free stats

කෙනෙකුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම අවස්ථාවන් වන්නේ හොඳින් ඇහුම්කන් දීමට ලැබෙන ඉඩකඩ සහ එමඟින් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීමයි. කණ් ඇසීම හොඳින් සිදුවනවා නම් එයින් භාෂනයේ හැකියාවන් වර්ධනය වන බව අපි හොඳින් දන්නා කරුණක්. නමුත් සමහර අවස්ථාවල දී දරුවන් අතර කණ් ඇසීමේ ආබාධ ඇති වන්නට පුළුවන්. මෙයින් උපතින් ඇතිවන ආබාධ ප්‍රධාන තැනක් ගන්නවා. එයින් දරුවාගේ භාෂණයේ හැකියාවන් වර්ධනය වන්නේ නැහැ. එය බුද්ධි වර්ධනයටත් විශාල බාධාවක් එල්ල කරනවා. විශේෂයෙන්ම පැටවුන් යස මාස හයේ සිට ඇසෙන හඬ අනුව වචන භාවිතයට මුව හැසිරවීමට හුරුවනවා. නමුත් කණ් ඇසීමේ ආබාධ ඇත්නම් ඔහු තුළ හඬ වර්ධනයක් සිදුවන්නේ නැහැ. සමහර අවස්ථාවලදී කණ් ඇසීම සිදුනොවන අත්පා වැඩි වශයෙන් භාවිත කරමින් මුඛ්ය උල් කරමින් අමාරුවෙන් අදහස් දැක්වීමට උත්සහ කරනවා.

එබැවින් මේ තත්ත්වය පිළිබඳව දෙමව්පියන් වඩාත් හොඳින් අවධානය යොමුකළ යුතු වනවා. දරුවන්ගේ මෙවැනි ආබාධ අපල තත්ත්වයන් හෝ වෙනත් හේතු නිසා ඇතිවන ඒවා නොවේ. එමෙන්ම පවුලේ අය කතා කිරීමට පමාවීම හෝ වෙනත් පවුලේ හේතුවක් නිසා සිදුවනවාත් නොවේ. මුලින්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් කණ් ඇසීමේ ආබාධ සඳහා ඉක්මනින් ප්‍රතිකාර කරගන්න පුළුවන්. එයින් කණ් ඇසීමේ ගැටළුවට ප්‍රතිකාර කරන්න පුළුවන්.

බබෙක් ඉපදුනු ගමන් කන් ඇසීම බලනවා. මේ පරීක්‍ෂණය අනිවාර්යයයෙන්ම අලුත උපන් දරුවන් වෙනුවෙන් කරන පරීක්‍ෂණයක්. පැටියා බඩේ ඉන්න කාලෙම එයාට කන් ඇසීම ලැබෙන බව අපි දන්නවා. දරුවා ලැබෙන්න ඉන්න කාලේ අම්මා කතා කරනකොට ඇහුම්කන් දෙනවා කියලා අපි නිතරම කියන්නේ ඒ නිසයි. පැටියාගේ කණ් ඇසීමේ ආබාධයක් තිබේදැයි හඳුනාගැනීමට OAE Test කිරීම අත්‍යාවශ්‍ය වනවා. මේ මඟින් දරුවාට තිබෙන කණේ ආබාධය නිවැරදිව හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන් දරුවා පිළිසිඳගෙන සිටින කාලයේ රුබෙල්ලා රෝගයට ගොඳුරු වු මවක් නම් අනිවාර්යයෙන්ම උපත ලබන දරුවාගේ කණ් ඇසීම පරීක්‍ෂා කළ යුතුයි.

සති දෙකක් ඇතුළත පැටියාගේ කණ් ඇසීම හා ඒ සම්බන්ධ දුර්වලතා පිළිබඳ පරීක්‍ෂා කර බැලිය හැකියි. සමහර දරුවන්ගේ එක් කණක පමණක් ආබාධ තත්ත්වයන් දකින්න ලැබෙනවා. මේ අවස්ථාව හඳුනාගන්න අපහසුයි. ඒ නිසා කණ් ඇසීම හොඳින් තිබෙනවාද ගන්න හඳුනාගැනීම ඉතාම වැදගත්. පැටියා අවුරුදු තුන වන විට සාමාන්‍ය කථනය සඳහා වන පරිසාධන මට්ටම සපුරලා තිබිය යුතුයි. මේ සඳහා හොඳින් ඇසීම ඉතාම වැදගත් වනවා. බුද්ධිය හා මනසේ වැඩීම පවා මේ නිසා දුර්වල වෙන්න පුළුවන්.

පැය විසි හතරක කාලයක් ඇතුළත මුල් පරීක්‍ෂණයේ ප්‍රතිපල ලැබෙනවා. මෙහිදි බොහෝ දුරට නැවත පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට සිදුවන්න පුළුවන්. ඒ කියන්නේ මී ළඟ පියවරට යාමට සිදුවෙන්න පුළුවන්. සමහර දරුවන්ට නම් පළමු වතාවෙන්ම කණ් ඇසීම හොඳ
මට්ටමේ තිබෙන බව තහවුරු වෙනවා. දෙවනි වතාවට පරීක්‍ෂා කරන්න සිදුවුණා නම් සති දෙකක් ඇතුළත පරීක්‍ෂණයේ ප්‍රතිපල ලබාගන්න පුළුවන්. නැවත වතාවක් ඇසීම පරීක්‍ෂා කරන්න සිදුවුණොත් ඒ තත්ත්වය මාස හයක් ඇතුළත දැනගන්න පුළුවන්. ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා යොමුකිරීම මඟින් සාමාන්‍ය දරුවෙක් මෙන්ම භාෂණ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්.

කණ් ඇසීමේ ගැටළුව වඩාත් හොඳින් හඳුනාගන්නේ පෙර පාසැල් වියේ දීයි. නමුත් ඒ වෙද්දි මේ තත්ත්වය සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් සුව කරන්න බැරි තරමට පරක්කුයි. මෙවැනි දරුවන් තුළ ගුරුවරයා කෙරෙහි අඩු අවධානයක් තිබෙන බව දැකගන්න පුළුවන්. සමහර විට රතිඥඤා ශබ්ධයක් වගේ අධික ශබ්ධයක් ඇසෙන අවස්ථාවක පමණක් දරුවා එයට අවධානය යොමු කරන්න ඉඩ තිබෙනවා. සම වයස් දරුවන් සමඟ මේ දරුවාගේ අවධානයේ, අධ්‍යාපනයේ සහ බුද්ධි වර්ධනයේ මෙන්ම කතා බහ කිරීමේ වර්ධනයේ ත් වෙනසක් පවතිනවා. මෙවැනි අවස්ථාවක

බබාගේ තාත්තත් කතා කරන්න පරක්කු වුණා. අපේ පවුලේ අය හරි නිෂ්ශබ්ධයි”

වගේ නිදහසට කරුණු නොකියා දරුවා ප්‍රතිකාර සඳහා යොමුකිරීම වැදගත් වෙනවා.

එක් කණක් පමණක් ඇසෙන දරුවෙක් නම් එයාට කතා කරන පැත්ත හොයාගන්න බැහැ. සමහර විට දුර ඉදන් කතා කරනවිට වටපිට බලමින් සොයන්න ඉඩ තිබෙනවා. එය දරුවාගේ වරදක් නෙවෙයි. ඒ වගේම කතා කරන වේලාවට ඇසෙන පැත්තේ කණ හඬ ඇසෙන පැත්තට යොමුකරගෙන ඉන්නවා නම් ඒ දරුවා ගැන අවධානය ලබාදිය යුතුයි. නැත්නම් කණේ ඇසීම කාලයත් සමඟ තවදුරටත් දුර්වල වෙන්න පුළුවන්. මොකද සමහර විට නොඇසෙන කණ අර්ධ වශයෙන් ඇසෙන මට්ටමේ පවතිනවා නම් එයට අවධානය යොමු නොකිරීම නිසා ඇසීම සම්පුර්ණයෙන්ම නැතිවෙන්න ඉඩ තිබෙනවා.

