free stats

අපෝ මට බබා ලැබෙන්න හිටපු කාලේ හැමදාම වගේ වමනේ ගියා. එපා වෙලා හිටියේ”

බබා ලැබෙද්දි පුදුම වේදනාවක් දැනුනේ. මම හිතුවෙම මට කලන්තේ හැදෙයි කියලා. ඒ තරමට අමාරු වුණා”

කොහොම හරි මහත් වෙන්න බලන්න. කෙට්ටු වෙලා ඉදලා බබෙක් නම් හදන්න නම් වෙන්නේ නැහැ. හොඳටම අමාරු වෙයි.”

විවාහයට පෙර සිටම අසන්නට ලැබෙන මෙවැනි අදහස් ඔබ බොහෝ සෙයින් පීඩාවට පත් කරවිය හැකියි. විශේෂයෙන්ම දරුවෙක් පිළිබඳව අත්දැකීම් නැති කාන්තාවන් විවාහයටත් ප්‍රථම දරු ප්‍රසූතිය පිළිබඳව භීතියට පත් වෙන්න ඉඩ තිබෙනවා. නමුත් ඇත්තෙන්ම මවක් වන්නට සිටින සෑම කාන්තාවකටම දැනෙන ලක්‍ෂණ එකිනෙකට පොදු වන්නේ නැහැ. සමහර කෙනෙකුට ඇතිවන උදෑසන වමනය සමහර කෙනෙකුට තම ගර්භණී සමයේ කිසිම දිනෙක නොදැනෙන්නට පුළුවන්. ඒ වගේම දරු ප්‍රසූතියේදි දැනෙන වේදනාවත් එකිනෙකට වෙනස්. එහි කිසිම සමානතාවයක් නැහැ. ඒ වගේම එලෙස කිසිදු අත්දැකීමක් නොලබන කාන්තාවක් සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් නොවනවා සේම වමනය වැනි තත්ත්වයන් ඇතිවන කාන්තාවන් රෝගීන් ද නොවේ. මේ නිසා ඒ ඒ මවට අදාලව දැනෙන අපහසුතා විවිධ බව පමණක් අප තේරුම් ගතයුතුයි.

දැනටමත් දරුවෙක් පිළිසිඳගෙන නම් ඔබ මේ ගෙවන්නේ අති සුවිශේෂි කාල පරිච්ඡෙදයක්. මේ කාලෙදි කන්න ඕන මොනවද ඉන්න ඕන කොහොමද කරන්න ඕන මොනවද කියන එක ගැන ඔබට දසතින් අවවාද ලැබෙයි. අත්දැකීම් තියෙන අය වගේම අත්දැකීම් නැති අයත් ඔබට උපදෙස් දෙන්න එයි. ඒත් ඇත්තටම ගර්භණී සමයේ මෙන්ම මවක් ලෙස ඔබේ ජීවන තත්ත්වය පිළිබඳව තේරුම් ගතහැක්කේ ඔබේ වෛද්‍යවරයාට පමණයි. ඒ නිසා ඔබ සෑම විටම අවධානය යොමු කළ යුත්තේ ඔබේ වෛද්‍ය උපදෙස් මිස අන්තර්ජාලය හෝ ඔබේ සමීප මිතුරන්ගේ උපදෙස් අනුව නොවේ. විශේෂයෙන්ම ඔබේ සිත බියට පත් කරන සමහර අදහස් ඔබ මේ කාලෙදි අසන්නට සූදානම් වියයුතු නැහැ. එවැනි විවිධ පුවත් බොහෝ විට අන්තර්ජාලයේ සැරිසරන බැවින් මේ කාලයේවත් අඩුම වශයෙන් ඔබට සමාජ මාධ්‍යවලින් ඈත්වී සිටීමට හැකිනම් එය කාලය ප්‍රයෝජනවත්ව ගතකිරීමටත් හේතුවක් වනවා.

ආහාර අරුචිය

ඔබට කිසිම ආහාරයක් කන්න බැරිනම්, ආහාරයක් ගත් සැනින් වමනය එනවා නම් එක්වර වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම සුදුසු නැහැ. ඒ වෙනුවට ඔබට ටිකෙන් ටික සාමාන්‍ය ආහාර ප්‍රමාණයක් ගැනීම සුදුසු වෙනවා. සමහර අවස්ථාවල දී ඔබ පෙර කැමැත්තෙන් ගත් ආහාර දැන් ඔබට අප්‍රිය බව හැඟෙනවා ඇති. ඒ වගේම අධික ආහාර සුවඳ ඔබට දරාගන්නට අපහසු ඇති. ඒවා සියල්ල සාමාන්‍ය තත්ත්වයන් බව මතක තබා ගන්න. ඒ කිසිම වෙනසක් රෝගයක් නොවේ. ඒවා ගර්භණී සමයට ආවේණික ලක්‍ෂණ පමණයි.

