free stats

පුංචි දරුවන් මල් වැනිය. විශාරද නන්දා මාලිනිය ගායනා කරන මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට ගීතයෙන් පවා කියවෙන්නේ පුංචි දරුවන් මල් වගේ කියායි. මේ මල් වගේ පුංචි දරුවන්ට ගැලපෙන ලස්සන පාට වලින් ඇඳුමක් තෝරන්න ගියත් සෙල්ලම් බඩුවක් තෝරන්න ගියත් මොන පාටද තෝරගන්න කියන අභියෝගය හැමදාම ඇතිවෙනවා. විශේෂයෙන්ම බිලිඳු කාමරය පාට, සපත්තුවල පාට, තොටිල්ලෙ පාට, කාමරයෙන් ජනෙල් දොර තිරවල පාට තෝරාගැනීමේදී ගොඩක් මව්වරු දෙගිඩියාවට පත්වෙනවා.

ඒ වගේම සෙල්ලම් බඩු තෝරා ගැනීමේ දී විශේෂ අවධානයක් දැක්විය යුතු වෙන්නේ සමහර පාට වර්ග දරුවන්ගේ කායික මානසික තත්ත්වයන්ට බලපාන නිසා. මේක මනෝ විද්‍යාත්මක පර්යේෂණයකින් කළ සොයා ගැනීමක්. කුඩා දරුවෝ විවිධ වර්ණ වලට විවිධ ප්‍රතිචාර දක්වන බව මව්වරු නිතර අත් දකින දෙයක්. සමහර පාට වර්ග කුසගින්න ඇති කරන්නටත් බලපානවා. ඒ වගේම සමහර වර්ණ නිසා බබාගෙ නින්ද පහසුවක් ඇතිවෙනවා. විවිධ වර්ණයන්ගෙන් සැඟවුණු අරුත් පිළිබඳව ඉදිරිපත් කිරීම තමයි මේ ලිපිය අරමුණ වෙන්නේ.

කොළ වර්ණය

අප නිතර දකින වර්ණයක් වන්නේ කොළ පැහැය. කොළ පැහැය මගින් නිරූපණය වෙන ස්වභාව ධර්මය සහ නිරෝගී බව ගොඩක් වෙලාවට රෝහල් සඳහා භාවිතා කරන තිරරෙදි සහ සැත්කම් අවස්ථාවේ වෛද්‍යවරුන් සහ සහායකයින් අඳින ඇඳුම් නිර්මාණය වෙන්න කොළ පැහැයෙන්. කොළ පැහැය ඉතාම සෞම්‍ය වර්ණයක්. කොළ පැහැය සුවපත් කිරීමේ ගුණයක් තිබෙනවා. ඒ වගේම කියවීමට ඇති ලැදියාව වර්ධනය කිරීමට හා බුද්ධිමත් භාවය පෙන්වීමට කොළ පැහැය හේතුවෙන බව මේ වෙනකොට සොයාගෙන තිබෙනවා.

කහ පැහැය

කහ පැහැ ප්‍රීතිමත් වර්ණයක් ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් කහ පැහැය යොදාගන්නේ දීප්තිමත්භාවය සහ හිරු එළිය සංකේතවත් කරන්නයි. කහ පාටට කැමති අය ප්‍රීතිමත් සිතුවලි වලින් යුක්තයි කියලා සලකනවා. ඒ වගේම කහ පැහැ නිතර ඇස ගැටීමෙන් අනිත් අය අතර තම තමන්ගෙ දේවල් හුවමාරු කර ගැනීමටත් නිතර සුබවාදී සිතිවිලි ඇති කර ගැනීමට හේතු වෙන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. එසේම ශෝකයට පත්වී සිටින කෙනෙක් හෝ විශාදය වැනි මානසික රෝගයකින් පීඩා විඳින දරුවන් සඳහා ප්‍රතිකාර කරද්දී කහ පැහැය යොදා ගැනීමට චිකිත්සකවරුන් පෙළඹී සිටිනවා.

රතු පැහැය

රතු කියන්නේ ප්‍රකෝපකාරී සිතුවිලි ඇති කිරීමටත් හිසරදය ඇති කිරීමටත් හේතු වෙන වර්ණයක්. ඒ නිසාම රතු වර්ණය පෙර පාසල් වල හෝ දරුවන්ගේ කාමරය බිත්ති වර්ණ ගන්වන්න යොදා ගන්නේ නෑ. රතු වර්ණය වඩා සුදුසු වන්නේ ක්‍රීඩා ඇඳුම් සහ ක්‍රීඩා උපකරන මෙන්ම ක්‍රීඩා කටයුතු වර්ණවත් කරන්නයි. රතු වර්ණය යොදා ගන්නට ම අවශ්‍ය නම් සුදු කහ හෝ නිල් වැනි සිසිල් වර්ණයන් සමඟ යොදාගන්න පුළුවන්.

රෝස පැහැය

දරුවන් සඳහා නිර්මාණය වන බොහෝ බඩු භාණ්ඩ රෝස වර්ණයෙන් යුක්තයි. රෝස ඉතා සිත් ඇදගන්නා වර්ණයක් වුණත් ඒ තරමක් ආත්මාර්ථකාමී නිසා ආධිපත්‍ය පතුරන වර්ණයක් බව පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. කාන්තාවන්ගේ ස්ත්‍රී ලාලිත්‍ය මතු කිරීමට හොඳම වර්ණය වෙන්නෙත් රෝස පැහැය. දැරියන්ගේ ඇඳුම් පැළඳුම් සහ කාමර අලංකාර කිරීම සඳහා රෝස වර්ණ ඉතාම සුදුසු වුණත් තද පැහැය වෙනුවට ලා පැහැ රෝස වර්ණ යොදා ගැනීමත් එය සුදු වැනි වෙනත් වර්ණයන් සමඟ මුසු කර ගැනීමට වඩාත් සුදුසු බව පර්යේෂකයෝ පෙන්වලා දෙනවා.

නිල් වර්ණය

නිල් පැහැයත් දරුවන් සඳහා බඩුමුට්ටු තෝරාගැනීමේදී මූලිකත්වය හිමිවන වර්ණයක්. නිල් පැහැ හඳුන්වන්නේ රතු වර්ණය විරුද්ධ වර්ණය විදිහට. නිල් වර්ණය සන්සුන් සිතිවිලි ඇති කිරීමට හේතු වෙනවා. ඒ වගේම හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වයට පත්කර මනස සැහැල්ලු කිරීමටත් නිල් පාට ට පුළුවන්. හැබැයි තද නිල් පැහැයට දුක්බර සිතුවිලි වැඩියෙන් ජනනය කරන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. නිල් පාට ආහාර රුචිය අඩු කරනවා කියලා මතයක් තියෙන නිසා බබාට කන්න බොන්න දෙන දේවල් වලට නිල් පාට තෝරනොගන්න තරමට හොඳයි.

දුඹුරු වර්ණය

ශක්තිමත් භාවය සහ බුද්ධිමත් භාවය වගේම නිර්භීත භාවයත් පෙන්වා දෙන පාටක් ලෙස දුඹුරු පැහැය හදුන්වනවා. නමුත් දරුවන් සඳහා තද දුඹුරු පැහැය යොදා ගැනිම එතරම් සුදුසු නැහැ. සුදු සහ කළුමේ වර්ණ දෙක නිතර ඇස ගැටෙන වර්ණ දෙකක්. තනි තනිව හෝ මිශ්‍ර කර යොදා ගැනීමට හැකිවුනත් දරුවන් සදහා යොදාගන්නා විට වර්ණ දෙකම මිශ්‍ර කර යොදා ගැනීම වඩාත් හොඳයි.

සුදු වර්ණය

තැන්පත් බව හා සංවේදී බව පෙන්වනවා. සුදු සහ කළු කලවං කිරීමෙන් ලැබෙන ළා අළු පාට මලානික ගතියක් පෙන්නුම් කළත් රෝස හෝ නිල සමග යොදාගෙන ලස්සන නිර්මාණ කරන්න පුළුවන්.

බොහෝ මවුපියන් වර්ණ ගැන එතරම් අවධානයක් යොමු නොකලත් වර්ණ දරුවන්ගේ ජීවිතයට මොනතරම් බලපානවද කියන එක මේ ලිපිය මඟින් ඔබට තේරුම් ගන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසා යම් නිෂ්පාදනයක් තෝර ගනිද්දි වර්ණ ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.