free stats
                                                                                   

ඔයාගේ පුංචි පැටියා සමහර වෙලාවට චූටි අතින් කණ අල්ලගෙන අඬනවා ඇති. කෙදිරිගානවා ඇති. ගෙදර වැඩත් එක්ක බිසි වෙලා ඉද්දි පැටියාගේ මේ හැසිරීම ගැන නිකමටවත් අවධානය යොමු කළේ නෑ නේද? සමහර විට ඒ ගැන හිතන්න අමතක වෙලා කාරණේ මඟහැරුනා නේද? අන්න ඒ නිසාම තමයි අපි අද පැටියාගේ කණ ගැන කතා කරන්න හිතුවේ. අපි නොහිතුවාට විවිධ හේතු නිසා පැටියාගේ කණ ආබාධයට ලක්වෙන්න පුළුවන් කියලා ලිපිය කියෙව්වට පස්සේ ඔයාට තේරුම් යයි. ඇත්තටම පුංචි පැටියෙකුගේ කණ අනිත් හැම ඉන්ද්‍රියක් වගේම වැදගත්. ඒ නිසා අදින් පස්සේ පැටියා ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕන කියලා දැන් ඔයාට දැනෙයි.

මිනිස් සිරුරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් ලෙස මිනිස් කණ හඳුන්වන්න පුළුවන්. ඇසීම ලබා දීම සඳහා නිර්මාණය වී ඇති මෙම ඉන්ද්‍රය ඉතාම සංකීර්ණ පිහිටීමක් සහිත අවයවයක් ද වනවා. එළිය කණ සහ මැද කණ වශයෙන් කොටස් දෙකකට බෙදෙන මෙහි එළිය කණ කොටසට කන් පෙත්ත සහ කනේ ප්‍රධාන නාලය අයත් වන අතර මැද කණට අයත් වන්නේ කන් බෙරය එනම් කර්ණ පටහාපටලය හා කර්ණශංඛ පද්ධතිය ඇතුලු ඇතුල් කණ දක්වා කොටසයි. කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ කණෙහි වර්ධනය වෙනස් ස්වරූපයක් ගන්නා බව මෙහිදි කිවයුතු තවත් එක් ප්‍රධාන කරුණකි. සාමාන්‍යයෙන් වැඩිහිටි අයගේ කණේ සියලුම කොටස් නිසි පරිදි වර්ධනය වී තිබෙන අතර කුඩා දරුවන්ගේ එනම් අවුරුදු දෙකට අඩු දරුවන්ගේ කණෙහි වර්ධනය සිදුවන්නේ ඉතාම සෙමිනි. මේ නිසාම ඔවුන්ගේ කණ ආශ්‍රිතව ඇතිවන ආසාදන ප්‍රමාණයත් වැඩිහිටියන්ට සාපේක්‍ෂව ඉහළයි.

මැද කණේ ඇතිවන රික්තය

අපේ කණ සකස් වී තිබෙන ආකාරය අනුව මැද කණ වෙත හුළං සපයන නාලයක් තිබෙනවා. නාසය සහ මැද කණ සම්බන්ධ කරන මෙම නාලය හඳුන්වන්නේ “ෑමිඒජයස්බ ඔමඉැ, යන නමින්. වැඩිහිටියන්ට සාපේක්‍ෂව කුඩා දරුවන්ගේ කණ්වල මෙම නාලයේ ක්‍රියාකාරිත්වය වැඩිහිටියන්ගේ තරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම නලය ක්‍රියාත්මක වීම සඳහා තල්ල ප්‍රදේශයේ තිබෙන පේශීන් ද අවශ්‍ය වනවා. දරුවන්ගේ එම පේශි වර්ධනය වන්නේ ඉතාම සෙමින්. මේ නාලයේ එක් විවරයක් උගුර ආශ්‍රිතව තිබෙන අතර මේ ප්‍රදේශය සෙම් ගෙඩි වර්ධනය වන ප්‍රදේශයක් වීම ද විශේෂත්වයක්. මේ නිසාම මැද කණ වෙත හුළං යන ප්‍රමාණය අඩුවීම නිසා කණට වාතය නොලැබීමෙන් මැද කණේ රික්තයක් ඇති වෙනවා. දරුවාගේ මුල් අවධියේදි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇත්තේ වර්ධනීය මට්ටමකයි. මේ නිසාම දරුවා නිතර උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලු සෙම් ආශ්‍රිත රෝගවලට ගොඳුරු වනවා. මේ නිසා වැඩිහිටියන්ට සාපේක්‍ෂව මොවුන්ගේ කණේ ආසාදන වැඩියෙන් දකින්න ලැබෙනවා.

