free stats

අම්මලා ආදරේ වැඩිකමටම ඕනවටත් වඩා අපි වෙනුවෙන් දේවල් කළ බවත් තාම එහෙම දේවල් කරන බවත් අපි දන්නවා. අපි අම්මලා වුණාමත් මේ කතාවේ වෙනසක් නැහැ. අපේ අම්මලාගේ වෙනසකුත් නැහැ. අර පුරුද්දටම වගේ දරුවන්ගේ දරුවන්ටත් ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. නමුත් එවැනි සමහර හොඳ දේවල් නිසා අලුත් පුංචි පැංචියන්ට සිද්ධ වෙන අනතුරු ඉතාම වැඩියි. ඒ නිසා ආදරේ වැඩියෙන්ම තියෙන ආච්චිලා වගේම අම්මලා මේ ලිපිය අවදානෙන් කියවලා බලන්න.

  1. කොලොන් වර්ග

පුංචි පැටියෙක් සුවඳවත් කරන්න අම්මලා භාවිතා කරන දේවල් අතර කොලොන් බොහෝම ජනප්‍රියයි. නමුත් බොහෝමයක් කොලොන් වර්ග නිෂ්පාදනය කරන්නේ පෙට්‍රෝලියම් යම් ප්‍රමාණයක් අඩංගු කරගනිමින් බව අප කවුරුත් දන්නවා. මෙවැනි රසායන ද්‍රව්‍ය සමට ඉතාම අහිතකරයි. ළඳරු සම ඉතාමත් සුමුදු නිසා රසායන ද්‍රව්‍ය අඩංගු කොලොන් වර්ග මඟින් සමට හානි වෙන්න පුළුවන්. සම සුමුදු නිසාම උරාගන්නා ප්‍රමාණයත් වැඩියි. මේ නිසා දරුවා ගේ ඇඳුම් වලට දැමීම වඩාත් සුදුසුයි. එය සුවඳ රදාපවතින්නත් හේතු වෙනවා. නමුත් සමහර ආලේපණ තවමත් ස්වාභාවික ශාකසාර ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරනවා. එවැනි නිෂ්පාදන තෝරාගැනීම වඩාත් සුදුසුයි.

තද උණ අවස්ථාවලදිත් කොලොන් වර්ග භාවිතා කරන අවස්ථා දකින්න පුළුවන්. එයින් උණ බහිනවා කියලා හුඟක් අම්මලා හිතනවා. කොලොන් මඟින් මතුපිට උණුසුම අඩු කළත් ඇත්තටම උණ අඩුවෙන්නේ නැහැ. කුඩා වයසේදීම ඉරුවාරදය, ඇඳුම වැනි ඇතිවන්නත් තිබෙන රෝග උත්සන්න වෙන්නත් මෙවැනි ප්‍රතිකාර හේතු වනවා.

  1. පුළුන් කොට්ට

බබාගේ ආරක්‍ෂාවට කියලා අම්මලා නිතරම බබා වටේට කොට්ට තියෙනවා. කොට් එකේ ඉන්න දරුවාගේ හිස වදියි කියලා බයට කොට් එක වටේට තියන කොට්ට පෙරලීම නිසා සිදුවිය හැකි අනතුරු බොහෝමයි. සමහර විට කොට්ටය මුහුණට වැටීම නිසා හුස්ම හිරවීමෙන් ළඳරු මරණයක් සිදුවීමේ අවධානමක් වුණත් තියෙනවා. ඒ වගේම කොට්ටය මෘදු නිසා දරුවාගේ මුහුණ ඇතුලට එබෙන්නවා. මේ නිසා වෛද්‍යවරුන් දරුවාගේ මුහුණ සහ හිස අවට මෘදු කොට්ට තියන්නට නිර්දේශ කරන්නේ නැහැ. පෙරලෙන්නේ නැති පුළුන් අඩු කොට්ට පෙරලෙන්නේ නැති ආකාරයෙන් තැබීම ප්‍රමාණවත් වනවා.

  1. සබන් වස්ති

මළ පිටවීමේ අවහිරතා, එහෙමත් නැත්නම් මළ බද්ධය කුඩා දරුවන්ට නිතර දකින්න ලැබෙනවා. මෙවැනි අවස්ථාවල වස්ති දැමීම අම්මලා අතර ජනප්‍රියම ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් පුංචි දරුවන්ගේ මළ පිට කිරීමේ ක්‍රමය වෙනස්. සමහර විට නිරෝගි දරුවන් වුණත් මළ පිටකරන්නේ දින පහකට වරයි. මෙන්න මේ රටාව අවබෝධ කරනොගන්නා අම්මලා බබාට වස්ති කරනවා. මෙයින් මළ මාර්ගයට හානි සිදුවෙන්න පුළුවන්. තුවාලයේ වේදනාව නිසා දරුවා කොහොමත් මළ පිට කරන්නේ නැහැ. දරුවාට මෙවැනි රෝග තත්ත්වයක් ඇත්නම් වෛi උපදෙස් නොමැතිව විවිධ ප්‍රතිකාර සඳහා යොමු වීම සුදුසු නැහැ.

