free stats

සෞඛ්‍ය සම්පන්න ප්‍රියමනාප දරුවෙකු බිහිකර ගැනීම සෑම මවකගේම මෙන්ම
පියෙකුගේම ප්‍රාර්ථනය බව අප අමුතුවෙන් කිව යුතු නැත. එම ප්‍රාර්ථනය මල්පල ගැන්වීමේ වගකීම ඇත්තේද මව හා පියා අතය. ගර්භනී මවකගේ සිතුම් පැතුම් හැම විටම සතුටුදායක සන්සුන් සිතුවිලි වලින් පෝෂණය කර ගැනීමෙන් නිරෝගි සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහිකිරීමේ මූලික අඩිතාලම වැටෙනු ඇත. ගර්භනී කාලය තුල මවක් සිත නිවෙන පොත්පත් කියවීම සිතට සතුට ගෙන දෙන රූපවාහිනී වැඩසටහන් නැරඹීම ගුවන්විදුලි වැඩසටහන් වලට සවන් දීම ඉතාමත් වැදගත්ය.

විශේෂයෙන්ම දුක්ඛදායී සිතුවිලි සිතේ ඇතිකරන සිත බියගන්වන රූපරාමු නැරඹීම හෝ ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දීම කිසිවිටෙකත් නොකළ යුත්තකි. තමන් අදහන ආගමට වැඩි නැඹුරුවක් දක්වා ආගමානූකූලව තම ජීවිතය හැඩගස්වා ගැනීමෙන් නිරවුල් මනසක් ඇති දරුවෙකු ඔබගේ කුසතුල නිර්මාණය කර ගැනීමට ඔබට නිතැතින්ම හැකිවෙනු ඇත.

මෙහිදී විශේෂයෙන්ම පියා මවගේ සිත සැනසෙන අන්දමට කටයුතු කිරීමද ඉතාමත් වැදගත්ය. කළබලකාරී හැසිරීම් වලින් හා වචන භාවිතයෙන් පියා ඉවත් වීම කුසතුල සිටින තම දරුපැටියාට ධනාත්මකව බලපාන්නේය. කණගාටුවට කරුණක් වන්නේ මෙය බොහෝ පියවරුන් අතින් ඉටුනොවන කරුණකි. ඔවුන් සිතනුයේ කුසතුල සිටින දරුවාගේ වගකීම ඇත්තේ මවට පමණක් බවය.

යම් ස්වාමියෙක් තම ගර්භනී බිරිද සමග නිතර නිතර අඩදඹර කර ගන්නේ නම් එම කලබලකාරී සිතුවිලි හා හිත කලකිරීම් කුසතුල සිටින දරුවාට මානසට සෘජුවම බලපාන අතරම දරුවා වැඩිමහලු වයසේදී පවා මෙම අසහනකාරී තත්ත්වයන් විවිධ බලපෑම් ඇති කිරීමට හේතු විය හැකිය.

යම් හේතුවකින් මවගේ සිතට ක්‍රෝධය වෛරය තරහ ජනිත වන ලෙස යමෙකු කටයුතු කරන්නේ නම් එවැනි මවකට නිරෝගි දරුවෙකු නොව මෙලොවට බිහි කිරීමට සිදුවන්නේ අවුල් වූ මනසකින් පෝෂණය වූ දරුවෙකි. මෙසේ උපදින දරුවාට දිගින් දිගටම පීඩනයන් එල්ල වන්නේ නම් ඔහුගේ ජීවිතයට අදුරු ආගාධයකට ඇදවැටීමට ඉඩ ඇත්තේය.

තවද මවගේ සිතට දුක්ඛදායී සිතුවිලි ඇති නොවිය යුතුය. දුක්ඛදායී සිතුවිලි මවගේ මනසට ඇතුළු වුවහොත් එයද දරුවාගේ මානසික සංවර්ධනයට සෘජුවම බලාපන සාධකයක් බවට පත්වන්නේය. ගැබක් දරාසිටින මවක් හැම විටම සතුටු සිතින් තැබීමට අවශ්‍ය වටාපිටාව ඇය වටා සිටින අය සලස්වා දීම ඉතාමත් වැදගත්ය.

