free stats

සෑම මවකගේම, සෑම පියෙකුගේම එකම පැතුම තම දරුවා යහපත් පැවතුම් ඇති , බුද්ධිමත් අයෙකු බවට වැඩෙනු දැකීමටයි. කුස පිළිසිද ගත් දින සිටම හැකි සියලු‍ යහපත් පුරුදු ඇතිකරගෙන , හැකි සෑම අයුරකින්ම පරෙස්සම් වී, හොද පෝෂණයක් ලබා ගෙන මවක් උත්සාහ ගන්නේත්, සියලු‍ කැපකිරීම් කරමින් හැකි සියලු‍ හොද දේ මවට සහ දරුවාට ලබා දෙමින් පියෙකු උත්සුක වන්නේත් මේ හේතුව නිසාමයි. එවන් නිරෝගී මානසික වර්ධනය උදෙසා බොහෝ සාධක බලපාන බව ඔබ සමහර විට අසා ඇති . මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි.

දරුවා මවගේ ගර්භයේ පිළිසිද ගත් මුල්ම අවධියේ සිටම මොලය ඇතුලු‍ ස්නායු පද්ධතිය වැඩීමට පටන් ගන්නවා. ස්නායු සෛල ප්‍රමාණයෙන් වැඩි වර්ධනය වී, මොලයේ අදාල කොටස් විකසනය වී සිදුවන මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසට දරුවා බිහිවන්නේ හොදින් සැකසුනු , අංගසම්පූර්ණ මොලයක් සමගයි. නමුත් , මෙම මොලයේ අඩංගු අතිශයින් වැදගත් ස්නායු සෛල අතර සම්බන්ධතාවන් නව ජන්මයා තුල උපරිම තත්වයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ . වෙනත් අයුරකින් දැක්වුවහොත්, බිලිදාගේ මොලය නොමේරූ තත්වයකයි පවතින්නේ. එම අවශ්‍ය සම්බන්ධතාවන් මොලයේ ස්නායු සෛල අතර ගොඩ නැගී , ස්නායු පරිපථ නියම ආකාරයෙන් සකස් වන්නේ උපතෙන් පසුව, විශේෂයෙන්ම පළමු වසර කිහිපය ඇතුලතයි.

ඔබේ දරුවා වැඩෙන විට ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් වල, කතාවේ හා බුද්ධියේ ඔබ දකින දියුණුව ඇති වන්නේ ඉහත ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන නිසයි. ඉතින් මෙම මොලයේ වැඩීම මෙන්ම දියුණුවද හොදින් නිරෝගී ලෙස සිදුවන විට අප හැමදෙනාගේම බලාපොරොත්තුව වන නිරෝගී මානසික වර්ධනයක් සහ බුද්ධියක් ඇති දරුවකු ඇතිවෙනවා. මේ උදෙසා බලපාන සාධක පහත ලෙස වර්ග කල හැකියි.

ජාන මගින් සම්ප්‍රේෂණය වන දෙමාපියන් ගේ සහ පරම්පරාවේ ලක්ෂණ
ගර්භයේදී දරුවාට බලපාන සාධක
උපතේදී දරුවාගේ මොලයට බලපා හැකි හානිකර තත්වයන්
පෝෂණය
සාමාන්‍ය සෞඛ්‍ය තත්වය
දෙමාපියන් සහ පවුල
අනිකුත් පාරිසරික සාධක

අවාසනාවකට, මේ සියලු‍ම සාධක අපට පාලනය කිරීමට නොහැකි වූවත්, දරුවාගේ යහපත් මානසික වර්ධනය සදහා දෙමව්පියන් වශයෙන් කල හැකි දේ බොහෝ තිබෙනවා. ඉතින් මේ එක් එක් කරුණු ගැන සැකෙවින් සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා.

ජාන මගින් සම්ප්‍රේෂණය වන ලක්ෂණ

අපේ සියලු‍ම ශාරීරික ලක්ෂණ මෙන්ම අපට නොපෙනෙන ජීව විද්‍යාත්මක ලක්ෂණ අපගේ සෛල තුල ඇති ජාන මගින් පාලනය වන බව ඔබ අසා ඇති. ඔබගේ දරුවාගේ ජාන වලින් අඩක් ඔබෙනුත්, ඉතිරිය ඔබේ සහකරුගෙනුත් ලැබෙනවා. මෙනිසා, සමහර විට දෙමාපියන් තුල ඇති ලක්ෂණත්, දෙමාපියන්ට නැති ආදි පරම්පරාවල තිබූ ලක්ෂණත් දරුවා තුල පිහිටිය හැකියි. එසේම ජාන වල ඇතිවන වෙනස්කම් නිසා නව ලක්ෂණ ඇතිවීමත් සුලභව දැකිය හැකියි. කෙසේ නමුත් මෙම ජාන ලක්ෂණ දරුවගේ බුද්ධිමත් බව සහ බුද්ධි වර්ධනය සදහා බලපාන බව සොයාගෙන තිබෙනවා. බුද්ධි වර්ධනය උදෙසා බලපාන ප්‍රවේණිගත රෝගී තත්ව මෙන්ම ජාන සැකසුමේ වෙනස්කම් නිසා ඇතිවන “සින්ඩ්‍රෝම”‍ තත්ත්ව රැසක් ද හදුනා ගෙන තිබෙනවා. අවාසනාවකට මෙවැනි ප්‍රශ්න සමග දරුවෙකු බිහිවූ පසු කල හැකි දේ සීමාසහිත වුවත් , සමහර ජානමය ප්‍රතිකර්ම, බුද්ධි වර්ධනය උදෙසා සිදුකරන ක්‍රමානුකූල ප්‍රතිකාර ක්‍රම (ඔයැර්චසැි) සහ දෙමව්පියන් දිරි ගැන්වීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග දිනෙන් දින ඉදිරියට ගමන් කරමින් පැවතීම සැමටම අස්වැසිල්ලක් වන බවට සැකයක් නැහැ.

ගර්භයේදී දරුවාට බලපාන සාධක

මවගේ කුස තුල වැඩෙන බිලිදාගේ මොලය ඇතුලු‍ කායික වර්ධනය නිවැරැදිව සිදුවීමට හේතු රැසක් බලපානවා. එයිනුත්, පෙකණි වැල හරහා මවගෙන් ලැබෙන පෝෂණය ඉතා වැදගත්. ගර්භනි ඔබ මුල සිටම හොද සමතුලිත අහාර ලබාගැනීම අනිවාර්යයෙන් කල යුතුයි. අඩු පෝෂණය නිසා අඩු බර සහිතව බිහිවන දරුවන්ගේ බුද්ධි වර්ධනයේ ගැටලු‍ ඇතිවිය හැකි බව සොයාගෙන තිබෙනවා. පෝෂණය මෙන්ම නියම කරන විටමින් හා අනිකුත් පෝෂණ සංඝටක නිසිලෙස ලබාගැනීමත් කල යුතුයි. සමහර අවස්ථා වල පෙකනි වැලේ සංකූලතා සහ අසාමාන්‍ය තත්වයන් නිසා වැඩෙන ගර්භයට අවශ්‍ය පදාර්ථ නොලැබී කායික හා ස්නායු වර්ධනය බාල වනවා. මෙවන් විට නිසියාකාරව සායන වලට හා ස්කෑන් පරීක්ෂණ වලට ලක්වී, වෛද්‍ය උපදෙස් පරිදි ක්‍රියා කිරීම සිදුකළ යුතුයි.

වාසනාවකට මෙරට අඩුවෙන් දැකි වුවත් වෙනත් බොහෝ රටවල් වල හමුවන, දරුවාගේ බුද්ධි වර්ධනයට හානිකර ලෙස බලපාන වැදගත් සාධකයක් වන්නේ ගර්භනි මවගේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයයි. එවන් හානිකර පුරුදු වලින් සම්පූර්ණයෙන්ම ඈත් වීමට සියලු‍ මව්වරුන් වග බලා ගත යුතුයි. එසේම, ගර්භනි මවට වැළදිය හැකි සමහර වෛරස ආසාදන වැනි රෝග මගින්, විශේෂයෙන්ම මුල් ගර්භනි සමයේදී, වැඩෙන දරුවාට හානි සිදුවිය හැකියි. එම හානිය සමහර විට පසුකාලීනව දරුවාගේ අඩු බුද්ධි වර්ධනය සදහා හේතු විය හැකියි. උදාහරණයක් ලෙස මවට වැළදෙන රුබෙල්ලා වෛරසය මගින් දරුවාගේ ස්නායු පද්ධතියට දැඩි හානි සිදුවන බව පෙනී ගොස් තිබෙනවා. සෑම කාන්තාවකට අද පාසැල් වියේදීම රුබෙල්ලා එන්නත ලබා දෙන්නේ මේ නිසයි.

