නිරෝගී දරු පැටියකු ප්‍රාර්ථනා කරනු ලබන සෑම මවකම කායිකව හා මානසිකව සන්සුන් විය යුතුය. එහෙත් එදිනෙදා වැඩකටයුතු වල කාර්යබහුල වන මවක් ලෙස ඔබගේ සිත තුළ ක්ෂණිකව ඇතිවන කෝපය තරහව ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. මේ අයුරින් ඇතිවන තරහ නිසා මවගේ ශරීරයේ ඇති රුධිරය අපිරිසිදු වේ. එසේ අපිරිසිදු වන රුධිරය මවගේ ශරීරය පුරා පැතිරී ගොස් එය කුස තුළ වැඩෙන දරුපැටියාගේ නිරෝගී භාවයට බලපෑම් ඇතිවිය හැකිය. එසේ දරුපැටියාට සිදුවන අහිතකර බලපෑම් මෙන්ම අනාගතයේදී ද්වේශ සහගත අයුරින් හැසිරෙන, සමාජයට වෛර කරන, මිනිසුන් සමඟ නිතර කෝප ගන්නා දරුවෙකු පවා ඇතිවිය හැකිය. එම නිසා දරුවකු බලාපොරොත්තු වන මවක් දරු පිළිසිඳ ගැනීමට පෙර ඔබට මෛත්‍රී භාවනාව සඳහා පුරුදු පුහුණු වීම ඉතාමත් වැදගත්ය.
දරුවකු කුස දරා සිටින මවක්ගේ සිතෙහි යම් බඹ විහරණ තිබිය යුතුය. තම දරුවා ගැන පමණක් නොව මුළු මහත් සමාජයේම වෙසෙන දරුවන් හට හොඳ අම්මා කෙනෙකු විය යුතුය. බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වීම සඳහා වරම් ලැබුවේද එවැනි වූ මව් කෙනෙකු නිසාය. ඒ බව මාතුපෝසක ජතක කතාවෙන් මනා ලෙස පැහැදිලි වේ. මාතුපෝසක ජාතක කතාවට අනුව බෝසත් පුතනුවන් තම මවට සැලකීම සඳහා තම ධනය සොයාගැනීමට පිටරටක් බලා නැව් නැග යන විට නැව අතරමඟඳී කුණාටවුවකට හසුවී විනාශ විය. එම අවස්ථාවේදී මෙම බෝසත් පුතනුවන් තම වීර්යෙන් බේරාගැනීමට කල්පනා කර ගොඩ බිමක් බලා පිහිනීමට තීරණය කළේය. එහිදී අම්මාත් මමත් සමඟ පැ මිණි බව මතක් විය. එම අවස්ථාවේදී ලෑලි කඩක එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින අම්මා දැක ගත හැකි විය.
එහිදී මම මේ ගමන පැමිණියේ මව්තුමිය පෝෂණය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් . එම නිසා අම්මා නොමැතිව මගේ ජීවිතය පමණක් බේරාගන වැඩක් නැතැයි සිතූ මේ බෝසත් පුතු මව්තුමිය කර තබාගෙන ගොඩ බිමක් වෙත පිහිනා ආවේය. එසේ ගොඩ බිමට පැමිණ වැල්ලක වැතිරී ගමන් විඩාව සන්සිඳවා ගැනීමේ නිරතවී සිටින විට මහා බ්‍රහ්මය මේ පුත්‍රයාගේ උදාර ක්‍රියාව දැක එම මව්තුමියගේ සිතට සිතට ආවිශ්ඨ වී මවගේ මුවින්
මගේ රත්තරන් පුතා අම්මාගේ වටිනාකම දන්න කෙනෙක්. ඒ නිසා තමයි තනියම ගොඩ බිමට පීනා ගොස් තමන්ගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාව තිබියදීත් මහ සයුරේ අම්මා කරපින්නා තබාගෙන පිහිනා අම්මාගේ ජීවිතයත් බේරා ගැනීමට ක්‍රියා කරනු ලැබුවේ ඒ පිනෙන් මගේ රත්තරන් පුතාට අසරණ සතුන් සංසාරයෙන් එතෙර කරවීමට වගේම ලොව්තුරා බුද්ධත්වයට පවා පත්වීමට සුදුසු යැයි පවසා, මගේ රත්තරන් පුතා බුදු වේවා යැයි හිස අතගාමින් ප්‍රකාශ කළ වචනය අනුව යමින් තමයි මහා බෝසතානෝ ලොව්තුරා බුද්ධත්වයට පත් වීම සඳහා වෙර දැරීම සිදු කරනු ලැබීය.
මේ කතා පුවතට අනුවද මව් පදවිය යනු ශ්‍රේෂ්ඨ පදවියක් බව සනාථ වේ.
මේ මුළු මහත් ලෝකයේම නිලයක් දරුවෙකුට ලැබේද ඒ සියලුම දේ දරුවෙකුට ලැබෙන්නේ මවගේ ආශිර්වාදයට අනුවය. ඕනෑම මවක් මේ මාගේ දරුවාය සිතමින් මුවින් කියමින් නිතර නිතර මමායනය කිරීම සිදු කරන නිසා අම්මා යන වචනය සෑදී තිබේ. එවැනි ගුණ ඇති අම්මා තම කුසට දරු පැටියා පැමිණි මොහොතේ සිටම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සිව් බඹ විහරණයන් අනන්ත ලෝක සත්වයා වෙතට පිරි නැමීමට සිදු කළ විට ඇයට ලැබෙන දරුවාද පුණ්‍යවන්තයකු වන බව නිසැකය. එම නිසා මව් පදවියට උරුමකම් කීමට සූදානම් වන කාන්තාවක් ඊර්ෂ්‍යාව ක්‍රෝධය තරහව දුරු කර ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා මෛත්‍රී භාවනාව දිවියට පුරුදු පුහුණු කළ යුත්තේ මෙසේය. මුලින්ම මෛත්‍රී භාවනාවෙන්.
- මම වෛර නොකරමි
- මම තරහ නොවෙමි
- මම නිදුක් වේවා
- මම නිරෝගී වේවා
- මම සුවපත් වේවා
යනුවෙන් තමාටම මෙත් සිත වැඩිය යුතුය. මෙහිදී වෛර නොකරමි යන්න මගේ සිතට වෛර ඇති නොවේවාය යන හැඟීම සිතට දිය යුතුය. එම නිසා ඇතිවන ආදීනව ගැන සිතා බැලිය යුතුය. මන්ද වෛරයෙන් පීඩා විදින්නන් මීට අවුරුදු ගණනාවකට පෙර සිදු වූ දේ පිළිබඳව කථාකර තරහ ගනී. එමඟින් පීඩාවට පත් වන්නේ තමන්ගේ සිතය. එම නිසා තම සිතට එවැනි හැඟීම් ඇතිවීම වළක්වා ගනිමින් සිත දියුණුවට පත් කර ගත යුතුය. මෙම හැඟීම් තරහ, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව යනාදීය ගැනද එලෙසම සිතමින් තමන්ගේ සිතට එමඟින් සිදුවන ආදීනව කියා දී සිත දියුණු කර ගත යුතුයි. මේ අයුරින් ක්රමාණුකූලව මෙත් සිත වැඩීමෙන් අනතුරුව අම්මාගේ සිත දියුණුවට පත්වේ. එසේ දියුණු වූ සිත් ඇති අම්මා තම කුස තුළ සිටින දරු පැටියාට මෙත් වැඩිය යුතුය. තමන්ට මෙත් වැඩූ සිතින් තම දරුවාට මෙත් වඩන විට මගේ කුසේ සිටින රත්තරන් දරු පැටියාට වෛර නොවේවා තරහ නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යනුවෙන් මෙත් වැඩිය හැකිය.
එසේ නොමැති නම් මගේ කුසේ සිටින දරු පැටියා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවනින්, බුද්ධියෙන් වැඩෙත්වා, ප්‍රිය වේවා, කීකරු වේවා, මිත්‍රශීලී වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෛත්‍රී සිතුවිළි පහළ වේවා. කාරුණික සිතුවිලි පහළ වේවා, යනුවෙන් මෙත් වැඩීම සිදුකළ හැකිය. දරුපැටියා මෙලො එළිය දුටුවායින් පසුව දරු පැටියා කායිකව මානසිකව කිසිවක් වේවා, මාරක අපල ග්‍රහ අපල දුරු වේවා, දුටු දා පටන් යහපත් අවවාද අනුශාසනා ලැබේවා. මාපිය ගුණ හඳුනන දරුවෙක් ඇති වේවා, යනුවෙන් මෙත් වැඩිය යුතුය.
මේ අයුරින් මෙත්සිත වැඩීම සඳහා නිශ්චිත වේලාවක් වෙන්කර ගත යුතු නැත. යන එන විට, කතා බහ කරන මෙත් සිත පැතිර විය හැකිය.
එකම එක පුතෙකු ඇති මවක් තමන්ගේ ආයුෂය මෙන් එම පුතා රැකගනී. ඒ අයුරින්ම සියළු සත්වයින් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු බව කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ සඳහන් වේ. එසේම හිටගෙන සිටින විට ඇවිදින විට, ඉදගෙන සිටින විට, නිදාගැනීමට ගිය විට, උදෑසන අවදි වූ විට හැකි සෑම අවස්ථාවකදීම මෙත් සිත වැඩීම සුදුසු බව කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ ද සඳහන් කොට තිබේ. එසේම මෙත් වැඩීම මවගේත් ලැබෙන්නට සිටින දරුවාගේත්, මෙලොව එළිය දුටු දරුවාගේත්, ලැබෙන්නට සිටින දරුවාගේත් දියුණුවට මනා පිටුවහලක් වන නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.
සටහන අරුණි ජයසේකර
අකුරැස්ස ඕපාත රජවංගල ආරන්ය සේනාධිපති
ත්‍රිපිටකාචාර්ය විනය විශාරද පූජ්‍ය ඕපාත සමිත විහාරී ස්වාමීන් වහන්සේ