free stats

මව් පදවිය ලැබීමත් එක්ක ඔබ අතිශයින් කාර්යබහුල වනවා. යම් වෘත්තියක වගකීම් දරමින් නිවසේ කටයුතු සමඟ දරුවාගේ කටයුතුත් ඔබට පැවරෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම සමහර විට අනෙක් අයගෙන් නිසි සහය නොලැබෙන අවස්ථාවන් ඔබට තියෙන්න පුළුවන්. නමුත් ඒ ගැන මැසිවිලි කිය කිය ඉන්න ඔබට කාලයක් නැහැ. වඩාත්ම සුදුසු වෙන්නේ නිවසේ තිබෙන වැඩ ප්‍රමාණය අවම කරගැනීම. නමුත් දෛනිකව අප කරන්නේ අපගේ සහ නිවැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කරන කාර්යයන් නිසා ඒ කටයුතු අවම කරන්න අපිට බැහැ. ඒ නිසා කළයුතු වඩාත්ම සුදුසු වෙන්නේ සංවිධානය වීමයි. ඉතින් මේ කියන්න යන්නේ ඉතාම සරලව සංවිධානය වීමේ ක්‍රමයක්. මේ විදිය හොඳද කියලා බලන්න. මීට වඩා හොඳ ක්‍රමයක් හෝ වෙනස් ක්‍රමයක් තිබෙනවා නම් අපිට ලියලා එවන්න.

  1. කරන්න තියෙන වැඩ ටික ලියාගන්න

දෛනිකව ඔබ කළ යුතු වැඩ ටික ලියාගන්න. හෙට වැඩ ටික අද රෑට ලියාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. මේක ගෙදර ඉන්න අම්මා කෙනෙකුට වගේම රැකියාවට යන අම්මා කෙනෙකුටත් හුඟක් වටිනවා. අම්මා රැකියාවට යනවා නම් වෘත්තියට අදාල දෛනික වැඩ ටිකත් ලියාගන්න. එයින් වැඩ අතපසුවීම වලක්වා ගන්න පුළුවන්.

  1. අමාරුම වැඩ කලින් කරන්න

ලේසි වැඩ ටික කරලා ඉවර වුණාට පස්සේ අමාරු වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අමාරුම වැඩ ටික කලින් ඉවර කරන්න. මෙතනදි අමාරුම වැඩ කියන එක එකිනෙකාට සාපේක්‍ෂයි. ඒ කියන්නේ කෙනෙකුට උයන එක අමාරු වෙද්දි තවත් කෙනෙක්ට ඒක ප්‍රියතම විනෝදාංශය වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට සාපේක්‍ෂව අමාරු වැඩ වෙනමත් ලේසි වැඩ වෙනමත් ලැයිස්තු ගත කරලා ඒ ඒ කටයුතු එකින් එක ඉවර කරන්න.

  1. වැඩ අඩුකරගන්න.

උයලා ඉවර වෙලා භාජන හෝදන්න හිටියොත් ඔබට අනෙක් කටයුතුවලට කාලය මදිවෙයි. ඒ නිසා උයන ගමන්ම අවශ්‍ය නැති භාජන සෝදලා අස් කරගෙන යන්න. අඳින ඇඳුම් එදාම සෝදන්න. අස් කරන ගමන්ම අතුගාගෙන යන්න. එයින් වැඩත් ඉක්මනින් ඉවර වෙලා කාලයත් ඉතිරි වෙනවා.

  1. පිළිවෙලට ඉන්න.

ඔබ පිළිවෙල අගය කරන කෙනෙක් නම් දෙයක් හොයාගන්න වැඩි කාලයක් වෙන් කරන්න ඕන නැහැ. ගත්තු දේ එතැනින්ම තියනවා නම් පිළිවෙල කියන්නේ සරල දෙයක්. ඒ වගේම විවිධ බඩු වර්ග වෙන් කරලා වෙන වෙනම තියෙනවා නම් අදාල තැන තිබෙන උපකරණ පිළිබඳව ලැයිස්තුවක් දින පොතක ලියන්න.

උදාහරණ විදියට “කබඩ් එකේ අංක 1 ලාච්චුවේ අඩංගු දේවල්”

හදිසියේ ඔබ නැති වෙලාවක එක දුරකථන පණිවිඩයකින් ගෙදර ඉන්න කෙනෙකුට කියලා දෙයක් පහසුවෙන් හොයාගන්න මේ ක්‍රමය ඔබට වාසිදායකයි.

  1. සසදන්න එපා

ඔබට අනිත් අයව කොපි කරමින් ඔවුන් වගේ වෙන්න කවදාවත් බැහැ. ඒ නිසා තවත් කෙනෙක් නිවස තියාගෙන ඉන්න පිළිවෙලට ඔබ නිවස තියාගන්න ඕන නැහැ. ඔබ ඔබේම ක්‍රමයක් හදාගන්න.

  1. කඩිසර වීමත් වැදගත්

ඉක්මනින් වැඩකරන්න පුළුවන් වීම ඉතාම වැදගත් දෙයක්. එයින් ඔබේ කාලය ඉතිරි වෙනවා. නමුත් කඩිසර වීම කියන්නේ බොරු කලබලයට නෙවෙයි. බොරු කලබලය ඔබට වැඩ වැඩි කරනවා.

  1. සංවිධානය කරන්න

නිවසේ තිබෙන පුංචි පුංචි දේවල් සංවිධානය කරන්න. ඒ සඳහා සුදුසු Organizerදැන් වෙළඳපලේ තිබෙනවා. කොණ්ඩ කටු, ඉදිකටු, හැට්ට කටු වගේ දේවල් මේවාට දාන්න පුළුවන්.

  1. නිතර පිරිසිදුවට ඉන්න

පිරිසිදුවට හිදීම කියන්නේ කාලය වගේම මුදල් ඉතිරි කරන හොඳ පාඩමක්. එයින් ලෙඩ රෝග බොහෝමයකින් සුවිශේෂි ආරක්‍ෂාවක් ලබාගන්න පුළුවන්.

  1. එදා වැඩ එදාම ඉවර කරන්න.

අද දවසේ වැඩ අදම ඉවර කරන්න. නැත්නම් හෙට දවසේ ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. නමුත් ඔබට හෙට දවසේ කාලය ඉතිරි කරගන්න හැකි නම් වැඩි කාලයක් ඔබේ පැටියා එක්ක ගත කරන්න පුළුවන්.

  1. සතුටින් ඉන්න

ඔබට ඔබ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් නම් එයින් මානසික නිරෝගී බව ලගාකරගන්න පුළුවන්. ඒ වගේම කේන්තිය පාලනය කරගන්නත් පහසුයි. කේන්තිය පාලනය වෙනවා කියන්නේ දරුවන් සමඟ පවුලේ අය සමඟ ඔබට පහසුවෙන් කාලය ගත කරන්න පුළුවන් කියන එකනේ. ඒ නිසා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.

සටහන චාපා හංසිනි ආටිගල

අන්තර්ජාලය ඇසුරින්