කලාඳුරු නිසා ඇතිවන සුළු බිහිරිභාවය

කණේ වතුර පිරීම නිසා එන සුළු බිහිරි භාවයත් කුඩා ළමුන් අතර බහුලව දකින්නට ලැබෙන රෝගයක්. දරුවන්ගේ කණේ නාලය කුඩා නිසාම කලාඳුරු ඇතිවීමට තිබෙන ඉඩ ඉතාම වැඩියි. සමහර විට පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන විට කණ තුලට වතුර ඇතුල්වීම නිසා කලාඳුරු තෙත් වීම හා ඉදිමීම හේතුවෙන් කණ් කැක්කුම ඇතිවනවා. ඒ වගේම දෙමව්පියන් කලාඳුරු ඉවත් කිරීමට උත්සහ කරනවා. නමුත් කලාඳුරු නිපදවන ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ කණේ පිටත කොටසේ නිසා වැඩි කලාඳුරු ප්‍රමාණය නිරායාසයෙන්ම ඉවත් වනවා. කලාඳුරු නිපදවීමෙන් බලාපොරොත්තු වන්නේ කණට බැක්ටීරියා ඇතුල්වීම වළක්වා ගැනීම සහ වතුර මඟින් සිදුවන හානි අවම කරගැනීමයි. සමහර අවස්ථාවලදි කලාඳුරු ගල්වීම වැනි තත්ත්වයක් නිසා අපහසුතාවන් ඇතිවන්නට පුළුවන්. එවැනි අවස්ථාවක වෛi ප්‍රතිකාර මඟින් කලාඳුරු ආසාදන ඉවත් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ හැරෙන්නට කලාඳුරු ඉවත් කිරීමට අවශ්‍යම නම් ඒ සඳහා නෑමෙන් පසු පහන් තිරයක් භාවිතයෙන් ඉවත් කිරීම එනම් කලාඳුරු බැදීම අවම කරගැනීම වඩාත් සුදුසුයි.

දඟකාරකම් නිසා සිදුවන හානිය

ඒ වගේම නොතේරුම්කම නිසා කණේ නාලයට කරන හානියත් කණ ආශ්‍රිත ගැටලු ඇති වීමට හේතු වනවා. නිතර කණට අත දැමීම, විවිධ ආගන්තුක උපකරණ ඇතුල් කිරීම, සෙල්ලම් උපකරණවල ඇති කුඩා කොටස් ඇතුල් කිරීම ආදි හේතු නිසා කණට හානි වන්නට පුළුවන්. ඒ වගේම අවට පරිසරයේ තිබෙන කුඩා ඇට වර්ග එනම් මදටිය, ඔලිඳ වැනි ඇට වර්ග කණට දමාගන්නට ඉඩ තිබෙනවා. මේවයින් කණ් බෙරයට සිදුවන හානිය සුළුපටු නැහැ. සමහර විට සදාකාලික බිහිරි භාවයටත් මෙය හේතුවක් වනවා.

සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන කණ් කැක්කුම ඉතාම සාමාන්‍යයයි. මේ තත්ත්වය වැඩිහිටියන් අතරත් දරුවන් අතරත් දක්නට ලැබෙන පොදු කාරණයක්. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව නැතිව ඇතිවන කණේ කැක්කුම දරුවන් අතර පමණක් දකින්නට ලැබෙනවා. මෙවැනි කණ් කැක්කුමක් ඇතිවන්නට වෙනත් බොහෝ හේතුන් බලපාන්නට පුළුවන්. මුලින් සඳහන් කළ පරිදි කණෙහි ඇතිවන රික්තය මෙයින් ප්‍රධානම ලක්‍ෂණයක් ලෙස පෙන්වා දිය හැකියි. විවිධ හේතු නිසා කණේ ඇතිවන ගෙඩි මෙන්ම නොදැනුවත්වම කණේ ඇතිවන ගෙඩි වර්ග නිසාත් කණට ඇතුල්වන විවිධ සතුන් නිසාත් කණ් කැක්කුම ඇතිවනවා.

සතුන් නිසා ඇතිවන ආසාදන

කිනිතුල්ලන් නිසා ඇතිවන ආසාදන පාසල් යන දරුවන්ට වඩා පාසල් නොයන දරුවන් අතර බහුලයි. නිතර වත්ත ආශ්‍රිතව සෙල්ලම් කරන දරුවන් බහුලව කිනිතුල්ලන්ගේ උවදුරට ලක් වෙනවා. නිවසේ ඇතිකරන පූසන් බල්ලන් වැනි සතුන්ගේ සිරුරේ සිටින කිනිතුල්ලන් කණට ඇතුල්වීම ඉතාම අඩුයි. නමුත් වතු ආශ්‍රිතව උදාහරණයක් ලෙස තේ වතු ආශ්‍රිතව සිටින කිනිතුල්ලන් මෙලෙස කණට ඇතුල්වනවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරිවීමත් වැඩියි. බොහෝ විට දෙමව්පියන්ගේ වැරදි නිසාත් කණට සිදුවන හානිය වැඩියි. කණ හොඳින් සුද්ධ කිරීමට සිතා නෑමෙන් පසුව කණ තුළට කණ් හැදි හෝ පුළුන් කූරු දැමීම නිසා කණේ බිත්තියට හා කණ් බෙරයට හානි වන්නට පුළුවන්. විශේෂයෙන්ම කණ් බිත්තියේ තුවාල ඇතිවන්නේ මේ නිසායි.

