free stats

අම්මා කෙනෙක් විදිහට ඔයා බබා ගේ හොඳම යාළුවා වෙන්නෙ කොහොමද

මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අම්මා කෙනෙක් දෙන උත්තර ගොඩක් තියෙනවා. මෙය උත්තර හැම එකකම ප්‍රදාන කාරණය වෙන්නේ “බබා කැමති දේ කරන්න ඕන” කියන එක. ඒ නිසා බබාට හොඳ යාළුවෙක් වෙන්න කලින් එයා කැමති දේවල් මොනවද, අපි කොහොමද ඒවත් එක්ක සමබරව සබඳතා පවත්වාගෙන යන්නේ කියන එක අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. 

  1. සෙල්ලම් කරන්න

සෙල්ලම් කරන්න ආස නැති බබෙක් මේ ලෝකෙ නෑ. එයා කිව්වොත් සෙල්ලම් කරන්න එන්න එයත් එක්ක එකතු වෙන්න කියලා දෙපාරක් හිතන් නැතුව එයාගෙ සෙල්ලමට එකතු වෙන්න. හැබැයි සෙල්ලම කරන්න ඕනේ එයා ආස විදියට. ඒ අතරතුරේ හෙමින් හෙමින් එයාට සමීප වෙන්න උත්සාහ කරන්නත් ඕනේ. 

  1. ෆිල්ම් බලන්න

බබාලා කැමති එක එක ජාතියෙ චිත්‍රපටි තියෙනවා. දැන් තාක්ෂණයත් එක්ක එකතුවෙලා ඉන්න අම්මල තාත්තල ටීවී එක විතරක් නෙමෙයි ජංගම දුරකථනය හරහා උනත් කාර්ටුන් චිත්‍රපට බලන්න පුළුවන් බව දන්නවා. පොඩි අය කැමති කාටුන් වලට, වීර කතාවලට, පොඩි ළමයි සඳහා නිර්දේශ වුණු විවිධ චිත්‍රපටිවලට වෙන්න පුළුවන්. අම්ම තාත්ත එයාලා එක්ක එකතුවෙලා චිත්‍රපටි බලනකොට  අම්මා තාත්තා තමන්ට මොනතරම් සමීප බව ද කියලා ඒ අය තේරුම් ගන්නවා. 

  1. ඇවිදින්න

 ළමයි ඇවිදින්න ආසයි. හැබැයි ඇවිදින්න යන්නේ කලින් ඒ ගොල්ල ඇවිදින්න යන්න කැමති කොහෙද බලන්න කැමති මොනවද කියලා එයාලගෙන් අහල දැනගන්න. ඇවිදින්න යන්න කියා වගේ ගෑනු එයාලට යෝජනා කරන්න ඉඩ දෙන්න එක වඩා හොඳයි. ඊළඟ සති අන්තය සැලසුම් කරන්න එයාලාගෙන් අදහස් ගන්න. ඒ අදහස් සහ යෝජනා ඔබ ට මොනතරම් වැදගත්ද කියන එක ඔවුන්ට දැනගන්න ඉඩ දෙන්න. 

  1. දෛනික වැඩ සමඟ සම්බන්ධ වෙන්න

ගෙදර ගෙදර කරන පුංචි පුංචි වැඩ වලට බබාව සම්බන්ධ කරගන්න එකත් හොඳ දෙයක්. එයාටත් අම්මා තාත්තා එක්ක එකතු වෙලා අම්ම තාත්ත වගේ ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඉඩ දෙන්න ඕනේ. ළඟපාත කඩේකට පරිස්සමෙන් ගිහිල්ලා මොනවා හරි අරගෙන එන්න, ගෙදර පුංචි පුංචි වැඩ කරන්න, ගෙදර පිරිසිදු කරන්න එයාලගෙන් උදව් ගත්තට කමක් නැහැ. 

  1. අගය කරන්න

හැමවිටම එයාලා කරන පුංචි උදව්වක් වුණත් අගය කරන්න. ඔයාට ඇත්තටම එයාගේ හොඳ යාළුවෙක් වෙන්න ඕන නම් අගය කිරීම තරම් හොඳ අවස්ථාවක් තවත් නෑ. අගය කිරීමක් එයාලව ශක්තිමත් කරනවා විතරක් නෙමෙයි ඉස්සරහට තවත් හොඳ දේවල් කරන්න එයාලට පන්නරයක් වෙනවා. 

  1. කැමති කෑම හදන්න

කෑම හදන වෙලාවට දරුවන්ගේ අදහස් විමසන එක හොඳ දෙයක්. බබාලා ආස විදිය කෑම හදන කොට එයාලව කෑම හදන්න එකතු කරගන්න. ආහාර වල වටිනාකම කියලා දෙන්න, පෝෂණය ගැන උගන්නන්න, අලුත් අලුත් ආහාරවල නම්, වෙනත් භාෂාවලින් ආහාර හඳුන්වන හැටි කියලා දෙන්නත් ඒක හොඳ අවස්ථාවක්. 

  1. ප්‍රශ්න අහන්න එපා

ඔබට යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් ප්‍රශ්න අහන්න එපා. තොරතුරු බෙදා ගන්න. දිනපතා ජීවිතයේ සිදුවන දේවල් එයාලට ඔබත් එක්ක කියන්න පුළුවන් විදිහට අවස්ථාව සලසලා දෙන්න. පාසලේ අත්දැකීම් පවා ඔබත් එක්ක බෙදාගන්න දරුවාට ඉඩ සලසලා දීම වඩා වැදගත්. 

  1. තනිවෙන්න ඉඩදෙන්න

දරුවාගේ ආරක්ෂාව ගැන, වටපිටාව ගැන අවධානෙන් ඉන්න ගමන්ම එයාට එයාගෙම ලෝකෙ තනිවෙලා ඉන්න ඉඩ දෙන්න. නිතරම එයා ගැන හොයන්න පිටිපස්සෙන් පිටුපස්සෙන් ඉන්න ගියාම නිදහසට යම් බාධාවක් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දරුවෝ අයථා ආකාරයෙන් තමන්ගේ නිදහස හොයාගන්න උත්සාහ කරනවා. ඒ නිසා දරුවා ගැන අවධානයෙන් ඉන්න ගමන් එයාට ටිකක් තනියම ඉන්නත් දෙන්න. 

මෙන්න මේ දේවල් ප්‍රධාන වශයෙන් දරුවෙක්ගේ හොඳ යාළුවෙක් වෙන්න වැදගත් වෙනවා. නමුත් තවත් මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. උත්සාහ කරල බලන්න. අම්මා තාත්තා දරුවෙක්ගේ හොඳ යාළුවෙක් වෙනවා නම්, එය දරුවාගේ මතු අනාගතයටත් බලපාන යහපත් දෙයක් බව අනිවාර්යෙන්ම කිව යුතුයි.