free stats

අම්මලා හැමදාම කියන්නේ බාබාලා කන්න කැමති නෑ කියලා නේ. කන්න ගියාම ගේ වටේ දුවනවා ඇරෙන්න අම්මලාට වෙන වැඩක් නෑ. හැබැයි ඉතින් කන්න ගියාම රසයි පෝෂණය යි විතරක් තිබිලා වැඩක් නෑ. බබාට කන්න හිතෙන විධියේ පෙනුමකුත් තියෙන්න ඕන. අනිත් කාරණය තමයි බබාල කෘතිම රසයට හරිම කැමතියි. එයාලට කන්න ලැබෙන ආහාර ගොඩක් වෙලාවට කෘතිම නම් ඒවායේ තියෙන සීනි සහ ලුණු රසයට ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. එහෙම ඇබ්බැහි උනොත් එතනින් එහාට බබා සාමාන්‍ය ආහාර වේලකට කොහෙත්ම රුචියක් දක්වන්නෙ නැහැ. 

ඒ වගේම තමයි බබාට කන්න කියලා බල කරනවා නම්, කරදර කරනවා නම් එයා කොහොමත් කෑම කන්න උනන්දු වෙන්නේ නෑ. මෙන්න මේ වගේ වෙලාවට එයාලගේ ආහාර රුචිය වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට දරුවෙක් ආහාර ප්‍රතික්ෂේප කරන්නේ ආමාශය ආහාර ප්‍රතික්ෂේප කරන නිසා කියලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියනවා. 

ඒ නිසාම තමයි ආයුර්වේදයේ උදේම කැඳ ආහාරයට ගැනීම හොඳයි කියලා කියන්නේ. පුරුද්දක් විදිහට අපි පිටිකිරි, තේ වගේ පාන වර්ග වලට හුරු වෙලා හිටියට ආයුර්වේදයේ සදහන් වන විදියට ඒ වගේම අපි ඇත්තටම දන්න විදියට ඉස්සර කාලේ අපි උදේම ආහාරයට ගත්තේ කැඳ. කැඳවල තියෙන විශේෂම ගුණය තමයි ආහාරයට ගත්තට පස්සේ බඩ හොඳට පිරෙන එක. ඒ විතරක් නෙවෙයි ආහාර රුචියත් වැඩි වෙනවා. 

එහෙමනම් අපි දැන් බලමු ආහාර රුචිය වර්ධනය කරන්න ඕන කරන දේවල් මොනවද කියලා. 

සුදුළූණු 

සුදු ළූණු කියන්නේ ගෙදර මුළුතැන්ගෙයි හැම වෙලාවෙම කියන දෙයක්. ඒ වගේම දේශීය වෙදකමේ නැතුවම බැරි දෙයක්. සුදු ළූණු වලට ආහාර රුචිය වැඩි කරන්න පුළුවන්. ගොටුකොළ කොළ කැඳ වලට සුදුළූණු එකතු කරන්නේ ඒ නිසා. ඒ වගේම සුදු ළූණු, ගම්මිරිස් එකට අඹරලා සකස් කරගෙන බත් සමග අනලා කන්නත් පුළුවන්. 

බත් කැද 

ආහාර රුචිය වඩවන කැඳ වර්ගයක්. බත් තම්බලා හොදට පොඩි කරලා සුදු ළූණු බික් දෙකක් තුනක් එක්ක පානය කරනවා නම් දරුවන්ට ආහාර රුචිය වැඩි වෙනවා. 

ඉගුරු

දේශීය වෙදකමේ වගේම මුළුතැන් ගෙයිත් ආහාර රසවත් කරන්න යොදාගන්න ප්‍රදාන රසකාරකයක් විධියට ඉගුරු භාවිතා කරනවා. ඉගුරු පෙති කපලා සූකිරි එක්ක කලවම් කරලා මී පැණි ටිකක් මිශ්‍ර කරලා ආහාරයට ගන්න පුළුවන් නම් බඩගින්න වැඩි වෙනවා. සෙම් රෝග වලට ත් ගුණදායකයි. 

තේ වලටත් ඉගුරු දාලා බොන්න පුලුවන්. 

තැම්බුම් හොද්ද

ගම්මිරිස්, සුදු ළූණු, කරපිංචා, සියඹලා බොර කලවම් කර ලිප තියලා සකස් කරන තැම්බුම් හොද්ද ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කරනවා. එයින් කුසගිනි වැඩි වෙනවා. ලෙඩ රෝග වලදී ආහාර ගන්න බැරි උනාම වුණත් තැම්බුම් හොද්ද බත් එක්ක කන්න පුළුවන්. 

ඒ වගේම මීට අමතරව දෙහි සහ දෙළුම් කියන්නෙත් ආහාර රුචිය වඩවන පාන වර්ග දෙකක්. දෙළුම් කියන්නේ කෙට්ටු ශරීර තියෙන කන්න බැරි අයට ආහාර ගන්න වගේම ගන්න ආහාර වල පෝෂණය හොදින් උරාගන්නා හේතු වෙන පළතුරක්. ඒ වගේම ලේ අඩු අයට, ලෙඩ රෝගවලට ගොදුරු වෙලා සනීප වෙමින් ඉන්න අයටත් දෙළුම් දිව්‍ය ඖෂධයක් වගේ පළතුරක්. 

කොහොම වුනත් මේ පාන හා ආහාර වර්ග සුදුසු වෙන්නේ අවුරුදු දෙකෙන් පස්සේ දරුවන්ට. ඒ වගේම වෙනත් සංකූලතා තියෙන දරුවන්ට මෙවැනි ආහාර පාන වර්ග දෙනකොට වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි. අනිත් එක දරුවන්ට ආහාර දෙනවිට වැඩිහිටියන්ට වගේ මිරිස් තුනපහ ගම්මිරිස් වර්ග ගොඩක් එකතු කරන්නේ නැතුව ඉන්න වග බලාගන්න.