free stats

ඉවසීම එහෙමත් නැත්නම් දරාගැනීම කියන්නේ ඉතාම ඉහල මානූෂිය ගුණාංගයක්. නමුත් බොහෝ දෙනෙක් තුළ ඉවසීම ප‍්‍රගුණ කිරීමක් දකින්නට නැහැ. බොහෝ තැන්වලදි අනවශ්‍ය ගැටුම් ඇතිවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ මේ විදියට ඉක්මනින් තීරණ ගැනීම සහ ඉවසීම නැතිවීමයි. සෑම පුද්ගලයකුටම එක හා සමාන නොවන නමුත් විවිධ සමාජ ප‍්‍රශ්න ඇතිවන බව අවබෝධ කරගැනීම ඉවසීම වර්ධනය කරගැනීමට ඇති හොදම මගයි. ජීවිතයේ විවිධ අවදීවලදී මුහුණ දීමට සිදුවන ප‍්‍රශ්න පිළිබදව යථාස්වරූපයෙන් බැලීමට උගෙනීම මගින් පුද්ගලයා තුළ ඉවසීම වර්ධනය වනවා. පුද්ගල සංවර්ධනයට ඉවසීම හා අත්හැරිම ඉතාම වටිනා බව බුදු දහම පවා පෙන්වා දී ඇත්තේ පුද්ගලයා තුළ ඉවසිම වර්ධනය කරවීම සදහායි. මේ නිසාම ළමා වියේ පටන්ම ඉවසීම ප‍්‍රගුණ කරවීම ඉතාම වැදගත් වනවා. මේ නිසාම දරුවන්ගේ ඉවසීම වර්ධනය කරවීම උදෙසා කළ යුතු දේ පිළිබදව ඔබව දැනුවත් කරන්නට මනෝ ප‍්‍රවර්ධන උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමග අපි මේ පිළිබ`දව කතා කළා.

‘‘ ඇත්තටම ගත්තොත් අවුරුදු පහට අඩු දරුවන් අතර මේ තත්ත්වය වැඩියෙන් දකින්න තියෙනවා. සමහර වෙලාවට කේන්තිය නිසාම ගෙදර බඩු පොළවේ ගහන දරුවො ඉන්නවා. දවසක් දරුවෙක් ප‍්‍රතිකාර ගන්න ආවා. එයා පුංචි කේන්තියකදි වුණත් ඒ කියන්නේ උදාහරණයක් විදියට කියනවා නම් එයා අම්මාගෙන් මොනවාහරි දෙයක් ඉල්ලා ඒ දේ දෙන්න පරක්කු වුණාම ගෙදර කියෙන දෙයක් පොළවේ ගහලා අඩනවා. නමුත් මේ ගෙදර තත්ත්වය ගැන අහලා බැලූවාම ඇත්තටම දරුවාට එවැනි නරක ආදර්ශයක් ගත හැකි අවස්ථාවක් නිවස තුළ නැහැ. දරුවාගේ අම්මා තාත්තා දෙන්නාම ඉතාම හොදින් සමගියෙන් ජීවත් වෙනවා. ඒ දෙන්නා අතර රණ්ඩු ඇතිවෙලා නැහැ. යම් ප‍්‍රශ්නයක් කතාබහ කරන අවස්ථාවක දි වුණත් දරුවා නැති තැනකදි තමයි කතා බහ කරලා තියෙන්නේ.

එහෙනම් ඇත්තටම මොකද්ද ප‍්‍රශ්නය කොහොමද දරුවා මෙහෙම වුණේ…..

මම එයාගේ අම්මා එක්ක දීර්ඝ වේලාවක් කතා කළා. එවිට තමයි හේතුව හොයාගත්තේ. මේ දරුවාගේ අම්මාට එයාව ලැබෙන්න ඉන්න කාලේ සැමියාගේ අම්මා එහෙමත් නැත්නම් නැන්දම්මා එක්ක ගැටුම් තිබිලා තියෙනවා. නැන්දම්මා මොනවා කළත් සැමියාට තියෙන ආදරය නිසාම ඇය සියලූ පීඩනයන් දරාගෙන තියෙනවා. කිසිම කෙනෙකුට අඩුම වශයෙන් සැමියාටවත් මේ ගැන කියලා නැහැ. මේ පීඩනය දරුවාට අනිසි විදියට බලපෑම් එල්ල කරලා තිබෙනවා. මේ නිසා තමයි දරුවා පුංචි දේකදිත් පීඩාවට පත්වෙන්නේ.

