free stats

වර්තමාන ලෝකයේ විවාහය බොහෝ කෘතීම විච්චූරණ වලින් වැසී ඇත. එමනිසා විවාහයේදී ඉතා විශාල අනවශ්‍ය වියදම් දක්නට ලැබේ. බොහෝ යුවතිපතීහු විවාහ ජීවිතය අරඹන්නේම ණය බරකුත් සමග බව උපදේශනයේදී හෙළිවෙයි. ඒ අතර සමහර බුද්ධිමත් යුවතිපතීන් තම ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණය හොඳින් වටහාගෙන විවාහය සැලසුම් කරති.

ඔබ විවාහය සැලසුම් කරමින් සිටී නම් හැකිතරම් අනවශ්‍ය අංග ඉවත්කර චාම් එහෙත් ඉහළ මට්ටමේ විවාහ මංගල්ලයක් සැලසුම් කරන්න. මත්පැන්, ෆ්‍රීෂූට්, ඝෝෂාකාරී සංගීතය, අධික වියදම් සහිත සැරසිලි, මිළ අධික ඇඳුම් ආයිත්තම් ආදිය පිළිබඳව සිතන්න. ඒවා ඉවත් කළ නොහැකි නම් වෙනස් ආකාරයකට අඩු වියදම් සහිතව සැලසුම් කරන්න. මත්පැන් කිසිසේත් අත්‍යාවශ්‍ය අංගයක් නොවන බැවින් එය ඉවත් කිරීමෙන් ඔබට විශාල මුදලක් ඉතුරුකර ගත හැකිය. වර්තමාන තරුන තරුණියන් අතර උන්මාදයක් සේ පැතිරෙන් ෆ්‍රීෂූට් මේනියාව නිසා පසුගියදා අවදානම් තැනක රූගත කිරීමකට ගිය තරුණ යුවළකගෙන් මනාලයා අවාසනාවන්ත ලෙස මරුමුවට පත්විය. මංගල උත්සවයකදී අවසානයේ ඔබට ඉතුරු වන වටිනා සිහිවටනය වන්නේ මංගල ඡායාරූපය. එමනිසා එය හොඳ ප්‍රමිතියකින් යුතුව ප්‍රවීන ශිල්පියෙකුට බාර දෙන්න. නමුත් ඔවුන් ගාස්තුව වැඩිකර ගැනීමට කරන විවිධ යෝජනාවන්ට හසු නොවීමට බුද්ධිමත් වන්න. මංගල සාරිය නැවත ඇඳීමේ අදහසක් ඔබට නැතිනම් අලංකාර සාරියක් ඔබට කුලියට ගත හැකිය. නැතිනම් සාමාන්‍ය මිලැති අලංකාර සාරියක් තෝරාගත හැකියි.

කෙතරම් සැලසුම් සකස් කර පරිස්සමෙන් වියපැහැදැම් කර මංගල උත්සව පැවැත්වුවද අප නොසිතනා ගැටලු‍ මතුවී ආතතියට පත්වන යුවතිපතීන්ගේ ප්‍රශ්නද ඉඳහිට දක්නට ලැබෙයි.

එක්තරා අවස්ථාවක උපදේශනය සඳහා පැමිණි යුවළක් මා හමුවේ තැබුවේ උභතෝකෝටික ගැටළුවකි. වසර හයක් පමණ ඇසුරකින් පසු විවාහය සැලසුම් කළ ඔවුන් දෙදෙනා අතරින් තරුණියගේ වැටුප තරුණයාට වඩා වැඩි නිසාත් තරුණයා ඒ වන විටත් යතුරු පැදියක් මිලදී ගැනීමට සහ විවාහයෙන් පසු පදිංචි වීමට නිවසේ වෙනම ඇනෙක්සියක් ගොඩනැංවීම සඳහා ණය ගෙන තිබූ බැවිනුත් තරුණිය බැංකුවකින් ණයක් ලබා ගත්තාය. එයට අමතරව මංගල උත්සවය අවසන් වූ වහාම ආපසු දෙන පොරොන්දුව පිට ඇගේ සමීප ඥාතියකුගේ රන් ආභරණ කිහිපයක් උකස් කර ලක්ෂ තුනක මුදලක්ද ලබාගෙන තිබුණි. පවුල් දෙකටම බරක් නොවී එම මුදලින් විවාහය සැලසුම් කරන ලදී. විවාහයේදී ලැබෙන මුදල් ත්‍යාග වලින් රන් බඩු බේරා දීමටත් ඉතිරි මුදලක් වෙතෙත් නිවසට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමටත් ඔවුන් සැලසුම් කර තිබුණි.

මංගල්ලය දා ලැබුණූ තෑගි කවර මනාලයාගේ මව විසින් බාරගෙන මධුසමයෙන් පසු ඔවුන්ට ලබාදෙන බව පවසා ඇත. මධු සමය නිමවී පැමිණි පසු මනාලයාගේ මව එම තෑගි කවර ආපසු දීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව ලැබී තිබුණු තෑගි භාණ්ඩ රාශියක්ද ඇගේ භාරයට ගෙන තිබුණාය. මනාලියගේ මවට ලැබී තිබුණු කවර වල තිබූ 80000/-ක මුදල ඇය විසින් දියණියට ලබා දුන්නාය. මනාලියත් මනාලයාත් දැඩි අසීරුවකට පත්වූ අතර මනාලයාට ඇතිවූ ලැජ්ජාව දරාගත නොහැකි විය. මනාලියගේ ඥාතියාගේ රන්බඩු බේරා දීමට මුදල් මදි විය. අවසානයේ මංගල්ලයෙන් සතිතුනකට පසු අලු‍ත් මනාලියගේ කණකර උගසට තබා අතතිබූ මුදල්ද එකතු කර ඥාතියාගේ රන්බඩු බේරා දෙන ලදී. මෙයින් පසු මනාලියට මනාලයාගේ පවුලේ කිසිවෙක් නොරිසි වූ අතර තරුණයා අලු‍තින් සෑදූ ඇනෙක්සියේ පදිංචිවීම පවා මනාලිය ප්‍රතික්ෂේප කළාය. මේ සිද්ධිය තරුණියට ලෙහෙසියෙන් අමතක කරන්නට බැරි වූවාය. ඔවුන් වෙනම නිවසක පදිංචියට ගියහ. ණය ගෙවූ පසු ගෙවල් කුළි ගෙවා වැටුපෙන් ඉතිරි වූ මුදල දෙදෙනාට මාසයක් ජීවත්වීමට ප්‍රමාණවත් නොවීය. තරුණිය විශාදයට පත්ව උපදේශනයට පැමිණියාය.

මෙහිදී මෙම තරුණ යුවළගේ සැලසුම් වල කිසි ප්‍රශ්නයක් නොතිබුණි. ඔවුන් ඔවුන්ට හැකි ප්‍රමාණයෙන් පාලනයක් ඇතිව ණයවී මංගල උත්සවයක් ගැනීමට සැලසුම් කළහ. නමුත් අනපේක්ෂිත ගැටළුවක් ඔවුන්ට ඇතිවේ යැයි ඔවුන් කල්පනා නොකළහ. ගැටළු වල ස්වභාවය එසේය අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත පුද්ගලයන්ගෙන් අපට ගැටළු මතුවෙයි. ඒ අවස්ථාවේ අප සතු සම්පත් අහවර වී තිබුණේ නම් අප දැඩි මානසික පීඩනයකට පත්වෙයි.

සෑම දෙනාම තමන්ගේ ජීවිතයේ වටිනාම දිනය ඉතාම සුන්දර සිහිවටනයක් සේ නැවත සිහිපත් කරන්නට හැකි අලංකාර මංගල උත්සවයක් ගැනීමට ආසා කරති. එහි කිසිම වරදක් නැත. තමාගේ ශක්ති ප්‍රමාණය නොඉක්මවූ උත්සවයකින් කිසිවකුට හානි සිදු වන්නේ නැත. ආදර්ශමත් දෙමව්පියන් වීමට සැලසුම් කරන යුවළක් විසින් විවාහ ජීවිතය තුළ පවත්වාගත යුතු මනා ගුණාංගයක් නම් අරපිරිමැස්ම සහ ඉතිරි කිරීමයි. මෙම ගුණාංග දෙක ලෝබකම සමග කිසිම සම්බන්ධතාවක් නැත. සමහරු ලෝබකම අරපිරිමැස්ම යනුවෙන් වරදවා තේරුම් ගෙන ඇත. අරපිරිමැස්ම සහ ඉතිරිකිරීම කුසලතාවන්ය. ලෝබකම දුර්වලකමකි.