මෙම කාලයේදී තම බිරිදව ආදරයෙන් රැකබලා ගැනීමට ස්වාමියා කටයුතු කරයි නම් ඒ ආදරය ඒ බැදීම මවගේ සිතුම් පැතුම් නිතැතින්ම සතුටට පත්වෙනු ඇත. ඇයගේ ශරීර අභ්‍යන්තරයේ හෝමෝන පද්ධතිය නිරෝගී දරුසම්පතක් උදෙසාම ක්‍රියාත්මක වන්නක් බවට පත්වේ.

එසේම ගර්භනී කාලය තුලදී මවට හොද නින්දක් හා වේකය අවශ්‍යයෙන්ම තිබිය යුතුය. දරුවාගේ මානසික සංවර්ධනයට මවගේ නින්ද හා විවේකය සෘජුවම බලපානු ලබන්නේය.
මානසික සිතුවිලි යහපත් වන්නාක් සේම මවගේ පෝෂණයද ඉතාමත් වැදගත් සාධකයකි. දරුගැබට හානියක් නොවන ආහාර ගැනීමට මවක් වගබලා ගත යුතුවන්නේය. පිරිසිදු නැව්ම් ස්වභාවික වසවිසෙන් තොර ආහාරයන් ගැනීම මෙන්ම මවකට එවැනි ආහාර ලබා දීම ඇයවටා සිටින කාගේත් යුතුකමකි එමෙන්ම වගකීමකි. ගර්භනී කාලයතුල මවට කටට රසට කෑම ගත යුතුය. එහෙත් ඇය විශේෂයෙන්ම දරුගැඹ දරාසිටින කාලයේදී හා දරුවාට කිරිදෙන කාලයේ ගන්නා ආහාර ගැන වඩ වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය විය යුතුය.

ගර්භනී කාලය තුළදී අදින පළදින ඇදුම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමද මවක් ලෙස ඔබ තදින්ම සිතිය යුතුය. ගර්භය තද වෙන ඇදුම් ඇදීම මවකට කිසිසේත්ම උචිත නොවන්නෙය. පිටස්තරව සිට බලන කෙනෙකුට වුවද ගර්භනී මවකගේ ප්‍රසන්න ගතියක් දිස්විය යුතුය. එහෙත් ගර්භයට පීඩනයක් ගෙන දෙන අන්දමට ඇදුම් ඇදීමෙන් ඇයගේ ප්‍රසන්න පෙනුමට වඩා දරුගැබට හානි සිදුවීමේ අවදානමක් පැවතිය හැකිය. මේ පිළිබදවද ඇය කල්පනාකාරී විය යුතුය.

ගමන් බිමන් යාමේ දීද ගැබ ආරක්ෂාවෙන අන්දමේ වාහනවල යාම ඉතාමත් වැදගත්ය. ඇතැම් මව්වරුන් ගැබ දරාසිටින කාලයේදී මෝටර් සයිකල්වලින් ගමන් බිමන් යාමට පුරුදුව සිටියද එය ඉතා බියජනක තෝරා ගැනීමකි. පිටතින් බැලූ කෙනෙකුට එය හානියක් සේ නොපෙනුනද කළලයට යම් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැකිය.

මානසික සුවය සමබල පෝෂණය සුවපහසු ගමන් හා සැහැල්ලු ඇඳුම් පැළඳුම් නිරෝගී දරුවෙකු බිහිකිරීමේ ලා වැදගත් සාධකයන් වන්නේය.

පුද්ගල පලදායි විශේෂඥ
නාලක හේවාමද්දුමගේ

සටහන ශ්‍රියාණි විජේසිංහ