free stats
       

“මේ ළමයා හරිම දගයි. මේ වගේ දගකරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.”
“මේ ළමයට විසේ පොවලා”

දගකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේවගේ දේවල් කියනවා අපි ඕනෑතරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දගකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම් ඔවුන් මේ තරම් දගවැඩ වලට පෙලඹෙන්නේ නැහැ. කුඩා කාලයේ සිටම දරුවන් කියන කරන දේවල් වලට දෙමාපියන් අවදානය යොමු කරනවනම් ඔවුන් දගළමයෙක් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනව නම් ළමයා හිතනවා අමමා තාත්තා තමා ගැන බලනවා කියන එක.

ඒත් කුඩා කාලයේ ඉදලම අම්මා තාත්තා දරුවන් කරන කියන දේවල් කෙරෙහි වැඩි අවදානයක් යොමු නොකරනව නම් ඔවුන් හිතනවා අම්මා තාත්තා තමන් ගැන බලන්නේ නැහැ කියලා. එහෙම වුණාම අම්මාගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමු කර ගන්න ඔවුන් දගවැඩ කරනවා. විශේෂයෙන්ම දරුවන් දගවැඩ කරන තවත් එක් හේතුවක් තමයි ළමයිගේ වයසට ඔවුන්ට අවශ්‍ය දේ වැඩිහිටියන් කරන්න නොදීම.


මාස 6 ක් 7ක් වයසැති ළමයෙකුට වතුර බේසමකට අතදාල බලන්න ආසයි. ඔවුන්ගේ ඒ අසාවට ඉටුකර ගන්න අපි ඉඩ දෙන්න ඕනේ. හුගාක් අම්මලා දරුවා වතුර එකට අත දැම්මාම ඉක්මනින් අත ඉවතට දානවා. මොකද දරුවට සෙම වැඩිවෙයි කියලා. මේක මහා මිත්‍යා විශ්වාසයක් විතරයි. දෙමාපියන් අතර තිබෙන මෙවැනි මිත්‍යා විශ්වාසත් එක්ක දරුවන්ගේ අත්හදාබැලීම් නතර වෙනවා. මෙයින් දරුවාට සිදුවන්නේ අයහපතක්.

අවුරුද්දක් හෝ අවුරුද්දයි මාස 3 හෝ 4 ක් වයසැති ළමයෙක් ආසයි වැලි අරගෙන කවලම් කරලා බලන්න. ඒත් අපේ හුගාක් වැඩිහිටියන් දරුවන්ට වැලි කවලම් කරන්න දෙන්නේ නැහැ. මොකද හොරි වැනි සමේ රෝග හැදෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ” දරුවන්ට වැලි පස් අල්ලන්න දීලා ඒවාට හුරු කරවන්න ඕනේ. එතකොට දරුවන්ගේ සිරුර කුඩා කාලේ ඉදලම එයට හුරුවෙනවා විතරක් නොවෙයි අද්දැකීමකුත් ලැබෙනවා.

අවුරුදු 2ක වගේ ළමයෙක් ආසයි පෙට්ටියක් වගේ දෙයක් තල්ලු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේම අවුරුදු 3 හෝ 4ක් වැයසැති ළමයෙක් ආසයි බෝලයක් හෝ වෙනයම් එවැනි රවුම් දෙයක් උඩදමා බලන්න.

මේ සෑම ක්‍රියාකාරකමකින්ම දරුවාගේ මොළය ඇතුලෙන් කුතුහලයක් ඇති වෙනවා. මෙහෙම කළොත් මොනවද වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ. වගේ දේවල් දරුවාගේ මනසට නැගෙනවා. මෙවැනි කුතුහලයන් ස්භාවිකවම ඔහුට විසදා ගැනීමට ඉඩ නොදුන්නොත් තමයි අම්මා තාත්තා ඉස්සරහා අනවශ්‍ය වැඩක් කරලා එම අත්දැකීම් ලබාගන්න දරුවා උත්සහ කරන්නේ.
ඒ ඒ වයසට ළමයාගේ මොළය ඇතුලෙන් වියයුතු ක්‍රියාකාරකම් වලට අපි ඉඩලබා දිය යුතුයි. එහෙම නොවුණොත් ළමයාට වැඩිහිටියන් වශයෙන් අපි කරන්නේ විශාල හානියක්.