එසේ නම් නව යුවතිපතීන් අරපිරිමැස්ම කෙසේ ආරම්භ කළ යුතුද? අරපිරිමැස්ම සැමියාට හෝ බිරිඳට පමණක් තනිව සිදුකළ නොහැකිය. එය දෙදෙනාම එකතුව කළ යුතුය. අරපිරිමැස්මේදී මුලදීම ඔබ විසින් විමසා බැලිය යුතු කරුණු කිහිපයකි.

1) පවුලේ ආදායම
2) අත්‍යාවශ්‍ය ගෙවීම් ( ණය, ජල, විදුලි, දුරකථන, සේවක,)
3) ගෘහ වියදම් ( ආහාර, ඖෂධ, ගෑස් ආදී ලෙස)
4) ඇඳුම් පැළඳුම්
5) උත්සව, විනෝදාස්වාද, වෙනත් සමාජ සහභාගිවීම්
6) නිශ්චිත නොවන අතිරේක වියදම්

බොහෝ විට තරුණ දරුවන්ට වියදම් පිළිබඳ සැලසුම් නැත. එදා එදා දවස අනුව වියදම් කරති. අත ඇති මුදල් හමාර වූ පසු ණයවර පත් භාවිතා කරති. එමනිසා නවයුවතිපතීන් විවාහයට පෙරම තමා විවාහ ජීවිතය නැමති අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා භාවිතා කළ යුතු බලගතුම අවියක් වූ මුල්‍ය පාලනය පිළිබඳ සැලකිළිමත් විය යුතුය. මෙහිදී අය වැය ලේඛණයක් පවත්වා ගැනීම ඉතාම සුදුසු ක්‍රියාවකි. එවිට මාසය අවසානයේ තමා අතින් වියදම් වූ අනවශ්‍ය වියදම් පිළිබඳ අවබෝධයක් ලැබේ. සැමවිටම ඔබේ වියදම ඔබේ ආදායමට අඩුවෙන් තබා ගැනීමට උත්සහ කරන්න. ඒ සඳහා අත්‍යාවශ්‍ය වියදම් කපා නොදමා අනවශ්‍ය සහ අවශ්‍ය වියදම් අඩුකරන අන්දම විමසා බලන්න. උදාහරණයක් ලෙස සමහර දරුවන් මව්පියන් උදෙසා ලබාදුන් යම් මුදලක් වේ නම් එය අඩුකරන්නට උත්සහ කරති. ඔබව මෙලොවට බිහිකර බොහෝ අමාරුවෙන් උස්මහත් කර කවා පොවා උගන්වා හැදූවැඩු මවිපියන්ට ඔවුන්ගේ මහලු‍ වියේදී කරන උපකාරය අනවශ්‍ය වියදමක් ලෙස කිසිදා නොසලකන්න. සමහර මව්පියෝ දරුවන් විවාහ කර දෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමය පවත්වා ගැනීම සඳහා ඔවුන්ට ලැබෙන අර්ථසාධක අරමුදලින් ලැබූ මුදල් වැය කරමිනි. එමනිසා එවන් මව්පියන්ට කරන වියදම කිසිදා අනවශ්‍ය වියදමක් ලෙස නොසිතන්න. දෙමව්පියන්ට මුදල් හදල් තිබුණද ඉඳහිට හෝ ඔබ ඔවුන්ට කිසියම් මුදලක් ලබාදෙන්න. ඔවුන් එයින් ලබන සතුට ඔබට ආශිර්වාදයක් සේ සලකන්න.

යුවතිපතීන් විවාහ වූ වහාම මහ පවුල් දෙකෙන්ම වෙන්වී වෙනම වාසයකට යෑම කළ යුතුවේ. එමගින් ඔවුන්ට වඩාත් සැලසුම් සහගතව ජීවිතය ගොඩනගා ගැනීමටත් නිදහස භුක්තිවිඳීමටත් ඉඩ සැලසේ.

එමනිසා පළමුව ඔබ විවාහයෙන් පසු පදිංචියට සුදුසු නිවසක් තෝරාගන්න. මව්පියන් ලබාදුන් හෝ තමන්ම ගොඩනැගූ නිවසක් ඇත්නම් ඔබ ජීවිතය ආරම්භ කරන විටම එක ප්‍රශ්නයකට විසඳුම් ලබා අවසන්ය. සමහර යුවතිපතීන්ට නිවසක් උරුමයෙන් ලැබුණද එය රැකියා ස්ථාන ඈතින් පිහිටීමත් නිසා දුෂ්කරතාවන්ට මුහුණ දෙති. වරක් එවන් යුවළක් මා හමුවේ පැවසුවේ ඔවුන්ට මව්පියන් ලබාදුන් නිවස විශාලවීමත් රැකියා ස්ථානය දුරින් පිහිටීමත් යන කරුණු සලකා එම නිවස කුළියට දී රැකියා ස්ථානයට කිට්ටු තැනක කුඩා නිවසක් පදිංචියට තෝරාගත් බවයි. එමගින් ඔවුන්ට කාලය ඉතුරුවූ අතර තමන්ට අයිති නිවසින් එන කුළියෙන්ද කොටසක් ඉතුරු වූ බවයි. මා ඔවුන්ට ලබාදුන් උපදේශය නම් එම ඉතුරු මුදල තමන්ට නොලැබුණු මුදලක් සේ සළකා ඉතුරුකර පසුව සුදුසු දෙයකට ආයෝජනයක් කරන ලෙසයි. එමනිසා විවාහයෙන් පසු පදිංචියට තෝරාගන්නා නිවස තමාට රැකියාවක් කරමින් නඩත්තු කිරීමට පහසු තම ආදායමට ගැලපෙන තැනක් වීමෙන් ඔබේ කාලය, ශ්‍රමය ඉතුරු කරගැනීමට ඔබට අවස්ථාව උදාවෙයි.

නිවසට ගෘහභාණ්ඩ ගැනීමේදීද අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් නිවසේ ප්‍රමාණයට ගැනීමට කටයුතු කරන්න. එමගින් ඔබට නිවස පිරිසිදු කිරීමේදී පහසුවක් සහ අඩු වෙහෙසක් ඇති කරයි. එසේම නිවසට ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ තෝරා ගැනීමේදී වගකීමක් ඇති අලෙවියෙන් පසු ඉතා හොඳ සේවාවක් දෙන ස්ථානයකින් භාණ්ඩ මිළදී ගන්න. එසේම ඔබ වසර පහක්වත් එම භාණ්ඩ පාචිච්චි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හොඳ වෙළඳ නාමයක් ඇති භාණ්ඩ තෝරාගන්න.

සෑම මාසයකම නරක් නොවන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එනම් හාල්, සීනි, පිටිකිරි, පරිප්පු, තුනපහ, සබන් ආදිය මසකට ප්‍රමාණවත් ලෙස මිළදී ගන්න. එසේම ආහාර වේල් තුන සඳහා සතියකට අවශ්‍ය ද්‍රව්‍ය තොගය ගණනය කරන්න. එම ප්‍රමාණය පමණක් සතියකට වරක් මිළදී ගන්න.

