free stats

මේ දවස්වල පරිසරය බොහොම සීතලයි. දවල් කාලේදි හරිම උණුසුම්. මේ නිසාම පැටියාගේ සමට හානී වෙන්න තියෙන්නේ ලොකු ඉඩක්. පැටියාගේ සම හුගක් සිනිදු සෞම්‍ය සමක් නිසා ඉක්මනින් සමට හානී වෙනවා. මේ දවස්වල එයාව උදේට ටිකක් ඔතලා තියන්න ඕන. නැත්නම් සීතල වැඩිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දහවල් කාලේ රස්නය නිසා එයාගේ සමේ දහදිය බිබිලි කුශ්ට වගේ දේවල් ඇතිවෙන්න පුලු‍වන්.

වැඩිහිටියෙකුට වගේ පුංචි පැටියෙකුට හැමතිස්සෙම නාන්න බෑනේ. ඒ නිසා එයාට රස්නය දැනෙන වෙලාවට පුංචි රෙදි කෑල්ලක් තෙත් කරලා සෙමින් පිස දාන්න පුලු‍වන්. විශේෂයෙන්ම එයාලගේ ඇගේ නැමෙන තැන්වල දහදිය රැදෙන්න ඉඩ තිබෙනවා. එහෙම දීර්ඝ කාලයක් රැදුනොත් ඒ තැන්වල දද හෝ කුශ්ට ඇතිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වෙලාවට අම්මා ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. පැටියා හේතුවක් නැතුව අඬනවා නම් සමහර විට මේ විදියට එයාගේ සිරුරේ නැවෙන තැන් වල දහදිය රැදිලා නිසා එයාට දැවිල්ලක් ඇතිවෙනවා වෙන්නත් පුලු‍වන්.

පැටියාගේ සමේ එන දහදිය බිබිලි වලට ගොඩ වෙදකම් කරලා නම් හරියන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් ගන්නම වෙනවා. ඒ වගේම දහදිය බිබිලි වලට විවිධ ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන්. දරුවාගේ පහසුව සඳහා බිබිළිවල පවුඩර් ස්වල්පයක් ගැල්ලුවට කමක් නැහැ. නමුත් ඒවා ගල්වන විට හොඳින් අත්ලේ පිරිමැදලා ගල්වන්න මතක තියාගන්න. මෙයින් පැටියාට යම් පහසුවක් දැනෙනවා.

දහවල් වරුවේ පැටියා සැහැල්ලුවෙන් තියන්න පුලුවන් නම් පැටියාට දහදිය දැමිම තරමක් හෝ අඩුකරගන්න පුලුවන්. ඒ වගේම එයාව ටිකක් එළිමහනේ ඇවිදින්න එක්ක යන්න පුලුවන් නම් මේ කාලෙදි ගොඩක් වැදගත්. එයින් පැටියාට සහනයක් දැනෙනවා. ඒ වගේම මද සුළඟක් එන විදියට පැටියාගේ කාමරයේ ජනේලයක් විවෘත කරලා තියන්න පුලුවන්.