free stats

හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම තමන්ගේ දරුවන්ට දෙන්න උත්සහ කරන්නේ මේ ලෝකේ තියෙන හොඳම දේ. ඒත් අවාසනාවකට අද අපේ දෙමාපියන් දරුවන්ට හොඳම දේ කියලා ලබා දෙන්නේ ලෝකේ තියෙන හොඳම වස ටික කියල කිව්වොත් ඒකේ කිසිම වරදක් නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ වෙද්දි අපේ දරුවන් භාගෙකටත් වැඩි සංඛ්‍යාවක් රෝගීන් වෙලා. ඒ කියන්නේ වැඩිහිටියන්ටත් වඩා ඉක්මනින් ඔවුන් රෝගීන් වෙලා. රෝගීන් වෙලා නෙවෙයි
රෝගීන් කරලා. ඒකේ වගකීම මුළුමනින්ම ගන්න වෙන්නේ දෙමාපියන්ට. ඒ නිසාම ලෝකේ ඉන්න අවාසනාවන්ත දෙමාපියන් ඉන්නේ වර්තමාන කාලයේ කියලා කිව්වොත් ඒක තමයි නිවැරදි.

අක්මාවේ ලෙඩක් තියෙනවා කියලා කවුරුන් හරි කිව්වොත් ඒ පුද්ගලයා කොපමණ කාලයක් මත්පැන් පානය කළ පුද්ගලයෙක්ද කියලා අහනවා. මොකද අපි දන්නා පරිදි සාමාන්‍යයෙන් අක්මාව රෝගී වෙන්නේ අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයින්ගේ. නමුත් අපි කථා කරන්නේ මත්පැන් පානය නොකර අපේ දරුවන්ගේ අක්මාව ලෙඩ වෙන්නේ කොහොමද කියන එකයි.

අක්මාව රෝගී වීමේ රෝග ලක්ෂණයක් සහිතව අපේ ලඟට බබෙක් ආ පසුව අපි අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂණයකට යොමු කරනවා. එතැනදි අපි දකිනවා අක්මාවේ තෙල් ගුලි විශාල වශයෙන් තැන්පත් වී තිබෙන බව.

මෙහිදී අක්මාවේ තෙල් තැන්පත් වීම කොපමණ ප්‍රමාණයන්ගෙන්ද කියලා තාක්ෂණ ශිල්පියා (රේඩියෝලොජිස්ට්) දැනගැනීම සඳහා අදියර 1 2 3 කියලා ලියලා එවනවා. එහෙම රේඩියෝලොජිස්ට් මට බබාගේ අක්මාවේ තෙල් තැන්පත් වීම අදියර 2 කියලා ලියලා එව්වොත් මට අම්මාට කියන්න වෙන්නේ මේ බාබා ජීවත් වෙන්නේ අවුරුදු 40යි කියලයි. අදියර 3 කියලා ලියලා එව්වොත් එවැනි බබෙකුට වසර දෙක තුනක් තුල අක්මාවක් බද්ධ කරන්න කියලා කියන්න වෙනවා. අදියර 3 ඉක්මවා ගිහින් තියෙනවා නම් එවැනි දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය වයසට වඩා අඩු කාලයක්.

මද්‍ර්‍යසාරය නොමැතිව අක්මාව විනාශ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අක්මාව විනාශ වෙන්නේ වසවිසෙන් පිරුණු අපි ගන්නා ආහාර නිසා. අපි ගන්නා ආහාර ගලනාලය දිගේ ආමාශයට ඇතුළු වෙලා පසුව බඩවැල්වලට ඇතුල් වෙනවා. එතනදි රුධිරයට උරාගෙන රුධිරය මගින් ශරීරයේ අනෙකුත් අවයවයන් කරා යාමට පෙර මුලින්ම උරාගන්නේ අක්මාවටයි. අපි ගත්ත ආහාරයේ වස විස තිබුණොත් මුලින්ම ඒ වස විස පහර දෙන්නේ අක්මාවටයි. ඒ නිසා තමයි තෙල් ගුලි වගේ අක්මාවේ තැන්පත් වෙන්නේ.

අපි අපේ දරුවන්ට ඉඳුල් කට ගෑ දවසේ ඉදලම පුරුදු කරන්නේ තෙල් සීනි පිටි හා ලුණු අධික ආහාරයන්ටයි. ඒ විතරක් නෙවෙයි ජාන වෙනස්වීම් වලට ලක් කළ ක්‍ෂණික ආහාර රටාවකට අද අපි අපේ දරුවන්ව පුරුදු පුහුණු කරලා. අතීතයේදී අපි ආහාරයක් ගත් පසුව ඒ ආහාරයේ වසක් විසක් තියෙනවා නම් එය හරණය කරන්න යම් සහනයක් දුන්නා. ප්‍රධාන ආහාරයෙන් පසුව වෙනත් ආහාරයක් ගත්තා. නැතිනම් කුළු බඩු හොඳින් ආහාරයට එකතු කර ගත්තා.

ආහාර සකස් කරන විට මිරිස් සුදු ළුූෑණු, කහ, ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු වගේ දේවල් තුනපහ එකතු කර ගන්නවා. ගම්මිරිස් මඟින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙනවා වගේම අපි බොන බෙහෙත් ඇඟට උරා ගන්නවා.

අපේ ශරීරයේ පිළිකා සෛල සොයාගෙන ගොස් විනාශ කරන්න ගම්මිරිස්වල තියෙන රසායනිකයට පුළුවන්කම තියෙනවා. කුරුඳු ග්‍රෑම් එකක් අපේ ආහාරයට එකතු කර ගන්නේ නම් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් අඩු කිරිමට ආතතිය, නිදිමත, කාන්සිය නිවා ගැනීමට හැකිවෙනවා පමණක් නොව දියවැඩියාව පාලනය කිරිමටත් පුළුවන් වෙනවා.

ඒ වගේම තමයි ඉඟුරුවල පවතින රසායනික ද්‍රව්‍යයෙන් පිළිකා සෛල හා රුධිර පීඩනය අවම කරන්න පුළුවන්. ඒ වගේම සුදු ළුූෑණු පෙනහළු ආශ්‍රිතව හැදෙන්න තියෙන රෝගයන් වළක්වනවා. සුදු ළුූෑණු වගේ කුළුබඩුවල ඖෂධීය ගුණය හා වාෂ්පශීලි ගුණය ඉතා ඉහළයි. එහි පවතින වාෂ්පශීලි ගුණය හා සුවඳට මොළයේ සෛල උත්තේජනය කිරීමේ හැකියාව තියෙනවා. මතකය ඇතිකර ගැනීමේ හැකියාව මේ අනුව ඇතිවෙනවා. නමුත් සුදුළුූෑණු කපලා ටික වේලාවක් තියලා ආහාරයට එකතුකර ගැනීමෙන් නියම ගුණය ලැබෙන්නේ නැහැ.

විද්‍යාත්මක පරීක්‍ෂණ මඟින් සොයාගෙන තියෙනවා ලෝකයේ වැඩිපුරම විටමින් ඒ තියෙන ආහාර කාණ්ඩ 5න් එකක් තමයි කහ කියන්නේ කියලා. විටමින් ඒ වල පවතින බීටා කැරොටීන් ලොකු ප්‍රමාණයක් කහවල තියන නිසා මහලු වීම හා සෛල වීනාශ වීමේ ප්‍රතික්‍රියාවන්ට ඔරොත්තු දීමේ හැකියාවක් කහවලට තියෙනවා. කහවලින් අක්මාවේ තියෙන විෂ අඩුකර ගන්න පුළුවන්.

මිරිස් ගලේ තුනපහ අඹරනකොට ඒවාට වතුර එකතු කරනවා. මෙසේ වතුර එකතු කිරීම නිසා ඒවායේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ නොයෑමෙන් ඒවායේ පවතින ඖෂධීය ගුණය විනාශ වෙන්නේ නැහැ. නමුත් අපි අද මේ කුළුබඩු මෝලේ අඹරනකොට උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා මෙහි ගුණය විනාශ වෙනවා.

අද අපි අපේ ආහාර සංස්කෘතිය මුළුමනින්ම ඉවත දාලා අපේ දරුවන්ට හොඳම දේ කියලා දෙන්නේ මොනවද කියලා දැන් ඔබට තේරෙනවා නේද? දරුවෙකුගේ ඉඳුල් කට ගෑ දිනයේ ඉදලම ඒ දරුවාට අතීතයේ සිට අපට හිමි වූ ආහාර රටාවකට පුරුදු පුහුණු කර ගන්න පුළුවන් නම් අපිට හැකි වෙනවා. මේ ලෝකේ ඉන්න වාසනාවන්තම දෙමාපියන් බවට පත්වෙන්න.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය
අනුරුද්ධ පාදෙණිය මහතා

සටහන ශ්‍රියාණි විජේසිංහ