අවුරුද්දේ දී දරුවා නැගිටින්න හදනවා. නැගිටිලා විතරක් නොවෙයි එයා ඇවිදින්නත් හදනවා

” හා හා ඇවිදින්න එපා. ඔයා වැටෙයි

කියලා අපි කෑ ගැහුවොත් දරුවා ඇවිදින්න ගන්න උත්සහය අතහරිනවා. එවිට දරුවාට කවදාවත් ඇවිදගන්න පුලුවන්කමක් වෙන්නේ නැහැ. එයාට වැටි වැටි අවිද්දම ඉඩදිය යුතුයි. එහෙම වුණොත් තමයි දරුවාගේ මොළය නියම විදිහට වැඩ කරන්න පටන් ගන්නේ.

සම වයසේ ළමයෙක් එක්ක පොර බැදීමට ඉඩ දීය යුතුයි” එවිට තමයි එයාගේ ශක්තිය එයාට මැන ගන්න පුළුවන් වෙන්නේ. නමුත් වැඩිහිටියන් වශයෙන් අපි දරුවා පිටුපස සිට ඔහුට රැකවරණය ලබාදිය යුතුයි. දරුවාට යම් අනතුරක් වෙනවා නම් ඔහුව එයින් මුදවා ගත යුතුයි. සමහර දරුවන් පිහිය ගෑරප්පුව වැනි උපකරණ අල්ලන්න උත්සහ කරනවා. එවැනි වෙලාවට එම උපකරණ ඇල්ලූවිට සිදුවෙන කැපෙනවා, ඇනෙනවා, එයින් ලේ එනවා, රිදෙනවා කියලා දරුවාට අවබෝධයක් ලබා දියයුතුයි.

අපි දරුවාට යම් දෙයක් කරන්න දුන්නේ නැතිනම් ඒ කියන්නේ වතුර අල්ලන්න දුන්නේ නැතිනම ඒක සෘණාත්මකව බලපානවා. වතුර ඇල්ලීමෙන් දරුවා බලාපොරොත්තු වෙන්නේ ඒක කොහොමද තමන්ට දැනෙන්නේ කියලා. වතුර කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා හැගීමක් ඇති වෙනවා. අපි දරුවාට මොනවාවත් කරන්න ඉඩ නොදුන්නොත් කිසිම අද්දැකීමක් නැති දරුවෙක් බවට ඔහු පත් වෙනවා. එවිට එයා එම අද්දැකීම් ලබා ගැනීමට තමන්ට තිබෙන සීමාවන් කඩාගෙන යන්න උත්සහ කරනවා. එක්කො පිහිනුම් තටාකයකට පනියි. එහෙමත්නැති නම් උණුවෙන වතුර භාජනයකට අත දමා බලයි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යම් අද්දැකීමක් ලබාගන්න” ඒ විතරක් නෙවෙයි ඒකෙන් වැඩිහිටියන්ගේ අවදානය දිනා ගන්න ආදරයක් කරුණාවක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

ඔහුවටා ඇති බාධකයන් බිද දමමින් ඉදිරියට යාමට උත්සහ දැරීමක් වැඩිහිටියන් දකින්නේ දරුවන්ගේ දගවැඩක් හැටියටයි. විසේකාර ළමයි කියලා වැඩිහිටියන් හදුන්වන්නේ මෙවැනි දරුවන්ව. මේ අනුව දරුවන්ට දගකරන්න විසේ කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්නේ දෙමාපියන් විසින්ම බව ඔබට දැන් වැටහෙනවා ඇති.

             රාගම ශික්ෂණ රෝහලේ 
             ළමාරෝග විශේෂඥ වෛද්‍ය
             සංජීව තෙන්නකෝන්

            සටහන – ශ්‍රියානි විජේසිංහ