free stats

ගර්භණී සමය ආරම්භ වන්නේ විශේෂ වෙනස්කම් රැසක් එක්කයි. වෙනදාට නොදැනුනු අපහසුකම් වේදනාවන් මේ කාලයේ දි ඕනම අම්මා කෙනෙකුට විදින්න සිදු වෙනවා. මේ දැනීම් විවිධයි. මේවා ශරීරයේ ඕනම තැනකට ඕනම මොහොතක දැනෙන්න පුළුවන්. සමහර මව්වරුන් ඒ නිසාම පීඩාවට පත්වෙනවා. නමුත් ඇත්තෙන්ම ගර්භණී සමයේ කායික වශයෙන් වේදනාවට පත්නොවුණු අම්මා කෙනෙක් හොයාගන්න අමාරුයි. හැම කාන්තාවක්ම දරු ගැබ දරා සිටින මාස නවයක කාලය පුරාවට මෙවැනි අපහසුතා සියල්ලටම නැතත් කිහිපයකට හෝ මුහුණ දෙනවා.

උදර වේදනා මේ අතරින් ප්‍රධානයි. සෑම මවකටම සිය ගර්භණී කාලයේ ඕනෑම අවස්ථාවක උදර වේදනාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේවා සාමාන්‍ය තත්ත්වයේ සිට ඉතාම සංකීර්ණ භයානක අවස්ථාවන් දක්වා විවිධාකාරයෙන් දැනෙන්නට පුළුවන්. ඒ පිළිබඳව පූර්ණ දැනුවත්භාවයක් අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි. කාන්තාවකගේ ගර්භාසය පෙයාර්ස් ගෙඩියක් වගෙයි. මෙවැනි හැඩයේ ගර්භයක් තුළ කිලෝ තුනක දරුවෙක් දරාගැනීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එබැවින් දරුවා කු-ස තුළ වර්ධනය වන්නට වන්නට ගර්භාෂය විශාල වනවා. ඕනෑම මවකට පොදු උදර වේදනාවක් දැනෙන්නට ප්‍රධාන හේතුව එයයි. දරුවාගේ වර්ධනය සදහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සකසා ගැනීම සඳහා තිබෙන කොටස් ඇඳීමකට ලක් වෙමින් තෙරපෙමින් ගර්භාෂය විශාල වනවා. උදරාබාධ ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ මේ තත්ත්වයයි. එවැනි උදරාබාධ සියල්ලන්ටම පොදු තත්ත්වයක්.

නමුත් මෙයට පරිභාහිරව වෙනත් හේතූන් නිසා ඇතිවන උදරාබාධ තත්ත්වයන් තිබෙනවා. ගර්භණී සමයේ එන හෝර්මෝන වෙනස්වීම් නිසා ආහාර ගමන් ගන්නා වේගය අඩු වීම සිදුවන්නට පුළුවන්. එහි ප්‍රතිපලය වන්නේ උදරේ ආම්ලිකතාව ඇතිවීමෙන් හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වයයි. මෙය ද උදරාබාධ ඇතිවීමට හේතුවක් වනවා. ඒ වගේම ගර්භණී සමයේ නිසි ආකාරව මළ පිටවීමට සිදු නොවන්නටත් ඉඩ තිබෙනවා. එහි ප්‍රතිපලය වන්නේ මළ බද්ධය ඇතිවීමයි. එයත් ගර්භාෂ අභ්‍යන්තරයේ වේදනා මතුවීමට ප්‍රධාන හේතුවක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්.

මේ සියලු උදර වේදනාවන් සාමාන්‍ය වන අතර නමුත් සමහර උදර වේදනාවන් අසාමාන්‍ය හා භයානක ප්‍රතිපල අත්කරන්නට හේතු වනවා. අන්න එවැනි උදරාබාධ හඳුනාගෙන එවැනි අවස්ථා පිළිබඳව අවධානයෙන් සිටිම වැදගත් එවැනි අවස්ථා කිහිපයක්ම මෙලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

Ectopic Pregnancy

මුල් සති කිහිපය එනම් මුල් මාස තුනේ දි ඇතිවන උදර වේදනාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව වන්නේ මේ කාල සීමාවේ කලලය සිය මුල් අවස්ථාව ගත කරන නිසා එය ගර්භාෂයෙන් පිටත පිහිටීමට ඇති අවධානමයි. එවැනි අවස්ථාවක උදරයේ පහළ කොටසින් අධික වේදනාවක් දැනෙනවා. නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොකිරීිම මරාන්තික ප්‍රතිපල ඇතිවීමට හේතුවක් බව මතක තබාගැනීම ඉතාම වැදගත්. පැලෝපීය නාලය ආශ්‍රිතව ඇතිවන මෙවන් පිළිසිඳ ගැනීම් නිසා පැලෝපීය නාලය පුපුරා ගොස් අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවන අතර ඒවා මරාන්තික ප්‍රතිපල ඇතිවීමට හේතුවක්. මේ නිසා හැකි ඉක්මනින් කලලය ඉවත් කළ යුතු අතර එයින් මවගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබෙනවා. මෙවැනි අවස්ථාවක උදරාබාධයක් පැමිණෙන්නේ කිසිම රෝග ලක්‍ෂණයක් නොමැතිව වීමත් විශේෂත්වයක්.