මේ කාලයේ දී මුලින් කිව්වා වගේ බොහෝ දෙනෙක් ඔබට විවිධ උපදෙස් දෙන්නට උත්සහ කරයි. ඔබ ඒ උපදෙස් පිළිගන්නා බව පෙන්වීම සබධතා පළුඳු නොකර ආරක්‍ෂා කරගැනීමට හේතුවක්. ඉතින්, ආහාර පාන ගන්නා විට “දෙන්නෙකුට කන්න” කියනවා නම් ඔව්! ඔබ ඒ පිළිබඳව මදක් සිතන්න. පිෂ්ඨය අධික බත් පිඟන් දෙක තුනක් එක් වේලකට ආහාරයට ගැනීමට වඩා බත් කෝප්පයකට මැල්ලුම්, මාළු හෝ බිත්තර, පරිප්පු හෝ වෙනත් ඇට වර්ගයක් (පරිප්පු මෙන් සකසා ගත හැකි මුං ඇට හෝ කව්පි වෑංජනයක්) වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

ඇඳුම්

අඳින්න ඕන ඇඳුම ගැන ඔබට ලැබෙන අනන්තවත් උපදෙස් නම් අමුත්තක් නෙවෙයි. නමුත් ගර්භණී සමයේ ඔබේ පහසුව ඉතාම වැදගත්. ඒ නිසා සැහැල්ලු ගවුමක් ඔබට ප්‍රමාණවත්. ගමනක් යන විට සුදුසු පරිදි එවැනි සැහැල්ලු ගවුම්වලින් සැරසී ඉන්නට පුළුවන්. දහදිය, සීතල වැනි පාරීසරික වෙනස්කම්වල දී ඔබේ පහසුව තකා අවශ්‍ය ඕනෑම “සැහැල්ලු” ඇඳුමක් අඳින්නට ඔබට අවකාශ තිබෙනවා. තවත් කෙනෙකු ඔබ ඇය හා සසඳමින් සිදුකරන විවේචන මනසට ගන්නට අවශ්‍ය නැහැ.

සෙරෙප්පු

ඔබ පළදින “පටි සෙරෙප්පු” නිසා දෙපා ඉදිමීමක් සිදුවෙලාද? එසේ නම් වෙළඳපලේ ඇති වෙනත් සැහැල්ලු සෙරෙප්පු දෙකකට මාරු වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා.
නමුත් එහි මතුපිට මෙන්ම අඩිය ගැනත් විමසිලිමත් වීම අනිවාර්යයි. සමහර සෙරෙප්පු වර්ග ටයිල් පොළව මත ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසාම ලිස්සා යාමට තිබෙන හැකියාව ඉතාම ඉහළයි. එය අනතුරකට හේතුවක්. සුවිශේෂි අවශ්‍යතාවක් නැත්නම් සෙරෙප්පු දෙකක් පැළදීම අත්‍යාවශ්‍යම නැහැ.

ආභරණ

සමහර විට ඔබේ ඇඟිලි ඉදිමීම නිසා පළදින මුදුව සිරවන්නට පුළුවන් වග කෙනෙක් ඔබට මතක් කරයි. එවැනි අවස්ථාවක ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් අහන්න. මුදුවක් හෝ වෙනත් රත්‍රන් ආභරණ පළදින්න අවශ්‍යම නැතිනම් ඒවා ඉවත් කර තබන්නත් පුළුවන්. ආසාත්මිකතා ඇතිවන, කණ් පැසවන, සැරව තුවාල සෑදෙන විෂ අමුද්‍රව්‍ය යෙදු ආභරණ මේ කාලේ ඈත් කරලා තියාගන්න. තිබෙන ස්වාභාවික අපහසුකම් අතර තවත් අලුත් අපහසුතා මොකටද?

නේල් පොලිෂ්/ලිප්ස්ටික්

නිය ආලේපණ හා තොල් ආලේපණ ගැල්වීම සුදුසු නොවන බව වෛද්‍යවරයා පවසනවා. මේ කාලේ උත්සව අවස්ථාවකට ගියාම අත පාලුයි දෙතොල ලස්සන නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවක ඔක්සිජන් මද වීමක් හෝ වෙනත් හේතුවක් නිසා ඔබේ නිය හෝ දෙතොල දම් පැහැ වුණොත් ! ඉතින් මාස නවයකට ඒ කටයුත්ත නවත්වන්න වෙන්නේ ඔබේම ආරක්‍ෂාවටයි.

සටහන චාපා හංසිනි ආටිගල