මෙමගින් ඔබගේ ආහාර අපතේ නොයයි. අනවශ්‍ය රැස්කිරීමක් නැති බැවින් ගබඩා කිරීම පහසුයි. ශීතකරණයේ තදබදය අඩුවී ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක සහ නැවුම් බව සුරැකෙයි. සතිය අවසානයේ ශීතකරණය පිරිසිදු කළ හැකියි. එසේම හැකිතරම් නිවසේදීම ආහාර සකසා ගැනීම මගින් ගුණවත් සෞඛ්‍යාරක්ෂක ප්‍රණීත ආහාර වේලක් ඔබට ලබාගත හැකියි. විශේෂ ආහාරයක් භුක්ති විඳීමට අවශ්‍ය වූ කළ ඒ සඳහා අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය රෙසිපි තෝරාගෙන නිවසේදීම එය අත්හදා බැලීමෙන් ඔබේ සූපශාස්ත්‍ර දැනුම දියුණූ වෙනු ඇත. සමහර නිවෙස්වල සතිඅන්තයේ ඉවුම් පිහුම් කරන තරුණ සැමියන් දක්නට ලැබෙයි. සත්‍ය වශයෙන්ම එය අපූරුය. එසේම නිවසේ කටයුතු දෙදෙනාම බෙදාගෙන කිරීම ඉතා හොඳ ශක්තිමත් පවුල් ජීවිතයකට අඩිතාලම දමන්නකි. මන්ද නිවසක් ලස්සනට පිරිසිදුවට ඇති විට ඒ ගෞරවය, සුවය දෙදෙනාම භුක්තිවිඳී. නිවසේ සියලු‍ කටයුතු වලින් ඇති වන ප්‍රථිපල දෙදෙනාටම පොදුය. එසේනම් කටයුතු බෙදා හදාගෙන කිරීමේ වරදක් කොයින්ද?

රෙදි සේදීමේදීද ඔබට රෙදි වර්ග කළ හැකියි. සියලු‍ රෙදි එකට දමා සෝදනවිට සමහර විට විවිධ ප්‍රහ්න පැන නගී. එමනිසා පහත පරිද්දෙන් රෙදි වර්ග කර ගන්න

තුවා
ඇඳ ඇතිරිළි, පොරෝනා, කොට්ට උර
තිරරෙදි
සායම් යන සහ නොයන ඇඳුම්

ආදී වශයෙන් වර්ග කර ඒවා සේදීමට සතියේ දිනක් වෙන් කරගන්න. උදාහරණ ලෙස ඇඳ ඇතිරිලි සේදීම සෙනසුරාදා, තුවා සේදීම ඉරිදා. මේ අයුරින් කරනවිට ඔබට වැඩ සැලසුම් කළහැකියි. සැමවිටම ඇඳ ඇතිරිලි තුවා ආදිය කට්ටල තුන බැගින් තබාගන්න. රෙදි වේලා ගැනීමේ හෝ රෙදි සෝදා ගැනීමේ අපහසුවක් ඇති වුවහොත් අතිරේක කට්ටලයක් ඔබට තිබීම පහසුවකි. මන්ද ඇඳ ඇතිරිළි තුවා කොට්ට උර අඩුම තරමේ සතියකට වරක්වත් මාරුකළ යුතු අතර දෙදෙනා වෙන වෙනම තුවා පාවිච්චි කිරීම යහපත්ය. එසේම ඒවා තද අව්වේ වේලා ගැනීමද යහපත්ය. සෑමදිනකම ඔබ අඳින යට ඇඳුම් එදාම සෝදන්න.

විදුලිය පිරිමැසුම් සඳහා LED විදුලි පහන් වැනි දෑ භාවිතා කිරීම , එකවර සතියේම ඇඳුම් මැදගැනීම, අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා නිවා දැමීම කළ හැකිය. එසේම රයිස් කුකරය, විදුලි කේතලය, විදුලි ස්ත්‍රික්කය, හීටරය සහ විදුලි උදුන් වැනි උපකරණ විදුලිය අධික ලෙස වැයවන උපකරණ බව ඔබ දැනසිටී නම් ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කළ හැකිය.

දෙදෙනාම රැකියා නියතු නම් නිවසේ වියදම් සඳහා දෙදෙනාම මුදල් යෙදවීම යහපත්ය. නමුත් විශාල වැටුප් පරතරයක් ඇතොත් එකසමාන මුදලක් දෙදෙනාටම යෙදවිය හැකිද යන්න දෙදෙනා කතා කර සුහදව විසඳා ගන්න.

නිදසුනක් ලෙස

සැමියාගේ වැටුප බිරිඳගේ මෙන් දෙගුණයක් නම් නිවසේ වියදමෙන් තුනෙන් දෙකක් සැමියා දැරීම යහපත්ය. නැතිනම් වියදම දෙකෙන් පංගුවක් බිරිඳ යෙදවීමෙන් ඇයගේ වැටුපෙන් කිසිවක් ඇයට ඉතුරු නොවනු ඇත. දෙදෙනා එක්ව නිවසේ වියදම් සඳහා මසකට යම් මුදලක් දෙදෙනාගෙන්ම වෙන්කර ගත්තේ යැයි සිතන්න. ඒ මාසයේදී ඔබ විසින් වියදම් කළ යුත්තේ ඒ මුදල පමණක් වන ලෙස විනයක් දෙදෙනාම පවත්වා ගන්න. එසේම ඔබ දෙදෙනාටම ඔබ කැමති අයුරින් යමක් කරන්නට වෙනමම යම් මුදලක් තබා ගන්න. ආසා කරන දෙයක් ගැනීමට, මව්පියන්ට දීමට උපකාරයක් කිරීමට, හදිසියකදී ප්‍රයෝජනයකට ගැනීමට තබාගන්න.

ඉතා ආදර්ශවත් පවුලක අම්මා වියදම් පාලනය කළ අන්දම මෙසේය.

ඇය 1 සිට 31 දක්වා ලකුණු කළ කවර මේ සඳහා යොදා ගත්තාය. පළමුව ඇය කරන ලද්දේ සැමියා ඇය අතට මාසිකව දෙන මුදලින් ජල, විදුලි වැනි අත්‍යාවශ්‍ය ගෙවීම් කරනු ලැබුවාය. ඉන්පසු මාසයකට රැස්කරගත යුතු හාල්, සීනී, තේකොළ ආදී වියලි ආහාර ද්‍රව්‍ය රැස් කළාය. ඉන්පසු ඉතිරි වූ මුදල සමසේ බෙදා අර කවර 31ට දැමුවාය. එම කවරයේ ඇති මුදලින් එදා දවසේ අනෙකුත් අවශ්‍යතාවන් එනම් එළවළු මාළු ආදිය, ගමන් වියදම් සපුරා ගත්තාය. කවරයේ ඇති මුදල ඉක්මවා නොයන්නට ඇය වගබලා ගත්තාය. හදිසියේ දිනක මුදල් මදිවී අත්‍යාවශ්‍ය කටයුත්තක් යෙදුනු විට ඇය මාසය අන්තිමේ වියදම් කරන්නට මුදල් යෙදු කවර වලින් ණයක් ගත්තාය. එසේ ගත් ණය වැටුප් ලද වහාම පියැවූවාය. එදිනෙදා වියදම් කර යම් මුදලක් ඉතුරු වී නම් එය කවරයේම තිබෙන්නට හැරියාය. ඊට අමතරව ගෙවත්තේ නිවසට අවශ්‍ය සමහර දේ වගා කෙරුවාය. එම අස්වැන්න පාවිච්චියට ගන්නා විට ඇය එදිනෙදා මුදලින් ගණනක් එය වෙනුවෙන්ද වෙන් කළාය. මාසය අවසානයේ කවරවල ඉතුරු වන මුදල ඇය බැංකුවේ තැන්පත් කළාය. වසර අවසානයේ දරුවන්ට පාසල් පොත්, නිළ ඇඳුම් සඳහා අමතර ණය වීමක් වීමට සිදු නෙවන මුදලක් ඇය ඉතුරු කර තිබුණි. එපමණක් නොව සෑම වසරකම දරුවෝ රැගෙන චාරිකාවක යෑමටද ඇයට හැකිවූවාය. සමහර විට මේ කතාවේ ආකාරයෙන් කටයුතු කළ නොහැකි ප්‍රායෝගික ගැටළු යුවතිපතීන්ට තිබිය හැකිය. නමුත් මේ කතාව තුළින් අරපිරිමැස්ම පිළිබඳ සහ වියපැහැදම් කිරීම පිළීබඳ කිසියම් දැනීමක් ඔබට ලැබිය හැකිය.