වැදෑමහ ආශ්‍රිතව ඇතිවන තත්ත්වය

පිළිසිඳගත් මොහොතේ පටන් කලලය පෝෂණය වන්නේ වැදෑමහ තුළින්. වැදෑමහ සාමාන්‍යයෙන් පිහිටන්නේ ගර්භාෂ බිත්තියට සම්බන්ධ වී (ඇලවී) පවතින අතර යම් හේතුවක් නිසා ගැලවී ගියහොත් දරාගත නොහැකි අධික උදරාබාධ තත්ත්වයක් ඇතිවනවා. මෙවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාගත යුතු අතර නැතිනම් මවට මරාන්තික ප්‍රථිපල අ ත්වන්නට ඉඩ තිබෙනවා.

ගබ්සාවක් සිදුවීම

කලලය මුල් සති 24 28 කාලය තුළ ගර්භාෂයෙන් බැහැර වීම ගබ්සාවක් ලෙස හැඳින්වෙනවා. එවැනි අවස්ථාවක ඇතිවන ප්‍රධානම රෝග ලක්‍ෂණය වන්නේ උදරාබාධයක් ඇතිවීමයි. මෙවැනි අවස්ථාවක හැකි ඉක්මනින් වෛi ප්‍රතිකාර ගැනිම මවගේ ජීවිතය රැකගැනීමට ප්‍රධාන වශයෙන්ම උපකාරි වනවා. ඒ වගේම ගබ්සාවකින් පසුව උදරයේ කොටස් ඉතිරි වීමෙන් අසාදන ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වීම ඉතාම වැදගත් වනවා.

මුත්‍රා ආසාදන ඇතිවීම

ගර්භණී සමයේ කාන්තාවන් අතර මුත්‍රා ආසාදන බහුලව දකින්නට ලැබෙනවා. මේ නිසාත් උදර වේදනා මතුවන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව සැලකිලිමත් නොවීම දරුවා අහිමි වීමට හේතුවක් විය හැකියි. මේ නිසාම උදරාබාධ ඇතිවීමේ මුල් අවස්ථාවේ දීම ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්.

රුධිර පීඩනය

ගර්භණී සමයේ එක්වරම එන රුධිර පීඩනය නිසා වලිප්පුව තත්ත්වය ඇතිවන්නට පුළුවන්. වලිප්පුව ඇතිවීමට ආසන්නම අවස්ථාවේ එන ප්‍රධානම රෝග ලක්‍ෂණය වන්නේ උදර වේදනාවයි.

ගර්භණී සමයේ අවසන් සති කිහිපයේ ඇතිවන උදර වේදනාව දරු ප්‍රසූතිය සිදුවීමේ ප්‍රසූත වේදනාව වන්නට පුළුවන්. එවැනි වේදනාවක් ඇති වූ විට මව ලඟම පිහිටි රෝහලට ඇතුළු වීම අත්‍යවශ්‍ය වනවා. මේ නිසාම ගර්භණී මවක් සිය අවසාන මාස කිහිපය රෝහල වෙත යාම සඳහා සූදානමෙන් අවශ්‍ය දෑ සූදානම් කරගෙන සිටීම වඩාත් සුදුසුයි. මෙවැනි හදිසි අවස්ථාවක දි රෝහල් ගතවීමට සුදානමෙන් සිටිය යුතු ආකාරය පිළිබඳව සායන මඟින් මව්වරුන් දැනුවත් කරනවා.

භයානක ප්‍රථිපල ඇතිවීමට බලපාන අසාමාන්‍ය උදරා වේදනා හා ඒ හා බැඳුණු ලක්‍ෂණ

  • උදර වේදනාව ඉතා තදින් දැනෙන නොනවතින කැක්කුමක් වීම.
  • යෝනි මාර්ගයෙන් රුධිර බිංදුවක් හෝ වැඩි ප්‍රමාණයකින් රුධිරය පිටවෙමින් අධික ලෙස උදර වේදනාවක් ඇතිවීම
  • උණ සමඟ එන උදර වේදනාව
  • යෝනි මාර්ගයෙන් දියරයක් පිට වෙමින් ඒ සමඟම එන උදර වේදනාව
  • උදර වේදනාවත් සමඟ එන හිසේ කැක්කුම, කරකැවිල්ල
  • මුත්‍රා දැවිල්ල, මුත්‍රා රදවාගෙන සිටීමේ අපහසුව, සමඟ එන උදර වේදනාව
  • උදර වේදනාව සමඟ තදට වමනය පිටවීම

මෙවැනි ලක්‍ෂණ සහිත උදර වේදනා තිබේ නම් හැකි ඉක්මනින් රෝහල් ගතවීම දරුවාගේ මෙන්ම මවගේ ජීවිතය රැකගැනීමටත් හේතු වනවා.

වෛද්‍ය ඉන්දික සේනාරත්න
මූලික රෝහල
දඹුල්ල.

සටහන චාපා හංසිනි ආටිගල