ආශ්‍රිත ග්‍රන්ථි නිසා එන ගැටළු

කණේ කිසිඳු ප්‍රශ්නයක් නොමැති, නමුත් කණ ආශ්‍රිතව ඇති වෙනත් ග්‍රන්ථිවල ඇතිවන ආසාදන නිසා කැක්කුම් මතුවන්නට පුළුවන්. උගුර, නාසය සහ කණ ආශ්‍රිතව ඇත්තේ එකම ස්නායු සැපයුමක්. මේ නිසා එම ඉන්ද්‍රියන් ආශ්‍රිතව ඇතිවන ආසාදනයක දී කණ් කැක්කුම මතුවනවා. පීනසය ද ඉන් එක් අවස්ථාවක්. අපේ කණට ඉදිරිපසින් මුඛයේ උඩු හනුව සහ යටි හනුව පිහිටා තිබෙනවා. මේ අතර පිහිටා ඇති සන්ධිවල ඇතිවන රෝග නිසාත් කණ ආශ්‍රිතව ගැටලු මතුවිය හැකියි.

කණ අල්ලාගෙන අඬන පුංචි පැටවු

වයස අවුරුද්දට අඩු දරුවන් අතර කණ් කැක්කුම දකින්න ලැබෙනවා. මේ වයසේ දි දරුවන්ට කතා කිරීමට නොහැකි නිසා කණ් කැක්කුම ඇතිවු විට හඳුනාගැනීම අපහසුයි. දරුවා කණක් අල්ලාගෙන හිදීම, කණ අල්ලාගෙන හැඩීම වැනි ලක්‍ෂණ ඇත්නම් දරුවා කණ් කැක්කුමකින් පෙලෙන බව හඳුනාගන්නට පුළුවන්. ඒ හැරුණු විට දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම් ආශ්‍රිත රෝග ඇත්නම් කණේ ආසාදන පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වනවා. මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර නොකර සිටිය හොත් කණ පැසවීම නිසා සැරව වහනය වීම සිදුවෙනවා. ඒ සමඟම කණේ කැක්කුම සුව වනවා. මෙලෙස සැරව පිටවන්නේ කණ් බෙරය සිදුකරගෙනයි. මේ තත්ත්වය අවම වු පසු බොහෝ දෙනෙකුගේ කණ් බෙරයේ සිදුර හා වෙමින් සාමාන්‍ය තත්ත්වයට පත්වනවා. නමුත් සමහරකගේ මේ තත්ත්වය එලෙසම පවතින්නට පුළුවන්. එවිට කණට වතුර ඇතුල්වීමෙන් නිතරම කණ පැසවීම සිදුවනවා. ඒ හැරෙන්නට වෙනත් ආසාදන හෝ බිහිරි භාවය ඇතිවීමටත් මේ තත්ත්වය හේතුවක් වනවා.

මොළයේ උණට හේතුවෙන කණේ ආසාදන

බොහෝ රටවල අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා කණ ආශ්‍රිතව පරීක්‍ෂණ රැසක් සිදු කරනවා. ඒ නිසා දරුවන්ට කණ ආශ්‍රිත සංකූලතා ඇතිවීමට පවතින්නේ අඩු ඉඩක්. නමුත් අවුරුද්දට අඩු දරුවන්ට සාමාන්‍ය හෝ භයානක සංකූලතා ඇතිවන්නට පුළුවන්. එයින් ප්‍රධානම සහ භයානකම ආසාදනය වන්නේ කණේ ඇතිවන සංකූලතාවයන් ස්නායු පද්ධතිය කරා පැතිර යාමයි. ස්නායු පද්ධතිය හරහා මොළය වෙත පැතිර යන මෙවැනි ආසාදන නිසා දරුවා මොළයේ උණ හෙවත් මෙනින්ජයිටිස් තත්ත්වයට පත්වනවා. එයින් මොළයේ සැරව ගෙඩි පවා ඇතිවන්නට පුළුවන්. නමුත් මෙම තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාම අවම බැවින් බිය වීමට අවශ්‍යතාවයක් නැහැ. මේ හැරුණු විට කණේ ආසාදනයක් ඇතුල් කණ වෙත පැතිර ගියහොත් ස්ථිර බිහිරි භාවයට පත්වන්නට ඉඩක් තිබෙනවා. මේ නිසා හිසරදය හෝ කැරකිල්ල ඇතිවන්නටත් පුළුවන්.