කණ් ඇසීම සුව වීම සඳහා බලපාන විවිධ හේතු තිබෙනවා. උපතේ දී දරුවා මැද කණේ හෝ පිට කණේ ආබාධයක් පමණක් තිබෙනවා නම් එය ප්‍රතිකාර සමඟ ඉබේම සුව වෙන්න පුළුවන්. නමුත් ඇතුල් කණේ සිදුවන අබාධයක් පිළිබඳව තරමක් සංකීර්ණ ලෙස අවධානය යොමුකළ යුතු වෙනවා. ස්වාභාවික හේතු නිසා ඇතිවන කණේ ආබාධ සුව කිරීමට අපහසුයි.

දරුවන් සඳහා වන කණ් ඇසිමේ උපකරණ විවිධ මාදිලියෙන් විවිධ වර්ණ වලින් තිබෙනවා. එවැනි උපකරණයක් පැළදුවාද කියා සොයාගත නොහැකි අන්දමේ කණ් ඇසිමේ උපකරණ දැන් තිබෙනවා. නමුත් මේවා පැළඳීම සිදුවන්නේ වයස අවුරුදු 18 න් පසු දරුවන්ට පමණයි. මෙම උපකරණය CIC එනම් Completely in canal යන නමින් හඳුන්වනවා. කුඩා දරුවන් සඳහා සාමාන්‍ය කණ් ඇසීමේ උපකරණ පැළඳීම වඩාත් සුදුසුයි. මේවා විිවිධ වර්ණවලින් මිලට ගතහැකි අතර කණට පිටුපසින් සවිකළ හැකි නිසා අනෙක් අයට පෙනීම මඟින් අපහසුතාවක් ඇතිවිය හැකි යයි සිතිය යුතු නැහැ.

ඉපදෙන විට 90% කණ් නොඇසෙන බබෙක් සඳහා Super power hearings eids පැළඳීම සිදුවනවා. මෙවැනි උපකරණයක් පැලඳු වහාම ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වනවා. මීට කලින් දරුවාට කිසිම වචනයක් හඬක් ඇහිලා නැති නිසා එයාට වචන, හඬ, ශබ්ධ හුරු කරවීම අවශ්‍ය වනවා. මේ සඳහා පියවර කිහිපයක් භාවිත කරන්න පුළුවන්. AVT එහෙමත් නැත්නම් Auditory Verbal Therapy ක්‍රමය මඟින් දරුවා මෙහෙයවීම මඟින් ප්‍රතිපල ලබාගන්න පුළුවන්. මේ සඳහා මාස 3ත් 6ත් අතර කාලයක් ගතවෙනවා. නමුත් එවැනි ක්‍රමයක් මඟින් ප්‍රතිපල නොලැබෙනවා නම් කර්ණශංඛ බද්ධයක් කළහැකියි.

කර්ණශංඛ බද්ධයේ දී ඇතුල් කණ සඳහා උපකරණ බද්ධ කිරීමක් සිදුවෙනවා. ඇතුල් කර්ණාශංඛයට සවිකරන මෙම උපකරණය හඳුන්වන්නේ Eletrode arrey නමින්. මෙයින් කර්ණශංඛය උත්තේජනය වීම සිදුවන අතර එය සංඛ්‍යාත ග්‍රහණය කරගැනීමට බලපාන ප්‍රධාන ක්‍රමයක්. එහි පිටතින් තවත් ප්‍රොසෙසර් කොටසක් හිසට සවිවනවා. මෙය හිසකෙස් වර්ධනය වන නිසා පිටතට පෙනෙන්නේ නැහැ. මෙයින් සාමාන්‍ය පුද්ගලයකුට මෙන් ඉක්මනින් හඬ ග්‍රහණය කරගන්න පුළුවන්.

සටහන චාපා හංසිනි ආටිගල

අංගාරා කුලරත්න
වික්‍රමාරච්චි හියරින් කෙයාර්
නුගේගොඩ