එසේම අප ඉතා ආශාකරන ඇඳුම් පැළඳුම්, විළවුන් ආදියට වියදම් කිරීමේදීද කිසියම් පාලනයකට නතු වීමෙන් ඔබගේ අතමිටට වාසියක් සේම ලෝකයේ පරිසර හිතකාමිත්වයටද ඔබ කරන්නේ විශාල උදව්වකි. මන්ද; ලෝකයේ බලශක්තිය වඩාත්ම වැයවන්නේ ඇඳුම් නිෂ්පාදනය සඳහාය. ඒවාට යොදන කෘතීම වර්ණක සහ බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් ලෝකයේ විශාල පරිසර ප්‍රශ්න රාශියක් හටගෙන ඇත. එමනිසා වසරකට ඔබ කිසියම් ඇඳුම් කට්ටල ගණනාවක් පමණක් මිළදී ගැනීමට විනයක් පවත්වා ගන්න. අන් අය ඔබ දෙස බලාවි, ඔබට සිනාසේවී යන අදහස් නොතකා හරින්න. අප පොහොසතුන් වන්නේ උපයන් දෙයින් හෝ වියදම් කරන දෙයින් නොව ඉතුරු කරන දෙයිනි. ණය වෙමින් ලෝකය ඉඳිරියේ ආයිත්තම් බරව සිටියාට එම ණය ගෙවන විට ඇතිකරන පීඩනය දරාගත යුත්තේ ඔබ තනිවමය. එමනිසා චාම් සුන්දරත්වයකින් සැරසෙන්න. ඇඳුම් වෙන්කර ගන්න. නිවසට අඳින ඇඳුම්, සාමාන්‍ය ගමනට බිමනට, රැකියාවට සහ උත්සව අවස්ථාවකට වශයෙන් ඇඳුම් වෙන්කරගන්න. ඊට අමතරව සුදු පැහැ ඇඳුම් කිහිපයක්ද තබා ගන්න. ඔබට වැඩිපුර තිබිය යුත්තේ රැකියාවට අඳින ඇඳුම්ය. සෑම මසකම ඇඳුම් මිළදී ගැනීමට පුරුදු වී ඇති සමහරු රැකියාවට එන්නේ අත ඇති ගමන්වාර ප්‍රවේශපත්‍රය සහ බත්මුල පමණක් අත ඇතිවය. හදිසියේ ප්‍රවාහන අපහසුතාවක් ඇතිවුවහොත් මුදල් අත නැතිය. එවන් කරුණු නිසා ගෘහ ජීවිතය ආරම්භයේදීම මේ කරුණු පිළිබඳ අවධානය යොමුකරන්න. ණයවර පතක් ළඟ තබා ගන්න. නමුත් එය භාවිතා කළ යුත්තේ අත්‍යාවශ්‍ය මිළදී ගැනීමකටය. ඉවරයක් නැතුව දෙන වටිටම්, සේල් කොපමණ තිබුණත් ඒවාට නොරැවටෙන්න. සමහර අවස්ථාවල සංචාරක හෝටල් ණයවර කාඞ්පත් වලට විශාල වට්ටම් ලබාදෙන අවස්ථාවක වසරකට වරක් එවන් තැනකට ගොස් රිසිසේ විනෝදවීමට ඔබට ණයවර පත හරහා හැකිවේවි. එවන් අවස්ථාවක් ඉතා වටිනා බැවින් සහ වැයවූ මුදල කපා ගන්නේ කොටස් වශයෙන් වීම නිසා එම අවස්ථාව සඳහා ණයවර පතකින් ප්‍රයෝජන ගන්න.

ආහාර අහක නොදමන්න. ඔබ ආහාර අහක දමන විට ඒවා රජබොජුන් වලටත් වඩා වටිනා. දරුවෝ කෝටි ගණනක් මිහිමත කුසගින්නේ සිටින බව සිහිකර ඉතිරි කෑම කපුටන්ට හෝ කෑමට දෙන්න.

භාණ්ඩයක්, ඇඳුමක් මිළදී ගන්නා විට එය මේ මොහොතේ තමාට අත්‍යවශ්‍යව ඇත්දැයි විමසන්න. සෑම දෙයක් කෙරෙහිම ඒ අයුරින් කටයුතු කිරීමට පුරුදු වෙන්න.

නොදැනීම ඔබට මේ චර්යා ආදේශ වේවි. එයින් පසුව ඒවා ආකල්ප ලෙස සංවිධානය වී පුරුදු ලෙස නැවත පෞරුෂ්‍යට එකතු වෙනු ඇත.

අරපරිස්සමට , ඉතුරුකිරිමට බිය නොවෙන්න.

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා