free stats

පුංචි දරුවන් ඉතා ක්‍රියාශීලී පිරිසකි. දරුවන් ක්‍රියාශීලීවීම යනු දෙමව්පියන් ලෙස ඔබ සතුටට පත්වි යුතු කරුණක් වන්නේ දරුවකු ක්‍රියාශීලී නොවීම යනු ඔහුගේ හෝ ඇයගේ මොළයේ වර්ධනයට බලපෑම් ඇති කළ හැකි බැවිනි.මෙයිනුත් පෙර පාසල් වියේ පසුවන දරුවන් විශේෂයෙන්ම ඉතාමත් ක්‍රියාශීලී ක්‍රියාකාරකම්හි නියැලෙන පිරිසකි.

වයස අවුරුදු 3 ත් 5 ත් අතර කාලයේදී මෙම තත්ත්වය දරුවන් වෙතින් සුලභව දක්නට ලැබෙන්නකි. දුවන්න, පනින්න, නටන්න, ගයන්න වගේම චිත්‍ර අඳින්නත් ඒවගේම නොයෙකුත් අත්කම් නිර්මාණ ඉදිිරිපත් කරන්නත් ඔවුන් පුදුම විදියට මේ කාලයේදී ආසා කරති. පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීමත් සමගම මෙම තත්ත්වය වැඩිවනවා මිසක් අඩුවක් නම් නොවේ.

නිවසේදී කරන ලද ක්‍රියාකාරකම්වලට වඩා වැඩි පිළිවෙළකින් සහ උනන්දුවකින් එම ක්‍රියාකාරකම්වල නිරත වීමට පෙර පාසලේදී දරුවන් උනන්දු වෙනවා. සම වයස් කණ්ඩායම් සමගින් සිදු කරනු ලබන නිසා මෙම තත්ත්වය මෙසේ වීමට හේතුවක් වන්නත් පුළුවන්. මෙම කාලයේදී දරුවන් නිවැරදි ඉරියව්වල නොසිට ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් දරුවන් ද නැත්තේ නොවේ. මෙලෙස දරුවන් විසින් නිවැරදි ඉරියව් පවත්වා නොගැනීම නිසා ඇති විය හැකි තත්ත්වයන් ලෙස,

■ සන්ධි වේදනා

■ මාංශ පේශී වේදනා

■ මෘදු පටක වේදනා

ආදිය දැක්විය හැකියි.

නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සෑමවිටම වැදගත් වන්නේ වැරදි ඉරියව් නිසා කොඳු ඇට පෙළේ ආබාධ බහුලව ඇතිවන්නට ඉඩ ඇති බැවිනුයි. නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට කොඳු ඇට පෙළෙන් සිදු කරන බලපෑම අති විශාලයි.

නිවැරදි ඉරියව් සඳහා අපගේ කොඳු ඇට පෙළ නිසි ආකාරයෙන් තබාගැනීම පිළිබඳ දැනුවත් වීම අතිශයින් වැදගත් වෙයි.කොඳු ඇට පෙළෙහි ඇතිවන වක්‍රයන් ප්‍රධාන වශයෙන් කොටස් 3 ක් වන අතර එම කොටස් තුනෙහි පැවතිය යුතු වක්‍ර ගතිය යම් වැරදි ඉරියව්වක් හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්ව අඩු හෝ වැඩිවීම නිසා වේදනාකාරී තත්ත්වයන් ඇති විය හැක.

මෙය දිගින් දිගටම සිදුවීම කොඳු ඇට පෙළේ ආබාධයන්ට මුල පිරීමක් විය හැක.කොඳු ඇට පෙළේ ආබාධයන්ට මුල පිරීමක් විය හැක.දීර්ඝ කාලීනව වැරදි ඉරියව්වලින් කාර්යයන්වල නිරත වූවන්ට කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවිය හැකි ආබාධ ලෙස

■ කොඳු ඇට පෙළ කුදු වීම හෙවත් කයිපොයිස්

■ කොඳු ඇට පෙළ පැත්තකට නෙරා යෑම හෙවත් ස්කෝලියෝසිස්

■ කොඳු ඇට පෙළ ඉදිරියට නෙරා ඒම හෙවත් ලොඩෝසිස්

යන තත්ත්ව හඳුන්වා දිය හැක.මෙම අසාමාන්‍ය වක්‍ර ශරීරයේ අලංකාරය නැති කරනවා පමණක් නොව පෙනහලු රෝග හා ස්නායු රෝග ඇති කිරීමට මූලික වනවා ඇත.දරුවන්ට ස්කොලියෝස් තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස අධික බරින් යුතු පාසැල් බෑගය බලපානු ලැබේ. බෑගය එක් උරහිසකට පමණක් දමාගෙන දිනපතා පාසල් යාමට පුරුදු වූ දරුවන් දිගු කාලයක් මෙසේ පාසල් බෑගය රැගෙන යාමෙන් කොඳු ඇට පෙළ එක් පැත්තකට වක් වී මෙම තත්ත්වය ඇති වේ. එනිසා සෑම විටම ඔබේ දරුවාගේ පාසැල් බෑගය පිටේ එල්ලාගෙන යාමට උපදෙස් දීම වඩා සුදුසු වන අතර දරුවාට ඔසවාගෙන යාමට සුදුසු බරකින් එය යුක්ත වීමද අතිශයින් වැදගත් වේ.

එමෙන්ම බොහෝ දරුවන් පාඩම් කිරීමේදී භාවිත කරන වැරදි ඉරියව් කොඳු ඇට පෙළේ ආබාධයන්ට හේතු වේ. බොහෝ දරුවන් කොන්ද කුදු කරගෙන පාඩම් කරන අතර එයද මෙම කයිපොයිස් තත්ත්වය ඇති වීමට හේතුවක් වේ. එනිසා සෑම විටම දරුවා පාඩම් කරනවිට කොන්ද සෘජුව තබාගෙන හිස හැකි පමණ කෙළින් තබාගෙන පොත මේසයට ආනතව සිටුවාගෙන පාඩම් කිරීමට දරුවා හුරු කළ යුතු වේ.

මන්ද වැරදි ඉරියව් නිසා ඇතිවන තත්ත්වයන් නිවැරදි කර ගැනීම ඉක්මණින් සිදු කරගැනීම නම් පහසු නොවනු ඇත. මෙය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද මුහුණපාන්නට සිදුවන බරපතල තත්ත්වයකි. මෙම තත්ත්වයෙන් මිදීමට නම් නිරන්තරයෙන් ඉඳගැනීමේදීත් හිටගෙන සිටීමේදීත් යම් කාර්යයක නිරත වීමේදීත් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම වැදගත් වේ.