  1. කන් සුද්ධ කිරීම

අම්මලා නිතරම බබාලගේ කණ සුද්ධ කරන්න උත්සහ දරනවා. විශේෂයෙන්ම ස්වාභාවිකව කණේ ඇතිවන කලාඳුරු ඉවත් කරන්න අම්මලා කරන්නේ ලොකු යුද්ධයක්. නමුත් මේවා ස්වාභාවිකව ඇතිවන්නේ කණේ ආරක්‍ෂාවට. කලාඳුරු ඇතුලේ ඉදන් එන්නේ විෂ බීජ අපද්‍රව්‍ය රැගෙනයි. මේ කලාඳුරු ඉබේම කණෙන් ඉවත් වෙනවා. මේවා ඉවත් කරන්න විවිධ උපකරණ භාවිත කරන වෙලාවට එයින් කණට විෂබීජ ඇතුල්වෙන්නත් පුළුවන්. කණ් බෙරයට හානි වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේම කණ ඇතුලේ කලාඳුරු ඝණ වීමත් සමහර විට සිදුවෙනවා. මෙවැනි අවස්ථාවලදි උගුර, කණ, නාසය පිළිබඳ වෛiවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්.

  1. වෝකර්

පුංචි දරුවන්ට මාස හත අට වෙනකොට වෝකර් ඒකට දානවා. මෙයින් විශේෂ නිදහසක් ලැබෙනවා කියලා තමයි අම්මලා හිතන්නේ. ඒ වගේම ඇවිදින්න පහසු වෙනවා කියලත්අම්මලා හිතනවා. නමුත් වෛද්‍යවරැ පෙන්වා දෙන්නේ වෝකර් එක නිසා දරුවන් ඇවිදීමට පමා වෙනවා කියලයි. අනිත් එක වෝකර් එක නිසා අනතුරු වෙන්නත් පුළුවන්. වොකර් එකේ රෝද හයක් තියෙනවා. මේ නිසා ඕන පැත්තකට තල්ලු වෙලා අනතුරක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. බබාට ඕන ඕන විදියට පාලනයට කරන්න බැහැ. අනාරක්‍ෂිත තැන්වලින් වැටෙන්නත් පුළුවන්. ඒ වගේම දරුවාගේ නොවැඩුණු සන්ධිවලට මෙයින් හානි වෙනවා.

  1. පියයුරුවල කිරි ඉවත් කිරීම

පුංචි බබාලගේ පියයුරුවල කිරි එකතු වෙනවා. මෙයට ගැහැණු පිරිමි බේදයක් නැහැ. එවැනි අවස්ථාවල පියයුර මදක් ඉස්සිලා වගේ පේනවා. අම්මාගේ හෝර්මෝන නිසා තමයි මෙහෙම වෙන්නේ. මාසයක් විතර යද්දි මේ ගතිය ඉවත් වෙලා යනවා. ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙත් නැහැ. නමුත් පියයුරු වල කිරි මිරිකලා යවන්න අම්මලා උත්සහ කරනවා. අම්මලාටත් වඩා මේ විදියේ ප්‍රතිකාර කරන්න ඉක්මන් වෙන්නේ ආච්චිලා. මෙවැනි ප්‍රතිකාර මඟින් හානි දෙකක් වෙනවා. මේ විදියට මිරිකන විට පියයුරු ආශ්‍රිත මෘදු පටකවලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම සම පුපුරලා විශ බීජ ගිහින් සැරව එකතු වෙලා ආසාදනය වනවා.

  1. කකුල්වල ඇද

දරුවෙක් ගෙදර ගෙනාවට පස්සේ දරුවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ බබාගේ ආච්චි අම්මා තමයි. එයාලා හැම තිස්සෙම පැටියාගේ කකුල් අත ගානවා, ඇද අරින්න හදනවා. බබාට මාස 7 ක් 8 ක් යනකල් කොහොමත් කකුල් තියෙන්නේ වක්‍රවයි. බබා ඇවිදින කාලේ කකුල් වක්‍ර නම් එයට ප්‍රතිකාර ගත යුතුයි. නමුත් මුල් මාස කිහිපයේ තිබෙන තත්ත්වයත් එක්ක මෙය පටලගත යුතු නැහැ. දරුවා කුස තුළ ඉද්දි කකුල් නවාගෙන බෝලයක් වගේ ඉන්නේ. මේ තත්ත්වය හරියට ස්ථාපනය වෙලා ස්වාභාවිකව ටිකෙන් ටික සකස් වෙනවා. මෙහිදි හානියක් වෙන්නේ ඇද හදන්න ගිහින් හන්දි බිදෙන්න වගේම සදහටම ඇද වෙන්න අවධානමක් තියෙන නිසයි. මෙවැනි හානි කකුලේ වැඩීමට බාධාවක්.

  1. මුත්‍රා මාර්ගය නිතර සේදීම

සමහර අම්මලා උවමනාවටත් වඩා පිරිසුදුයි. බබා මුත්‍රා කරන සැමවිටම සබන් දාලා මුත්‍රා මාර්ගය පිරිසුදු කරනවා. අම්මලා මෙහෙම කරන්නේ මුත්‍රා ආසාදන වළක්වන්නයි. නමුත් දිනකට දෙවරක් සබන් දාලා ඇල් මැරුණු වතුරෙන් පිරිසුදු කළාම ඇති. අනෙක් හැම වෙලාවකම ඇල් මැරුණු වතුරෙන් පිරිසුදු කළාම ඇති. සබන් නිසා මුත්‍රා මාර්ගය සහ ගුදය අවට සමට හානි වෙලා දිලීර ඇති වෙනවා. සම මතුපිට විෂ බීජ සම ඇතුළට යනවා. මේ නිසා නිතර නිතර සබන් දැමීම සුදුසු නැහැ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පැතුම් දිසානායක
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
ශික්‍ෂණ රෝහල
පේරාදෙණිය

සටහන
චාපා හංසිනි ආටිගල