free stats

කුසෙහි සිටින දරුවා බිහිකරන මොහොතේ සෑම මවක්ම බලාපොරොත්තු වන්නේ නීරෝගි උපතකි. නමුත් සමහර අවස්ථාවල දී උපදින පැටියා තුළ දකින්නට ලැබෙන උපත් දෝෂ නිසා පැටියා මෙන්ම මවත් විවිධ වේදනාවට පත්වේ. නමුත් මෙහි ඇති වඩාත් වැදගත්ම කරුණ වන්නේ කල් ඇතිව හඳුනාගැනීමෙන් මෙම උපත් දෝෂ මඟහරවා ගැනීමට හැකි වීමයි.

උපත් දෝෂ ඇතිවීමට හේතු

පවුල් ඉතිහාසයේ බලපෑම

පවුලේ සාමාජිතයෙකුට මෙවන් දෝෂ ඇත්නම් එවැනි මවක් ගර්භණී වීමෙදී වෛද්‍ය උපදෙස් ලබාගනිමින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය. දියවැඩියාව වැනි රෝගී තත්ත්වයක් ඇති මවක් නම් දරුවාට බලපෑමක් විය හැකි බැවින් සැලකිලිමත් වීම හා වෛද්‍ය උපදෙස් මත සිය ගර්භණී සමය සැලසුම් කිරීම වඩාත් වැදගත් වේ.

වයසේ බලපෑම

නිසි වයසේ දී එනම් අවුරුදු 35 ට පෙර දරුවෙක් පිළිසිඳ ගැනීම මඟින් උපත් දෝස මඟහරවා ගත හැකියි.

කුස තුළ සිටින දරුවා ගේ වර්ධනය අඩු වීම.

මීට පෙර ඔබට දරුවන් සිටිනවා නම් මෙවැනි ගැටළු නැවත ඇතිවීම ගැන සැලකිලිමත් වීම හා වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ.

නිතර නිතර ගැබට හානි වු මවක් නම්

ඔබ ගැබිනි මවක් නම් හෝ ගර්භණි භාවය බලාපොරොත්තු වන මවක් නම් මේ සියලු කරුණු පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

විශේෂයෙන් මෙවැනි හේතු සහිත මවක් නම් දරු ගැබේ විකෘති බලන ස්කෑන් පරීක්‍ෂණයකට යොමු වැදගත් බව වෙෙද්‍යවරු පවසනවා. නමුත් මෙය සෑම ගැබිනි මවකටම අවශ්‍ය වන්නේ නැහැ.

මෙම ස්කෑන් පරීක්‍ෂණය සිදුකරන්නේ සති 16 ත් සති 18 ත් අතර කාලයේ දීයි. එය ඇනෝමලි ස්කෑන් පරීක්‍ෂණය යනුවෙනි. මෙහිදි හඳුනාගත හැකි සංකූලතා හා ගැටළු පහත පරිදියි.

සංකූලතා හා ගැටළු අවස්ථා

අත් පාවල තිබෙන ගැටළු මෙන්ම ඩවුන්සින්ඩ්‍රෝම් තත්ත්වය ද හඳුනාගත හැකියි. ඒ වගේම වකුගඩු සම්බන්ධ ගැටළු, වකුගඩුවල ගෙඩි, වකුගඩුවල වතුර බුබුළු ඇති වීම, අක්මාව සම්බන්ධ ගැටළු, බඩවැල් තුළ තිබෙන සිරවීමක් සොයාගත හැකියි. බඩවැල් වැහිලා නම් බඩවැල් අවහිර වෙලා තිබෙන අවස්ථා ද හඳුනාගැනේ.

විශේෂයෙන් හෘද රෝග හඳුනාගැනීමට ද මොළයට වතුර පිරී ඇද්ද යන්න, මොළයේ ගෙඩි ඇතිවී තිබේද යන්න පවා හඳුනාගත හැකියි. පෙනහළු අතර බඩවැල් ඇතුළු වී තිබෙන අවස්ථාවන්. මේ සියලු තත්ත්වයන් ඇනෝමලි ස්කෑන් පරීක්‍ෂණය මඟින් හඳුනාගත හැකියි.

දරු ගැබේ විකෘතිතා සඳහා වෛද්‍ය නිර්දේශ මත යොමුවීම ඉතාම වැදගත්.

මෙවැනි ගැටළු හඳුනාගත් පසු කුස තුළ සිටින දරුවාට ප්‍රතිකාර ලබාදීම කළ හැකියි. එ නිසා ඇනෝමලි පරීක්‍ෂාව සිදුකර ගැනීම ඉතාම වැදගත්. එසේම යම් යම් උපත් දෝෂ සඳහා මේ වන විට නිසි ප්‍රතිකාර හඳුනාගෙන තිබෙන බැවින් බියවීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.

සටහන මහේෂාණි මීගහපල

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
ආර්. එන්. ජී රාජපක්‍ෂ මහතා

තුරු කොළඹ ශික්‍ෂණ රෝහල
රාගම