free stats

පුංචි පැටව් කොයිවෙලෙත් තෙමාගන්නවා නේ. මේ විදියට තෙමාගන්න වාරයක් වාරයක් ගානේ පැටියගේ ඇදුම් සෝදන්න ගියොත් අම්මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි ගොඩක් අම්මලා දරුවන්ට නැපි අන්දවන්න උනන්දු වෙන්නේ. නැපිය හුඟක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ දුර ගමන් යන්න වෙනකොට. පැටියට තේරෙන්නේ නැහැනේ දුර ගමනක් යන බව. එයාට ඕන උනු ගමන්ම එයා නැපිය තෙමාගන්නවා. අන්න ඒ වෙලාවට තමයි නැපියක වටිනාකම හොදින්ම දැනෙන්නේ.

හැබැයි ඉතින් නැපි අන්දන එකෙන් පැටියට සෞඛ්‍යමය ගැටලු ඇතිවෙනවද කියන කාරණයත් සලකා බලන්න වෙනවා. මොකද නැපිය කියන්නේ කෘතිම ද්‍රව්‍යවලින් හදන ඇඳුමක්. පැටියගේ සම සිනිදුයි. මේ නිසා පැටියගේ සමට හානි සිදුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම පැටියා තෙමාගත්තට පස්සේ නැපිය අන්දලා තියන්න හොඳ නැහැ. එයින් පැටියා විශබීජ ආසාදනවලට ලක්වෙන්න ඉඩ තියෙනවා. මළ සහ මුත්‍ර වැඩි කාලයක් සිරුරේ තැවරි තිබීම දද, කුෂ්ඨ ඇතිවීමට හේතුවක්. ඒ වගේම ඒ නිසාම කැසීම් ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

අන්න ඒ නිසාම නැපිය නිතර මාරු කරන එක අම්මලාගේ වගකීමක්. හරියට නැපිය මාරු කරනවා නම් දවසකට 6-7 වතාවක් වත් නැපිය මාරු කරන්න ඕන. ඒ හැම වෙලාවකම පැටියව හොඳින් සෝදලා තෙත මාත්තු කරලා වියලෙන්නට හැරලා නැපිය අන්දවන්න ඕන. නැත්නම් වතුර රැදිලා තිබිලා කැසීම් තුවාල දක්වා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.

පැටියා ගේ නැපිය මාරු කරන වේලාවට අම්මා ගාව මෙන්න මේ දේවල් තියෙන්න ඕන. පැටියා නිදිකරව ගන්න තුවායක්, කොට්න් වූල්, මද උණුසුම් වතුර, පැටියාගේ පැම්පස් දාන්න වගේම පැටියා පිහින්න ගන්න කොට්න් දාන්න බෑග් එකක්, පැටියගේ සමටම ගැලපෙන ආරක්ෂිත ක්‍රිම් වර්ගයක්, අලුත් නැපි සහ අලුත් ඇදුම්. මේ දේවල් ලඟට අරගත්තට පස්සේ තමයි බබාගේ නැපිය ගලවන්න වෙන්නේ. නැපියට ආවරණය වන සිරුර හොඳින් සෝදා තෙතමාත්තු කිරිම නිතර කලයුතුයි. එය ආසාදන වළක්වා ගැනීමට හොඳම පියවරක් වෙනවා.

නැපි තෝරා ගන්නා විට මුදලට වඩා එහි තත්ත්වය පිලිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත්. බාල වර්ගයේ නැපි ඕන තරම් වෙළඳපලේ තිබෙනවා. ඒවායේ මිලත් හරිම අඩුයි. නමුත් මිලෙන් වැඩි වුණත් හොඳ වර්ගයේ නැපි තෝරාගන්න පුලුවන් නම් ඒක පැටියගේ ආරක්ෂාවට හොඳයි. ඒ වගේම පුලුවන් හැම වෙලාවකම පැටියාට නැපිය අන්දන්නේ නැතිව නිදහසේ ඉන්න ඉඩ දෙන්න. ඒක පැටියට ලොකු පහසුවක්.

ගොඩක් රස්නය සහිත පරිසරයක ජීවත් වෙන කෙනෙක් නම් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. සමහර විට රස්නය නිසා නිතර ඩයපරය අදින පැටියට දහදිය බිබිලි ඇතිවෙන්න පුලුවන්. දහදිය බිබිලි නිසා කැසිම් ඇතිවෙනවා. මේ කැසිම් පැටියාගේ වේදනාවට හේතුවක්. සමහර විට රැ තිස්සේ නින්දක් නැතිව අඩන්න ඉඩ තියෙනවා.

ඒ වගේම සෑම වෙලාවකදිම පැටියට අන්දන යට ඇදුම් තුනි කපු රෙදිවලින් යුතු යට ඇදුම් නම් වඩාත් හොදයි. එවිට පැටියා ගේ සමේ ඇති දහදිය උරාගන්නා නිසා පැටියට එයින් හානියක් වන්නේ නැහැ. ඒ වගේම නැපිය අන්දන සෑම විටම යට ඇදුම්ි අන්දන්නත් අවශ්‍ය නැහැ. නැත්නම් පැටියට අපහසුතාවයක් ඇතිවන්න පුලුවන්. ඩයපරය අන්දවන්නට පෙර පැටියගේ සමේ තෙතමනයට ගැලපෙන වර්ගයේ බිළිදුන් සදහාම නිර්දේශිත ක්‍රිම් වර්ගයක් ආලේප කරන්න. එවිට ඩයපරය නිසා වන හානි රැසක් වලක්වාගන්න පුලුවන් වෙනවා.

දිනකට 10 වතාවක් හො 12 වතාවක් මරු කරන නැපි ටික ගෙදර එකතු වෙන එක ඔබට කරදරයක්. ඒ නිසා නැපි ටික වෙනම බැග් එකක් විදියට අරගෙන එකතු කරන්න. දවස අවසානෙදි නැපි ටික එකතු කරලා පරිසරයට හානි නොවන විදියට බැහැර කරන්න පුලුවන්. පැටියා වගේම අපි පරිසරයත් රැකගන්න උවමනායි. අපි රැකගන්න පැටියා වෙනුවෙන් ලස්සන සුන්දර පරිසරයක් ඉතිරි කරන එක අපේ වගකීමක්.