free stats

දරුවො කියන්නෙ දෙමාපියන් ඇස් දෙක වගේ ආදරෙන් රැකබලා ගන්න ලෝකයේ උතුම්ම සම්පත. ඒ තරම් ආදරෙන්, ආරක්ෂිතව බලාගන්න දරු පැටියගේ ඇස් ගැනත් ඒ වගේම අම්මලා සැලකිලිමත්. පැටියගේ ඇස් වෙනදට වඩා රතු වෙලාද? නිතරම ඇස් කසනවද? පොඩිකරනවද? පැටියගෙ ඇස්වල වෙනස්කමක් ඔයාට පේනවද? ඒ ගැන ඔයා හරිම විමසිලිමත් වෙනවා. බහ තෝරන්න බැරි අවධියේ ඉන්න පුංචිම පැටවුන්ට නම් තමන්ගෙ ඇසේ අමාරුව අම්මට කොහොම කියන්නද? එයාලා අත පය චලනය කරන විදිය, මුහුණේ ඉරියව්වලින්, හා ඇඬීමෙන් තමයි තමන්ගෙ අපහසුතාව අම්මට කියන්නෙ. පෙර පාසල් යන වයසේ ඉන්න පැටවුන්ට නම් පුංචි පුංචි වචන වලින් තමන්ගෙ ඇසේ තියෙන අමාරුව අම්මට කියන්න පුළුවන්. වැඩිහිටි වියේ ඉන්න අයටත් ඇස් රෝග හැදුනම හරිම අපහසුතාවක් වේදනාවක් තමයි දැනෙන්නෙ. ඉතින් පුංචි පැටවුන්ට ඒ වගේ ඇස්වල රෝගයක් හැදුනම කොයිතරම් නම් අපහසුවක් දැනෙනවා ඇතිද නේද?

වයස් බේදයකින් තොරව හැදෙන අක්ෂි රෝග කීපයක්ම තියෙනවා. මේ අතරින් අක්ෂි පටල ප්‍රදාහය කියන්න රෝගය වි⁣ශේෂයි. මේ රෝගය පුංචි පැටව්න්ට බලපාන්නෙ කොයි විදියටද කියලා කතා කරන්න අද අපි හිතුවා .

අක්ෂි පටල ප්‍රදාහය කියන්නෙ මොකක්ද ?

අපේ ඇස ආරක්ෂා වෙලා තියෙන්නෙ සියුම් අක්ෂි පටලයකින්. බාහිරින් ඇසට ඇතුල් වෙන යම්කිසි අහිතකර බැක්ටීරියාවක්, වෛරසයක් නිසා මේ පටලය ප්‍රදාහයට, ආසාදනයට ලක්වීම අක්ෂි පටල ප්‍රදාහය කියලා සරලව හඳුනාගන්න පුළුවන් .

මේ රෝගය ඇති වෙන්නේ වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා. එහෙම නැත්තම් ආසාත්මිකතාවක් හේතුවෙන්. බෝ වන හා බෝ නොවන අක්ෂි රෝග කියලා කොටස්
දෙකකින් අක්ෂි රෝග හඳුනා ගන්න පුළුවන්. වෛරස් හෝ බැක්ටීරියාවක් නිසා අක්ෂි පටල ප්‍රදාහය ඇති වෙනවා නම් ඒක බෝ වන අක්ෂි රෝග කාණ්ඩයට අයිති වෙනවා. නමුත් ආසාත්මිකතාවකින් ඇති වෙන අක්ෂි පටල ප්‍රදාහයක් නම් ඒක තව කෙනෙක්ට බෝ වීමේ ඉඩක් නෑ. ඊට හේතුව ආසාත්මිකතාවක් ඇති වෙන්නෙ බාහිරින් එන යම් ද්‍රව්‍යයක්, කෑමට ගන්න ආහාරයක් නිසා ඊට ප්‍රතිවිරුද්ධව තමන්ගෙ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට.

ආසාත්මිකතාවක් නිසා ඇතිවන පටල ප්‍රදාහය සිදුවන්නේ දූවිලි, නිවසේ සුරතලයට ඇති කරන බල්ලන්, පූසන්ගෙ මයිල්, මල් පරාග, දුම, මකුළු දැල් හා කෑමට ගන්න ඇතැම් ආහාර වල බලපෑම මතයි.

  • රෝග ලක්ෂණ

ආසාත්මිකතාවක් නිසා ඇතිවන පටල ප්‍රදාහයේදී,
1 ඇස් කැසීම
2 ඇස් කෙවෙන ගතිය
3 ඇස් රතුවීම, යම් ප්‍රමාණයකට ඇස ඉදිමීම
4 ආලෝකය දෙස බැලීමට අපහසු වීම