මව්කුස තුළ වර්ධනය වන පළමු මාස තුන සහ මාස හය ඇතුළත දි දරුවාගේ සහජ පිහිටීම් ඔහු වෙත ලැබෙනවා. මේ කාලයේ දි දරුවාට වැඩි වශයෙන් බලපාන්නේ මවගේ සිතුවිලි සහ ඇගේ ක‍්‍රියාකලාපයන්. මේ නිසාම දරුවෙකු කේන්ති ගන්නා අවස්ථාවේ දරුවාට දඩුවම් කිරීමට පෙර මෙවැනි හැසිරීමකට බලපෑ හේතුව හදුනාගත යුතුයි. මුලින් සදහන් කළා වගේ දරුවෙකුගේ ඉවසීම නැතිවීමට හේතුවන්නේ පෞර්ෂමය වශයෙන් බලපාන යම් යම් කාරණා වන්නට පුළුවන්. ඒ වගේම පවුලේ ස්වභාවය, පරිසරය අනුව දරුවාගේ පෞර්ෂයට විවිධ බලපෑම් එල්ල වෙනවා. දරුවා කේන්තියෙන් සිටින විට බැනවැදීම කොහෙත්ම කළ යුතු දෙයක් නෙවෙයි. ඒයින් ඔහු තව දුරටත් කේන්තියට හා පීඩනයට පත්වෙනවා. එවැනි පීඩාවක් දෙනවාට වඩා දරුවාට ආදරයෙන් කතා කරමින් කේන්තියට හේතු විමසා දරුවා සැනසීම වැදගත් වනවා.

මෙතැනදි දරුවා අනෙක් අය සමග සංසන්දනය කිරිම කිසිසේත්ම සුදුසු නැහැ. එයින් සිදුවන්නේ පීඩනය හා කේන්තිය අධික වීම පමණයි. ඒ වෙනුවට දරුවා නොදන්නා දරුවෙකු පිළිබදව ගෙතු කතාවක් කියන්න පුළුවන්. කේන්තිය නිසා ඔහුට සිදුවුණු කරදරයක් හෝ පාඩමක් ගැන කියලා දරුවාට කේන්තියේ ආදීනව පැහැදිලි කිරීම වඩාත් සුදුසු වෙනවා. මෙයින් ඔහුගේ සිතේ නැවත කේන්තියක් ඇති නොවෙන්නට තරම් පෞර්ෂමය වශයෙන් ශක්තියක් ඇතිවෙනවා. ඒ වගේම දරුවෙක් තුළ ඇතිවන කේන්තිය මුල් අවස්ථාවේදීම පාලනය නොකලහොත් දරුවා වැඩිහිටියෙකු වු අවධියේ දි මෙය වැරදි ලෙස බලපාන්නට පුළුවන්. දරුවන්ගේ වැරදි දෙස දෙමව්පියන් ඉවසීමෙන් බැලූවත් සමාජය එවැනි වැරදි අනුමත කරන්නේ නැහැ. එයින් සිදුවන්නේ සමාජය තුළ ඔහුට ලැබිය යුතු ස්ථානය අහිමි වීම හා ඔහු සමාජය පිළිබ`දව කළකිරීමට ලක්වීමයි.

ඒ වගේම දරුවාට ඉවසීම උගන්නවන්නට පෙර නිවසේ සිටින අනෙක් අය තුළ ඉවසීම ප‍්‍රගුණ විය යුතුයි. කුඩා දරුවෙක් හැමවිටම ආදර්ශයට ගන්නේ තමන්ගේ අම්මා තාත්තා ඒ වගේම ගෙදර ඉන්න හෝ සමීප ඥාතීන්. මේ කියන පිරිස ආදර්ශමත් නොවී දරුවා ඉවසිලිමත් දරුවෙක් කරන්නට බැහැ. මේ නිසා ගෙදර ඇතිවෙන පුංචි රණ්ඩු දුර දිග ගෙනියන්න හොද නැහැ වගේම දරුවා ඉදිරියේ එවැනි කතාබහ නොකළ යුතු වීමත් වැදගත් වෙනවා. අන් අය ඉදිරියේ දරුවාගේ කේන්තිය පිළිබදව කතා කිරීමත් සුදුසු නැහැ. කේන්තිය අනුමත කිරීම හෝ ඒ පිළිබ`දව වැරදි දේ පැවසීම දරුවා මානසික වශයෙන් පසුබෑමට හේතු වනවා.

‘‘අම්මෝ මෙයාට තරහා ගියාම අපි සේරම බයයි. මෙයා හරි චණ්ඩියානේ’’

හෝ

‘‘ අනිත් ළමයි වගේ නෙවෙයි කිසිම වැඩක් නෑ. පුදුම විදියට තරහා යන්නේ’’

වැනි දේ දරුවා පසුබෑමට ලක් කරනවා. ඒ නිසා එවැනි වැරදි දෙමව්පියන් අතින් සිදුනොවිය යුතුයි.

සටහන චාපා හංසිනි ආටිගල

මනෝ ප‍්‍රවර්ධන උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි