free stats

දන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා

බොහෝ දෙනෙක් නොදන්නවා වුනත් දරුවකු ඉපදෙන විට දරුවෙකුගේ හකු ඇටය තුළ පිටතට නොපෙනෙන්නට කිරි දත් සියල්ල ඇත. බිළිඳු මුවේ දත් දකින්නට ලැබෙන්නේ දතෙහි මූල වර්ධනයත් සමග විදුරු මස තුළින් දත මතු වූ පසුවය. පළමුවෙන් මතු වන්නේ යට ඇන්දෙ ඉදිරිපස දත් දෙකය. දරුවා ඉපදී මාස හයේ සිට මාස නවය දක්වා අතර කාලය තුළ මේවා මතු වීම පටන් ගනී.

දත් මතුවන කාලයේදී දරුවාට මතු විය හැකි අපහසුතා.

දත මතු වීමට දින කිහිපයකට පමණ පෙර විදුරු මස ඉදිමීමකට ලක්වීමෙන් අපහසුතාවය ආරම්භ වන අතර දත මතු වීමේන් පසුව එය ක්‍රමයෙන් පහව යනු ඇත.

එවිට එම කාලයේ දී බෙහෝ දරුවන් ඇඟිල්ල හෝ සෙල්ලම් බඩු වැනි දෙයක් කට තුළට දම තද කර ගනී. එමගින් දරුවාගේ ශරීරය තුළට විශබීජ ඇතුළු වීමෙන් දරුවාගේ ශරීර උෂ්ණත්වය මදක් වැඩි වීම මෙන්ම උදරාබාධයන්ද ඇති විය හැකිය. දරුවා කෑම බීම ප්‍රතික්‍ෂේප කිරීමද කටේ කෙළ වැඩිපුර ගැලීමද මෙම කාලයේදී බොහෝ විට දැකිය හැකිය.

දරුවා ඉපදෙන විට දත් තිබිය හැකිද ?

ඉතාමත් කලාතුරකින් ළදරුවකු ඉපදෙන විටම දතක් හෝ දෙකක් තිබිය හැකි අතර මව්කිරි උරා බීමේදී මවට ඒ දත නිසා අපහසුතාවයක් ඇතිවිය හැකිය. මෙම දත් බොහෝ විට ළදරුවාට පැමිණිය යුතු කිරි දත් වන අතර ඒවායේ මුල නිසියාකාරව වර්ධනය වී නොමැති වීමෙන් සෙලවි ගැලවී යාමට ලක්විය හැකිය.

කිරි දත් අතර හිඩැස් ඇති වීම ස්වභාවිකද?

දරුවාගේ හකු ඇටයේ වර්ධනය දිගටම සිදුවන අතර විශාලත්වයෙන් වැඩි ස්ථිර දත්වලට ඉඩ ලැබෙන පරිදි කිරිදත් අතර හිඩැස් ඇති වීම වයස අවුරුදු හතරට වැඩි දරුවන්ගේ ස්වභාවිකව දැකිය හැකි දෙයකි. පළමු ස්ථීර දත මතුවන්නේ ළමයාට අවුරුදු හයේදී පමණය. මතු වූ කිරිදත් ගැලවී එම දත් පිහිටි ස්ථාන වල ස්ථිර දත් මතු වෙයි. කිරි දත් හැලී ස්ථිර දත් මතු වීම සිදු වන්නේ දරුවාට අවුරුදු හයක් දහතුනත් අතර කාලය තුළය.

යටි ඇන්දේ දත් වඩා කලින් මතුවන අතර ගැහැණු ළමුන්ගේ දත් පිරිමි ළමුන්ට පෙර මතු වීමේ වැඩි හැකියාවක් පවතී. සාමාන්‍යයෙන් දත් මතු වන්නේ යුගල ලෙස වන අතර ඉන් එකක් වම් පසින්ද අනෙක දකුණු පසින්ද මතුවේ.

දරුවාගේ දත් හැලීම සිදු වන්නේ කෙසේද ?

සාමාන්‍යයෙන් හකු ඇටය තුළ ස්ථිර දත වර්ධනය වන්නේ ඊට අදාල කිරි දතෙහි මුලට ආසන්නයේය. ස්ථිර දත මතුවේගෙන එන විට එම කිරි දතෙහි මුල දිය වීමක් සිදුවේ. ඒ සමඟ කිර දත සෙලවීමට ලක්වේ.

දරුවාගේ දත් හැලීම පමා වූ විට කළ යුත්තේ කුමක් ද?

නියමිත කාලයට කිරි දත් වැටීම සිදු නොවූ විට දෙමාපියන් විසින් දරුවාගේ කට හොඳින් පරීක්ෂා කළ යුතුය. දත් මදක් සෙලවේ නම් දරුවාගේ දත වැටීම ගැන යම් කිසි අවබෝධයක් ලබා ගත හැකිය. කිරි දත් හැලීම පමා වී ඇති බව හැඟේ නම් වඩාත් සුදුසුම කාර්ය වන්නේ දන්ත වෛද්‍යවරයකු වෙත යාමය.