වෛරස් මගින් ඇතිවන පටල ප්‍රදාහයේදී,

1 ඇසේ අධික වේදනාව
2 කහ පැහැයට හුරු කබ ස්‍රාව අධිකව ගැලීම

පුංචි පැටියට මේ ආකාර දෙකෙන්ම අක්ෂි ප්‍රදාහය ඇති වන්නට පුළුවන්. එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුලින් ස්භාවිකව ඇති වන යම් කිසි ප්‍රතිචාරයක් මත සුරතල් සතුන්ගේ මයිල්, දූවිලි, මල් පරාග, පුළුන්, ආහාර වර්ග වගේ විවිධ දේවල් වලට ඇස ආසාත්මික බවට පත් කරනවා. වෛරස් ආසාදනයක් මගින් ඇති වුනු ප්‍රදාහයක් නම් උණ, උගුරේ වේදනාව සමග සෙම්ප්‍රතිශ්‍යාවද ඇති වෙන්න ඉඩ තියෙනවා. කිරිබොන වයසේ ඉන්න පුංචිම පැටවුන්ට නිවස තුලදිම මේ ආසාත්මිකතාවකින් හෝ වෛරසයකින් රෝගය ඇති වෙන්න පුළුවන්. අම්මට මේ රෝගය වෛරස් එකක් බැක්ටීරියාවක් නිසා හැදිලා තියෙනවා නම් පැටියට මේ රෝගය බෝ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. පැටියා එක්කම අම්මා කාලය ගත කරන නිසා බෝවීමේ අවදානම වැඩියි. මේ රෝගය සෑදුනු මවක් නම් පැටියා සිපවැලඳ ගැනීමෙන් ස්පර්ශයෙන් වැළකිය යුතුයි. ඒ වගේම හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම අත්‍යාවශ්‍යයි. නමුත් අම්මට ආසාත්මිකතාවකින් මේ ප්‍රදාහය ඇති වෙනවා නම් ඒක පැටියට බෝවීමේ ඉඩක් නැහැ.

බිළිඳු වියේ ඉන්න පුංචි පැටවුන්ට මේ රෝගය වැළඳුනොත් එයාව හොඳින් ආරක්ෂා කිරීම වැදගත්. සෑම විටම දෑස් පිරිසිදුව තබන්න උත්සහ කරන්න. ඒ වගේම ඇස් මත, ඒ අවට කෝදුරුවන්, මැස්සන් වසන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. මැස්සන් හා කෝදුරුවන් කියන්නෙ ඇස් ලෙඩ වේගයෙන් පතුරු වන්න පුළුවන් වාහක විශේෂයක්. කෝදුරුවන්ගෙන් විශේෂ ඇස් රෝගයක් හැදෙන්නෙ නැති වුනත් ඇස් රෝග තවත් කෙනෙක්ට බෝ කිරීමේ හැකියාව මේ කෘමි විශේෂ වලට තියෙනවා. ඒ නිසා එවැනි කෘමීන්ට පැටියාගේ ඇසට වසන්නට ඉඩ නොදී නිරන්තර අවධානයෙන් ඉඳීම වැදගත්.

පෙර පාසල් වියේ සිටින පැටවුන්ට වෛරස් මගින් බෝ වෙන අක්ෂි පටල ප්‍රදාහය
බෝවීමේ ඉඩ කඩ වැඩියි. රෝගය බෝ වී ඇත්නම් රෝගය සුව වන තෙක් දරුවා පාසල් යැවීමෙන් වැළකිය යුතුයි. එයින් අනෙක් දරුවන් වෙත රෝගය සම්ප්‍රේෂනය වීම වළකිනවා. ඒ වගේම රෝගය තව දුරටත් බෝවීම වැළැක්වීමට එය සෑදුණු දරුවන් අනෙක් දරුවන් සමඟ ගැවසීම අඩු කිරීම අවශ්‍යයි.

මීට අමතරව ඇස සම්බන්ධ තවත් මූලික රෝග කීපයක් තියෙනවා .

  • ඇසේ නගන ඒම

මෙහිදී සිදුවන්නේ ඇස් පිල්ලමේ ඇති වන රත් පැහැ වූ වේදනාකාරී ගැටිත්තක් නිසා ඇස වේදනාවට පත් කීරීමයි. මෙය ඇස් පිහාටු මූලය ආසාදනය වීම නිසා සිදුවන රෝග තත්ත්වයක්.

  • ඇස් වල ඇතිවන සෛලීය දාහය

ඇස් වටා ඇති පටක රතු වී වේදනාකාරී ඉදිමීමක් ඇති වීමත් ඒ සමග උණ තත්වයක්ද ඇතැම් විට ඇති විය හැකියි. මේ රෝගී තත්ත්වය ඇති වීම මගින් ඇස් පෙනීම අඩු වීමක් හෝ චලනයන් වේදනාකාරී වීම සිදුවෙනවා. බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඇති විය හැකියි. මේ සඳහා ⁣ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.

  • කඳුළු නාලිකා අවහිර වීම ඇසෙන් කදුළු ඉවතට ගෙන යන නාලිකා අවහිර වීම නිසා මෙය සිදුවෙනවා. ඇසෙන් නිතරම කඳුළු ගැලීම දකින්නට පුළුවන්. ඇසට කරන විශේෂිත වෛද්‍ය සම්බාහන ක්‍රම මගින් මේ තත්වය සාමාන්‍ය අතට හැරෙනවා.

මේ සඳහන් කල සෑම රෝගයක්ම පුංචි පැටියාට සෑදෙන්නට ඉඩ තිබෙනවා. පැටියගෙ ඇස් වල දකින්නට ලැබෙන පොඩි හෝ වෙනස්කමක් පිළිබඳව අම්මා අවධානයෙන් සිටීම වැදගත්. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නට ඉන් හැකියාව ලැබෙනවා.

කෙසෙල්වත්ත, ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයේ
ආයතන භාර වෛද්‍ය නිලධාරිනී,
වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය

සටහන කුමුදිකා සපුතන්ත්‍රි