free stats

නිරෝගී තරුණ කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එය ඇය යම් දිනෙක මව්පදවිය ලැබීමට ඇති එකම ක්‍රමවේදය වනවා. නිරෝගි ඩිම්බ ඇති කාන්තාවකට කිසිදු ගැටළුවකින් තොරව මව්පදවියට සූදානම් විය හැකියි. නිසි පරිදි ඩිම්බ පිටවනවා නම් ගැබ් ගැනීම පිළිබඳව ඇයට බියක් ඇතිකරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව මෙම ඩිම්බය පිටවීමට පෙර එය වර්ධනය වෙන්නේ ඩිම්බ කෝෂයක් ඇතුළෙ ෆොලිකල් නමින් හඳුන්වන තරලයෙන් පිරුණු වතුර බුබුලක් වැනි බුබුලක් තුල. ඩිම්බය වර්ධනය වන අවස්ථාවවේදී මෙම බුබුල සෙන්ටි මීටර 2-3 ක් පමණ විශ්කම්භයක් දක්වා විශාල වෙනවා. කලාතුරකින් මීට වඩා විශාල වන අවස්ථා වුවත් දක්නට පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්.

නමුත් සමහර අවස්ථාවලදී ඩිම්බ කෝෂවල ගෙඩි හට ගැනීමේ අවධානමක් තිබෙනවා. මේවා දකින්නට ලැබෙන්නේ තරලයක් හෝ වතුර පිරුණු බුබුලක් වශයෙනි. ඒ අනුව තරුණ කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ තුළ ඇතිවන ගෙඩි ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට නම් කළ හැකියි.

  1. පළමු වර්ගය

Simple cyst
සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ ඩිම්බය අඩංගු ෆොලිකල් එකක්. මෙවැනි ගෙඩි ඉතාමත් සුලබයි. නමුත් මාස කිහිපයක් ඇතුළත මෙම ගෙඩි ඉබේම හැකිළී යන නිසා ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ.

  1. දෙවන වර්ගය

Endometrioma (Chocolate cyst&)

එන්ඩොමෙට්ටි්‍රයෝමා ලෙස හඳුන්වන ගෙඩි. මේවා සෑදෙන්නෙ එන්ඩොමෙටි්‍රයොසිස් කියන සුලබ රෝගී තත්ත්වය නිසා. මෙහි දී ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල වලට සමාන සෛල ගර්භාෂයෙන් පිටත සහ ඩිම්බ කෝෂය මත පිහිටනවා. මෙම සෛල වලින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි චොකලට් සිස්ට් කියලත් හඳුන්වනවා.

  1. තුන්වන වර්ගය

Dermoid cyst

කාන්තාවකගේ ඩිම්බ කෝෂ වර්ධනය වන සමයේ ඩිම්බ ඇති වන මූලික සෛල වලින් හට ගන්නා ගෙඩි ඩර්මොයිඩි සිස්ට් ලෙස හඳුන්වනවා. මේවා ඇතුළත සමහර විට හිස කෙස්, දත්, මේද පටක වැනි දේ දක්නට ලැබෙනව.

මීට අමතරව සෑදෙන අනිකුත් ගෙඩි වර්ග එතරම් සුලබ නැහැ.

කාන්තාවන්ට ආර්ථවහරනයට පෙර ඇති වන ඩිම්බ කෝෂ වල ගෙඩි බොහොමයක් පිළිකා නෙමෙයි. සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට (10% කට) ජීවිත කාලය තුල දී මෙවැනි ගෙඩියක් නිසා ශල්‍ය කර්මයකට ලක් වීමේ අවදානමක් තිබෙන බවත් හදුනා ගන්න පුළුවන්.

මෙවැනි තත්ත්වයක් ඇත්නම් පහත සඳහන් රෝග ලක්‍ෂණ මතුවෙන්න පුළුවන්.

යටිබඩ වේදනාව
මාස් ශුද්ධිය සමග වේදනාවක් ඇතිවීම
ලිංගික එක්වීමේ දී වේදනාවක් ඇතිවීම
බඩේ පිරුණු ස්වභාවයක් දැනීම සහ ආහාර රුචිය වෙනස් වීම
යටි බඩ විශාල වීම (ඉදිමීම)
දරු ඵල පමා වීම
මුත්‍රා පිට කිරීමේ දී හෝ මල පහ කිරීමේ දී අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම

මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම ඉතාමත් වැදගත්. මෙහි දී වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනු ඇති. මෙමගින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති දැයි සැක හැර දැන ගත හැකියි. ඔබට එවැනි ගෙඩියක් ඇත්නම් එම ගෙඩියේ ලක්ෂණ අනුව වෛද්‍ය වරයා වැඩි දුර පරීක්ෂණ නියම කරනු ඇති. මෙවැනි උදරාබාධ සඳහා නිවසේ දීම ප්‍රතිකාර සිදුකිරීම අවධානම් අනුවණ ක්‍රියාවක්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වියයුතුයි.

simple cyst ලෙස හඳුන්වන ගෙඩියක් නම් එහි ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වනවා. ගෙඩියේ විශ්කම්භය 5 cm වලට වඩා අඩු නම් බොහෝ විට මෙය ප්‍රතිකාරයකින් තොරවම හැකිළී යන නිසා බියවිය යුතුවන්නේ නැහැ. මාස කිහිපයකින් නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක් වීමෙන් මෙය සැක හැර දැන ගත හැකියි. නමුත් ගෙඩිය 5 cm වලට වඩා විශාල නම් දගින් දිගටම පවතී නම් වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනවා. සමහර විට මේ සඳහා ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වන්න පුළුවන්.

ගෙඩිය ඉතා විශාල නම් සාමාන්‍ය විවෘත ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. බොහෝ විට පිළිකා නොවන ගෙඩියක් ඉවත් කිරීමේ දී ඩිම්බ කෝෂය ඉවත් කරන්නේ නැහැ. එම නිසා ශල්‍ය කර්මයෙන් පසු ඔබේ සාපල්‍යතාවයට හෝ මාසික ඔසප් වීමට බලපෑමක් ඇති වන්නේ නැහැ. වයස අවුරුදු 50ට වැඩි කාන්තාවකට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත හොත් මෙම වයසේ දී ඇති වන ගෙඩි පිළිකාවක් වීමට අවදානම වැඩි නිසා ඒ සඳහා ඉතා ඉක්මනින් වැඩි දුර පරීක්ෂණ සිදු කල යුතුයි.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට.