ගර්භණී සමයේ ඔබේ සිරුරේ විවිධ වෙනස්කම් ඇතිවනවා. ඒවා බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාර වන්නට පුළුවන්. මේ අතරින් සමේ බාහිරව ඇතිවන වෙනස්කම් විශේෂ තැනක් ගන්නවා. නමුත් මේවා දරු ප්‍රසූතියෙන් පසුව ඉතාම ඉක්මනින් ඉවත්ව යන නිසාත් එයින් මවට හෝ දරුවාට හානියක් නොවන නිසාත් ඒ පිළිබඳව කිසිඳු බියක් ඇතිකරගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වුණත් සිදුවන සුළු සුළු වෙනස් වීම් ගැන පවා මවක් ලෙස ඔබ විශේෂයෙන් සැලකිලිමත් වන බැවින් එවැනි සමේ සිදුවන සුවිශේෂි වෙනස්වීම් පිළිබඳව ලිපියක් සැකසීමට අපි අදහස් කළා. චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ගයනි මධුරසිංහ මහත්මිය සමඟින් කළ සාකච්ඡාව ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
කාන්තාවක් වශයෙන් සමේ සිදුවන සෑම වෙනස්කමක් කෙරෙහිම ඔබ අවධානය යොමු කරන්නේ එහි බාහිර ස්වරූපය ඔබේ පෙනුමට මෙන්ම පෞර්ෂයටත් බලපෑම් කරන නිසායි. ගැබිනි සමයේ සමේ සිදුවන මෙවැනි වෙනස්වීම් විවිධ ස්වරූපයන් ගන්නවා. එයට බලපාන හේතු විවිධයි. මේ කාලයේ සිදුවන හෝර්මෝන වෙනස් වීම, රුධිර සංසරණයේ සිදුවන වෙනස්වීම්, එනම් වේගවත් වීම, ක්‍රියාකාරිත්වය වැඩි වීම සිදුවෙනවා. මේ කරුණු බොහෝ වෙනස්වීම් වලට විශේෂයෙන් බලපාන බව කිවයුතුයි.
පිග්මන්ටේෂන් තත්ත්වය
මේ කාලයේ දී හෝර්මෝන වෙනස්කම් නිසා සමේ වර්ණක නිපදවීම වැඩිවනවා. මේවා වැඩි වශයෙන් හේතු වන්නේ සමේ පිග්මන්ටේෂන් ඇතිවීමටයි. සමහර අවස්ථාවලදී මුළු සිරුරම කළු පැහැ වන්නටත් ඉඩ තිබෙනවා. මව්වරුන්නේ පියයුරේ නිපල් කොටස හා ඒ අවට ඇති ඇරියෝලාව තද කළු පැහැයක් ගැනීමට හේතු වන්නේත් මේ තත්ත්වයයි. ඒ වගේම ගෙල අවටත් කලු පැහැවීම දකින්නට ලැබෙනවා. නාසයේ සිට පහළට තද කළු පැහැති ඉරි කැබැල්ලක් ඇඳී තිබීම වැනි තත්ත්වයක් ඇතිවන්නේත් ඒ නිසයි. සාමාන්‍ය කාන්තාවන්ගේ කුසේ ලා පැහැති දිගු ඉරක් තිබෙනවා. නමුත් ගැබිනි කාන්තාවන්ගේ මේ ඉර කොටස තද පැහැයෙන් දකින්න පුළුවන්. එයට හේතුව වන්නේත් මේ තත්ත්වයයි.
තවත් මව්වරුන් පිරිසකගේ කම්මුලේ උඩ කොටසේ තද කළු පැල්ලම් දෙකක් දකින්නට ලැබෙන්නේත් මේ නිසයි. මේ තත්ත්වය තාවකාලික වන අතර ගර්භණී කාලය අවසාන වීමත් සමඟ මේ සියලු ලක්ෂණ ඉවත් වනවා. මෙවැනි බාහිර වෙනස්කම් සඳහා හිරු ආවරණ ආලේපන වර්ග හෝ ඖෂධ භාවිතය සුදුසු නැහැ. නමුත් සූර්යාලෝකයට නිරාවරණය වීම අඩුකිරීම මඟින් මේ තත්ත්වයන් වර්ධනය වීම අවම කරගන්න පුළුවන්.
කුරුළෑ ඇතිවීමත් මේ කාලයේ දී දැකිය හැකි තවත් සුවිශේෂි ලක්ෂණයක් වනවා. ඒ වගේම ගැබ් ගැනීමට පෙර සිට මුහුණේ කුරුළෑ තිබුණු කාන්තාවකගේ කුරුළෑ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නටත් මෙය බලපාන්න පුළුවන්. නමුත් ගර්භණී කාලයේ මේ සඳහා හිතුමතේ ආලේපන ගැල්වීම සුදුසු නැහැ. කළ යුත්තේ ස්වාභාවිකව තත්ත්වය පාලනයට ඉඩ ලබාදීමයි. නමුත් අධික ලෙස ඔබට කරදරයක් වන ආකාරයෙන් මේවා ඇතිවනවා නම් චර්ම රෝග වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීම කළ හැකියි.
මීළඟට ඇතිවන තවත් සුවිශේෂි සමේ වෙනස්කමක් තමයි ස්ටේරච් මාර්ක්. මේ තත්ත්වය ගැනනම් ඔබ දැනටමත් බොහෝ දේ දන්නවා. අපි මෙයට පෙර ලිපි කිහිපයකිනුත් මේ පිළිබඳව ඔබව දැනුවත් කළා. නමුත් සමේ වෙනස්කම් සම්බන්ධ ලිපියක ස්ටේරච් මාර්ක් ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක්.
ස්ටේරච් මාර්ක් ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණාවක් වෙන්නේ උදරයේ සිදුවන විශාල වීමත් සමඟ සමේ ඇතිවන ඇදීමේ ස්වභාවය. මේ නිසා චර්මයේ තිබෙන කොලජන් තන්තුවලට හානි වීම නිසා මේ තත්ත්වය ඇතිවෙනවා. ස්ටේරච් මාර්ක් සඳහා වෙළඳපලේ ඕන තරම් බාහිර ආලේපන තිබුණත් ගැබිනි සමයේ එවැනි ආලේපන ගැල්වීම අනුමත කරන්න බැහැ.
මේ කාලයේ සම වියළීමට ලක්වීම වළක්වා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම හොඳින් වතුර පානය කිරීම කෝමාරිකා වැනි ආලේපනයක් ගැල්වීම මඟින් සමේ වියළි ගතිය මඟහරවා ගන්න පුළුවන්. පාලනය කල නොහැකි තත්ත්වයට පත්වෙනවා නම් චර්ම රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි. ඒ වගේම ගැබිනි සමයේ සමේ කැසීම්, වතුර බිබිලි වැනි තත්ත්වයන් ඇතිවීම සාමාන්‍යයි. එවැනි අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මඟින් සමට දිගුකාලීන හානි සිදුනොවී තත්ත්වය පාලනය කරගත හැකියි. නහර ගැටගැසීම් වැනි තත්ත්වයන් සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර කිසිවක් නැහැ.
ඒ නිසා වඩාත් සුදුසු වන්නේ චර්ම රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම පමණයි.
සටහන මහේෂාණි මීගහපොල
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
ගයනි මධුරසිංහ මහත්මිය