free stats

අම්මා කෙනෙක් විමට සැරසෙන ඕනෑම කාන්තාවක් තමන්ගේ ආහාර වේලට වැඩිපුර වියදම් කර වැඩි වැඩියෙන් පෝෂ්‍යදායී ආහාර එකතු කරගැනීමට අමතක කරන්නේ නැහැ. නමුත් ජලයේ මිලක් සහ අඩංගු විටමිනයක් පිළිබදදවසදහනක් නැති නිසාමදෝ වැඩිපුර ජලය පානය කිරීමට ගැබිණි කාන්තාවන් දක්වන්නේ අඩු අවධානයක්.

ජාත්‍යන්තර වෛද්‍ය ආයතනයේ නිර්දේශයන්ට අනුව ගර්භනී කාන්තවක් දිනකට වතුර වීදුර 12 ත් 13ත් අතර ප‍්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. බොහෝ විට අඩුවෙන් ජලය පානය කරනු ලබන නිරෝගී කාන්තාවන්ගේ මූත‍්‍රා ඉතා තද පැහැති වන බවත් ජලය ශරීරයට හොදින් ලැබෙන්නේ නම් මූත‍්‍රා ජලය වැනි අවපැහැයෙන් යුත් බවත් එම ආයතනය පෙන්වා දෙනවා. මිනිස් ශරීරයේ සියයට හැත්තෑපහක්ම සමන්විත වන්නේ ජලයෙන් වන අතර ගර්භනී කාන්තාවකගේ නම් මේ ප‍්‍රමාණය තවත් වැඩි වනවා. ඇමෙරිකාවේ සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය මිරා අබුකොන් පවසන්නේ අපගේ ශරීරයේ ලීටර් පහක් පමණ ජලය ඇති බවත් ගැබිණි කාන්තාවගේ නම් එය ලිටර් 6ක් පමණ වන බවත්ය. එසේම මහාචාර්යවරිය පවසන්නේ ජලයේ අතිරේක විටමින් වර්ග රාශියක් අඩංගු වන නිසාම ගැබිණි සමයේ ඒවා අතිරේකව ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවයි. දෛනිකව ශරීරයෙන් මූත‍්‍රා, දහදිය වශයෙන් ජලය විශාල ප‍්‍රමාණක් පිට කරන නිසා ඊට වැඩි ජල ප‍්‍රමාණයක් සිරුරට එක්කර ගත යුතු වනවා.

ගර්භනී කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වයට වඩා තරමක් වැඩි බැවින් මනා ශරීර උෂ්ණත්වයක් පවත්වා ගැනීමටත් ජලය පානය කිරීම වැදගත්. ජලය අපගේ ශරීරයට කිරි, එළවළු, පළතුරු සහ පාන වර්ග වලිනුත් එකතු වනවා. ඇතැම් මව්වරුන්ට වැඩිපුර ජලය පානය කිරීම අසීරු විය හැකියි එවන් අවස්ථාවලදී පළතුරු යුෂ වලින් සාදා ගන්නා බීම වර්ග මෙන්ම, පොල් වතුර, තේ හෝ කෝපි පානයට ගත හැකි අතර එමගින් ජලය වගේම අතිරේක කැලරි ශරීරයට එක් කරගැනීමටත් අවකාශය ලැබෙනවා. නමුත් ඇමෙරිකානු ප‍්‍රසව වෛද්‍ය විද්‍යාලය පවසන්නේ ගර්භනි කාන්තාවන් වැඩිපුර කෝපි සහ තේ පානය කිරීමෙන් වැළකිය යුතු බවයි. ඒවාගේ අඩංගු වන කැෆේන් නම් රසායනය අහිතකර විය හැකි නිසා දිනකට කැෆේන් මිලිග‍්‍රෑම් 200කට වඩා පානය නොකළ යුතු යැයි ඔවුන් සදහන් කරනවා. ඒ වගේම එම ආයතනයට අනුව ගර්භනී කාන්තාවන්සදහා සෝඩා වර්ග පානය කිරීමත් එතරම් සුදුසු වන්නේ නැහැ.

ඇමෙරිකානු ගර්භනී මාතෘ සංගමයට අනුව දෙහි යුෂ ගැබිණි කාන්තාවන්ට ඉතා ගුණදායක වන අතර ගර්භනී සමයේදී ඇති වන ඔක්කාරය සහ කාන්සා ගතිය පලවාහැරීමට දෙහි මිශ‍්‍ර ජලය වැඩිපුර පානය කිරීමෙන් පුළුවන් බව ඔවුන්ගේ අදහසයි. එසේම මද උණුසුම් ජලයට දෙහි යුෂ එක්කර පානය කිරීමෙන් ආමාශයේ අම්ල ගතිය අඩු කිරීමටත් ප‍්‍රබෝධමත් බවක් ලබා දීමටත් හේතු වනවා. වැඩිපුර ජලය පානය කිරීම නිසා වැඩිපුර මූත‍්‍රා පිටකිරීමටද අවශ්‍ය වන නිසා ශරීරයේ ඇති විෂබීජ ඉවත්ව යාමෙන් යම් යම් සංකූලතා ඇති වීමේ ඉඩකඩද අවම වනවා.
අපගේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය ලෙස සැලකෙන සමේ මනා තෙතමනය පවත්වා ගැනිමටත් වැඩිපුර ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. ගර්භනී කාලයේ සමේ පැහැය වෙනස් වීම සහ කෙස් ගැලවී යාම බොහෝ මව්වරුන් මුහුණ පාන ගැටළුවක්. නමුත් වැඩිපුර ජලය පානය කරනවා නම් දිදුලන සමක් සහ දීප්තිමත් කෙස් කළඹක් ලබාගන්න හැකියාව ලැබෙනවා.

එසේම ඇතැම් කාන්තාවන්ගේ පාද ඉදිමෙන තත්ත්වයක් හෝ ඉතා වියළි ගතියක් පෙන්නුම් කරනවා නම් එය මගහැර ගන්නත් වැඩිපුර ජලය පානය කිරීමෙන් අවකාශය ලැබෙනවා. කාලගුණික තත්ත්වය වඩා වියළි නම් වෙනදා පානය කරනු ලබන ප‍්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීමටත් සැළකිලිමත් විය යුතුයි. ගර්භණී කාන්තාවන්ට නිතර වැළදෙන විජලන තත්ත්වයන් මගහැර ගැනීමට වැඩිපුර ජලය පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා. නිතර නිතර ඉතා තද ලෙස දැනෙන පිපාසය සහ මහන්සි ගතිය පූර්ව විජලන ලක්ෂණයි. විජලනය නිසා හිසරදය, මස්පිඩු පෙරලීම සහ ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වනවා. එමෙන්ම විජලන තත්ත්වයෙන් පෙලීම දරු ප‍්‍රසූත අවස්ථාව අපහසු කරන අතර එය දැඩි වේදනා සහත සහ වෙහෙසකාරි බවට පත් කිරීමටත් හේතු වනවා. දරු ප‍්‍රසූතියෙන් පසුව කිරිදෙන මව්වරුන්ද පහසුවෙන් විජලනයට ගොදුරු විය හැකි නිසා කිරිදෙන මව්වරුන්ද වැඩිපුර ජලය පානය කිරීම සදහා පෙළඹිය යුතුයි. එසේම ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීමටත් වැඩිපුර ජලය පානය ඉවහල් වනවා. අම්ල පිත්ත (ගැස්රයිටිස්) රෝගය වගේම අර්ශස් වැනි රෝග ගර්භනී කාන්තාවන්ට පහසුවෙන් වැළදිය හැකියි. මෙවන් රෝග වලින් වැළකී සිටීමට වැඩිපුර ජලය පානය ඉතාම අත්‍යාවශ්‍යයි.

ජලය පානය කිරීමේදී පිරිසිදු ජලය පානය කරන්නත් ජලය අසුරා ඇතිඇසුරුම පිළිබදවත් සැළකිලිමත් විමටත් අමතක නොකළ යුතුයි. සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු ජලය පානය කිරිමට නම් ජල පෙරහනයක් භාවිතයට ගත හැකි අතර එසේත් නොමැති නම් උණු කර නිවාගත් ජලය පානය කිරීමට ගත හැකියි. පානය කිරීමට ගන්නා ජලය මැටි භාජනයක අසුරා තැබිය හැකි නම් වඩා සෞඛ්‍ය ආරක්ෂිතව සහ සිසිල් බවක් ඇති ජලය පානය කිරීමට පුළුවන්. කෙසේ වුවත් ගර්භනී සමයේ ඇති වන නොයෙකුත් සංකූලතා මගහැර ගනිමින් නිරෝගී දරු ප‍්‍රසූතියක් සදහා පහසුවෙන් ලබාගත හැකි වටිනාම සම්පත ජලය බව නම් නිසැකය.

දර්ගා දුලාංජලී ධර්මසිරී