පෙනුමට බලපෑම් කරන කණ

කණ හරහා සම්බන්ධවන සුවිශේෂි ස්නායුවක් පවතින අතර එය හඳුවන්නේ හත්වන කපාල ස්නායුව නමින්. මෙම ස්නායුව හරහා මුහුණේ මාංශපේශිවලට රුධිරය සැපයීම සිදුවනවා. මෙම ස්නායුවට හානියක් සිදුවු විට කට පැත්තට යාම වැනි රෝග තත්ත්වයන් ඇතිවනවා.

සංජානනීය ආබාධ

කණ සම්බන්ධව සංජානනීය ආබාධ බොහෝමයක් තිබෙනවා. එළිය කණ ගත්විට එහි පිහිටීම නොමැති වීම එයින් එක් අවස්ථාවක්. එය පුද්ගලයාගේ පෙනුමට බලපාන කාරණාවක්. කණේ නාලයේ වර්ධනයේ අඩුපාඩු තවත් එක් අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ අතරින් අවධානය යොමු කළ යුතු වැදගත්ම සංජානනීය ආබාධය වන්නේ උපතින්ම ඇතිවන බිහිරි භාවයයි. මෙය ඉතාම බරපතල ප්‍රශ්නයක් වන අතර අලුත උපදින දරුවන් දහසක් අතරින් එක් අයෙකු බිහිරි භාවයට ගොදුරු වනවා. යම් හෙයකින් දරුවාගේ කණ් දෙකෙහිම යම් ශ්‍රවණ ඌණතාවයක් ඇත්නම් දරුවාට කිසිවක් ඇසෙන්නේ නැහැ. මේ නිසාම භාෂා සංවර්ධනයක් සිදුනොවන නිසා කථන ආබාධ සහිත දරුවෙක් බවට පත්වනවා. ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන් සිටින්නේ මේ නිසායි. මේ දරුවන්ට කථන ආබාධ ඇතිවන්නේ බිහිරි බව නිසා මිස කථනයේ දෝෂ නිසා නොවේ.

ශ්‍රවණ ආබාධ සඳහා ප්‍රතිකාර

මුල් අවදියේ ඇතිවන බිහිරි භාවයට අවශ්‍ය තරම් ප්‍රතිකාර පවතිනවා. ප්‍රධානම කරුණ වන්නේ කලින් හඳුනාගැනීමයි. එහිදි ශල්‍යකර්මයක්, ශ්‍රවණ උපකරණ සවිකිරීම හෝ කර්ණශංඛ බද්ධය වැනි සංකීර්ණ ශල්‍යකර්මයක් මඟින් ප්‍රතිකාර ලබා දෙන්නට පුළුවන්. නමුත් පසුකාලීනව හඳුනාගතහොත් කථනය ප්‍රතිකාර කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව ඒ වන විට මොළය වර්ධනය වී අවසන් නිසා මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට නොහැකි වීමයි. මොළයේ කථනය සඳහා ඇති කොටස වෙනත් කාර්යයක් සඳහා හුරු වීම නිසා නැවත කථනය සඳහා හුරුකරවීම අපහසුයි. වැදගත්ම කරුණ වන්නේ මොළයේ සංවර්ධනය සිදුවීමට පෙර කණ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමයි. නමුත් මුල්ම අවධියේ විශේෂයෙන් උපතේදි ඇතිවන ශ්‍රවණ ආබාධ හඳුනාගැනීම අපහසුයි. නමුත් වෙනත් රටවල ඒ සඳහා දියුණු ප්‍රතිකාර ක්‍රම පවතිනවා. එහිදි උපදින සෑම දරුවෙක් සඳහාම සුළු පරීක්‍ෂණයක් සිදුකරනවා. එමඟින් බිහිරි භාවය පිළිබඳ සැකයක් ඇති දරුවන් වෙන්කරගෙන එම දරුවන් සඳහා වෙනම පරීක්‍ෂණ සිදුකර ප්‍රතිකාර සඳහා සුදුසු පරිදි යොමු කරනවා.

මෙම පරීක්‍ෂණ සාමාන්‍ය මට්ටමෙන් අපේ රට තුළත් ක්‍රියාත්මක වනවා. මෙම සියලු පරීක්‍ෂණ ඕනෑම රජයේ රෝහලක් හරහා නොමිලේ සිදු කරගැනීමට පුළුවන්. එමඟින් බිහිරි භාවය පිළිබඳව හඳුනාගෙන ප්‍රතිකාර ලබාගත හැකියි.

කොළඔ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
උගුර කණ නාසය පිළිබඳව
විශේෂඥ වෛද්‍ය
සමන් යසවර්ධන

සටහන චාපා හංසිනි ආටිගල