එය ඔබට ලබා දී නැතිනම් හෝ දුන් බව නොදන්නේ නම්, ගර්භනි වීමට පෙර වෛද්‍යවරයා හට දැනුම් දිය යුතුයි . කෙසේ නමුත් බොහෝ වෛරස ආසාදන කුසේ සිටින බිලිදාට හානිදායක නොවූවත්, පුරුද්දක් ලෙස වෛරස ආසාදිතයින් වෙතින් ඈත්වී සිටීමට ගර්භනි මවුවරුන් උනන්දු විය යුතුයි. ඊට අමතරව, මේ කොරෝනා සමයේ අප පිළිපදින මුව ආවරණ යෙදීම, අත් සේදීම සහ දුරස්ථ භාවය තබා ගැනීම මුලු‍ ගර්භනි සමය තුලදීම සිදුකල යුතුයි.

එලෙසම ඔබ රෝගී තත්වයක් සදහා කිසියම් ඖෂධයක් හෝ කිහිපයක් කාලයක් සිට ලබා ගන්නා අයෙකුනම්, ගර්භනි වීමට පෙර හෝ හැකිතාක් ඉක්මනින් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කල යුතුයි. එයට හේතුව නම් සමහර ඖෂධ මගින් වැඩෙන කළලයේ හානිකර වෙනස්කම් ඇතිකල හැකි නිසයි. වැඩෙන මොලය ඇතුලු‍ ස්නායු පද්ධතියට ද මේ ආකාරයෙන් හානි සිදුවිය හැකියි. වලිප්පු තත්ව සදහා භාවිතා කරන සමහර බෙහෙත් වර්ග මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවන් අවස්ථා වලදී ගර්භනි කාලයට සුදුසු ලෙස ඖෂධ වර්ග වෙනස් කිරීම සහ මාත්‍රා සංශෝධනය කිරීම වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබනවා.

උපතේදී දරුවාට බලපාන සංකූලතා

මෙයින් අදහස් කරන්නේ සමහරවිට මවගේ ගර්භාෂයේ සිට බාහිර පරිසරයට දරුවා බිහිවන විට, කිසියම් අවස්ථාවකදී දරුවාගේ මොලයට හානි සිදුවිය හැකි සංකූලතායි. ගර්භාෂයේදී සිදුවිය හැකි පෙකනි වැල හදිසියේ ගැලවී යෑම, උපත් මාර්ගයේ දරුවා සිරවීම සහ පෙකනි වැල තෙරපීම්, උපත් මාර්ගයේදී දරුවාට මල පිටවී ස්වසන මාර්ගය අවහිර වීම සහ නොමේරූ සහ අසාමාන්‍ය පෙනහලු‍ නිසා උපතෙන් පසු ස්වසනය හරියාකාරව සිදු නොවීම යන හේතු මේවායින් ප්‍රමුඛ වෙනවා. මේ සියලු‍ම සංකූලතා මගින් නව බිලිදාගේ මොලයට අත්‍යවශ්‍ය ඔක්සිජන් අඩංගු රුධිරය සැපයුම අඩාල වෙන නිසා මොලයට හානි සිදුවන බව පෙනී ගොස් තිබෙනවා. එසේම උපතෙන් පසු ඇතිවන සමහර බක්ටීරියා වැනි විෂබීජ ආසාදන මගින් මෙන්ම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩුවන අවස්ථා වලදීත් ඉහත ලෙසම දරුවාගේ මොලයට හානිකර බලපෑම් ඇතිවී, ඉදිරියට සිදුවන බුද්ධි වර්ධනය අඩාල වීමට ඉඩ තිබෙනවා. කෙසේ නමුත් අද ප්‍රසව හා නව ජන්ම වෛද්‍ය ප්‍රතිකාර බොහෝ දියුණු තත්වයක තිබෙන නිසා මෙවැනි සංකූලතා බොහෝ අඩු කර ගැනීමට හැකිවී තිබීම ධනාත්මක ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි .

පෝෂණය

උපතෙන් පසු මුල් වසර කිහිපයේදී දරුවාට ලැබෙන පෝෂණය ඔහුගේ හෝ ඇයගේ බුද්ධි වර්ධනය උදෙසා බෙහෙවින් බලපාන බවට සැකයක් නැහැ . මුල් හය මස තුල නිසිලෙස මව්කිරි දීමට සියලු‍ මව්වරුන් උත්සුක විය යුත්තේ එයින් ලැබෙන සමතුලිත පෝෂණයට සම කල හැකි වෙනත් කිසිවක් නොමැති නිසයි . එසේම , මව් කිරි ලබාදෙන දරුවෙකු මව සමග ඇතිකරගන්නා බැදීම , ඇයගෙන් ලැබෙන ආදරය සහ උණුසුම නිසා පසුකාලීනව යහපත් මානසික වර්ධනයක් ඇති කරගන්නා බව සමහර පරීක්ෂණ මගින් තහවුරු කර තිබෙනවා .මුල් අවධියෙන් පසුව අනෙකුත් ආහාර හදුන්වා දී, සෑම අතින්ම සමතුලිත පෝෂණයක් නිතිපතා ලබාදීම ඉතා වැදගත් . මෙහිදී , ප්‍රෝටීන් , පිෂ්ටය , මේද , විටමින් සහ ඛනිජ නියමාකාරයෙන් අඩංගු වී ඇතිනම් සහ දරුවාට උචිත ලෙස සකසා ඇති නම්, එය අපට පුරුදු ශ්‍රී ලාංකික ක්‍රමයට හෝ බටහිර ආහාර ක්‍රමයකට හෝ වෙනත් අයුරකට පිළිවෙළ කිරීමේ කිසිම ගැටලු‍වක් මම දකින්නේ නැහැ .

එහෙත් , අවධාරණය කල යුතු දෙයක් නම් හැකිතාක් දුරට රසායනික ද්‍රව්‍ය නොයදූ , පිරිසිදු අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර පිළිවෙළ කිරීමේ වැදගත්කමයි. ඊයම් , ආසනික් සහ රසදිය වැනි රසායනික ද්‍රව්‍ය නොදැනුවත්ව , දීර්ඝකාලීනව ශරීරගත වූ දරුවන්ගේ බුද්ධි වර්ධනය එසේ නොවූ දරුවන්ට සාපේක්ෂව අඩුවෙන් සිදුවන බව විශේෂයෙන්ම, පැරණි වෛද්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා .කෘතිම රසකාරක සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය මගින් දරුවාගේ බුද්ධි වර්ධනයට සිදුවන බලපෑමේ ස්වභාවය පිළිබඳව පැහැදිලි සාක්ෂි දැනට ඇත්තේ අඩුවෙන් වුවත් එම බලපෑම් අයහපත් ඒවා වීමට ඇති අවස්ථාව ඉතා වැඩි බව අපට උපකල්පනය කල හැකියි. එම නිසා හොද ආහාර පුරුදු මෙන්ම සෞඛ්‍ය සම්පන්න , හානිකර නොවන ආහාර භාවිතයට හුරු වීමට දෙමව්පියන් උනන්දු විය යුතුයි. පෝෂණය ගැන සාකච්ඡා කරන විට ක්ෂුද්‍ර පෝෂණ ඌනතා ගැන අමතක කල නොහැකියි . යකඩ සහ විටමින් ෘ වැනි අත්‍යවශ්‍ය පෝෂකවල ඌනතා අපේ රටේ බොහෝ දරුවන් තුල පවතිනවා. මේ ඌනතා උග්‍ර වූ විට බුද්ධි වර්ධනයටත් අයහපත් ලෙස බලපාන බැවින් ,සැකයක් ඇතිවිට වෛද්‍යවරයකු වෙත දරුවා යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි .

දරුවාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය

දීර්ඝකාලීන සහ නිතරම රෝහල්ගතවීමට සිදුවන රෝගී තත්ව වලින් පෙලෙන දරුවන්ගේ බුද්ධි වර්ධනය ගැන විශේෂ අවධානය යොමු කිරීම හරිම වැදගත් . අධ්‍යාපනයට සිදුවන බාධා , අඩු පෝෂණය , ශාරීරික වේදනාව , මානසික පීඩනය මෙන්ම ඖෂධ වල අතුරු ආබාධ නිසා මෙවන් දරුවන් සමහර විට සමකාලීන අනෙකුත් දරුවන්ට වඩා මානසික සහ බුද්ධි වර්ධනයේදී පසුබෑමකට ලක්වීමට පුලු‍වන් . ගුරුවරුන් සහ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි නිසි සැලසුමක් අනුව ක්‍රියා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි .

දෙමව්පියන් සහ පවුල

දෙමාපියන්ගේ භූමිකාව දරුවන්ගේ බුද්ධි වර්ධනය සහ යහ පැවැත්ම සදහා බෙහෙවින් බලපානවා . දෙමව්පියන් වෙතින් ලැබෙන ආදරයත්, සුරක්ෂිත බවත් මේ සදහා හරිම වැදගත්. ඉංග්‍රීසියෙන් ්එඒජයපැබඑ නමින් හදුන්වන දෙමාපියන් සමග ඇතිවන බැදීම යහපත් වූ කල දරුවා නිරෝගී බුද්ධි වර්ධනයක් ඇතිකරගන්නා බව පෙනී ගොස් තිබෙනවා. එසේ නොමැති විට කුමන භෞතික දේ ලබා දුන්නත්, සමහර විට දරුවා විවිධ මානසික ආබාධ වලට ලක් වී, ඉගෙනීමේ දුර්වලතා, නිරෝගී සම්බන්ධතාවන් පවත්වා ගැනීමේ ගැටලු‍ සහ සමාජ විරෝධී හැසිරීම් වලට භාජනය වීමට හැකියාවක් පවතිනවා . විශේෂයෙන් බටහිර රටවල් වල මේ තත්වය සුලභව දැකිය හැකියි . එලෙසම , මවුපිය රැකවරණය අහිමිව, රැකබලා ගැනීමේ ආයතන වල දිවිගෙවන දරුවන් අවාසනාවකට මේ තත්ත්ව වලට නිරන්තරයෙන් ගොදුරු වෙනවා . එමනිසා කොතරම් කාර්යබහුල වුවත් , දරුවා සමග කාලය ගතකිරීමට , දරුවාට සවන් දීමට , දරුවා අගය කිරීමට දෙමව්පියන් උත්සුක විය යුතුයි.

බාහිර සමාජය

දරුවා වයසින් වැඩෙන විට බාහිර සමාජයෙන් ඔහුට හෝ ඇයට ඇතිවන බලපෑම් සුළුකොට තැකිය නොහැකියි. සමහර විට සමාජයෙන් එල්ලවන දැඩි හානිකර බලපෑම් දරුවා තුල දැඩි පීඩනයක් ඇතිකරනු ලබනවා. විශේෂයෙන්ම පාසල් තුල සිදුවන විවිධාකාර අඩම්තේට්ටම් (ඊමකකහසබට) කාලයක් තිස්සේ සිදුවන විට එය දරුවාගේ නිරෝගී බුද්ධි මානසික වර්ධනයට ඍණාත්මක ලෙස බලපානවා. එලෙසම, දන්නා සහ නොදන්නා වැඩිහිටියන් අතින් කාලයක් තිස්සේ ලිංගික, ශාරීරික හෝ මානසික අතවරයන්ට ගොදුරු වන දරුවන් දැඩි ලෙස මෙවන් තත්ව වලින් පෙලෙන බව පැහැදිලි වී තිබෙනවා.

තවත් දරුවාගේ බුද්ධි වර්ධනය අකර්මණ්‍ය කරන හානිකර සාධකයක් වන්නේ මත් ද්‍රව්‍යයි. අද කුඩා කල සිටම දරුවන් මත් ද්‍රව්‍ය වෙත යොමුකර ගැනීමට සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාත්මක වන බව ඔබත් අසා ඇති. මෙවන් පරිසරයක, සමාජයෙන් ඔබගේ දරුවාට එල්ල විය හැකි මෙම තර්ජන වලින් ඔහු හෝ ඇය ගලවා ගැනීමේ මූලික වගකීම ඇත්තේ දෙමව්පියන් වන ඔබටමයි. සෑම විටම වැඩෙන දරුවා සමග හොද සම්බන්ධතාවක් සහ විශ්වාසයක් ගොඩනගා ගැනීමත්, දරුවාට ස්වාධීනත්වය ගොඩනගා ගැනීමට අවස්ථාව ලබා දෙන අතර ඔහු හෝ ඇය පිළිබඳව නිරතුරුව අවධානයෙන් පසුවීමත්, නිසි මග පෙන්වීමත් ඔබෙන් අඛණ්ඩව සිදුවිය යුතුයි.

මා දැක්වූ මේ කරුණු කිහිපය ඔබගේ ආදරණීය දරුවා වෙනුවෙන් වෙහෙසෙන සහ යහපත් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිහින මවන ඔබට උදව්වක් වනු ඇතැයි මම සිතනවා. යහ පැවැත්ම,නිවැරදි තීරණ සහ නිසි උපදෙස් සමග ඔබගේ පැතුම නිසැකවම ඉටුකර ගැනීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසයයි.

සටහන
විශේෂඥ වෛද්‍ය නුවන් වික්‍රමසිංහ