිසිදු තෙල් වර්ගයක් මුව තුළට දමාගැනීමට ඉඩ තබන්න එපා. එයින් හානියක් වෙන්න පුළුවන්.
  4. පැටියා බඩගින්නේ සිටින විට හෝ ආහාර ලබාදුන් සැනින් සම්භාහනය සුදුසු නැත.
  5. පැටියා සිටින කාමරය වඩාත් සුවපහසු විය යුතුයි. එය වැඩි සීතලක් සහිත හෝ අධික උණුසුම් කාමරයක් නම් පැටියාට සම්භාහනය අපහසුවක් ගෙන දෙනවා.
  6. සම්භාහනය සිදුකරන අතරතුර පැටියා සමඟ කතා කරන්න. සිනාවෙන්න. ඇස් අතර බැඳීම තබාගන්න. එය පැටියා සහ ඔබ අතර බැඳීමට හේතුවනවා.
  7. පැටියා අවදි වුණු වහාම සම්භාහනය සුදුසු නැත.
  8. සම්භාහනයට ප්‍රථම ඔබේ අත්වල ඇති මුදු වළලු ආදිය ඉවත් කරන්න. ඒවායි පැටියා ගේ සමට හානි වෙන්න පුළුවන්.

සම්භාහනය පියවරෙන් පියවර

  1. පැටියාගේ ඇඳුම් ඉවත් කරන්න. ඉන්පසු පැටියාව නැපියක් මත හෝ සුව පහසු තුවායක් මත තබන්න.
  2. සම්භාහනය සඳහා සූදානම් කරවීමට පැටියා සෙමින් ස්පර්ශ කරන්න.
  3. දෑත්වල තෙල් ස්වල්පයක් තවරාගෙන ඉන්පසු දෑත් හොඳින් එකිනෙකට ස්පර්ශ කරගන්න. ඉන්පසු සම්භාහනයට අවශ්‍ය තැන දෑත්වල ඇති තෙල් ගල්වන්න.
  4. සම්භාහනය කරන ස්ථානය ඉතාමත් මෘදුව සෙමින් රවුම් රවුම් ආකාරයට සම්භාහනය කරන්න.
  5. මෙය සිරුරේ සෑම තැනකටම එක හා සමානව සිදුකරන්න. මහපට ඇඟිල්ල උඩු පැත්තෙනුත් දබර ඇඟිල්ල යටිනුත් තබා රවුම් ආකාරයට දෑත් සහ දෙපා සම්භාහනය කළ හැකියි.
  6. මහපට ඇඟිල්ල හැර අනෙක් ඇඟිලි හතර යොදාගනිමින් පැටියාගේ උදරය, පපුව සහ පිට ප්‍රදේශය රවුම් හැඩයට සම්භාහනය කළ හැකියි.
  7. පිට ප්‍රදේශය සම්භාහනය කරන විට ඉතාම සුමුදු ලෙස එය සිදුකළ යුතු අතර වැඩි බරක් යෙදීම සුදුසු නොවේ.
  8. අවසාන වශයෙන් ගෙල, නලල, ඇඟිලි සහ නිය ස්පර්ශ කරමින් සම්භාහන කාර්ය අවසාන කරන්න.

සටහන චාපා හංසිනි ආටිග