free stats

ආහාර කල් තබා ගැනීම සඳහා අපි නොයෙක් විදියේ උපක්‍රම අනුගමනය කරනවා. ශීතකරණය කියන්නේ එයින් එක් ක්‍රමයක්. අපේ රටේ පවතින උශ්නාධික දේශගුණය නිසා එළවළු වගේම පළතුරු වර්ගත් ඉක්මනින් ඉදීමට ලක්වෙන්න පුළුවන්. අපි ශීතකරණයක් භාවිත කරන්නේ ඒ නිසයි. එයින් එළවළු සහ පළතුරුවල බැක්ටීරියා දිලීර වර්ධනය අඩාල වෙන නිසා කල් තියාගන්න පහසුයි. අපි විදුලි බලයට පුරුදු වුනේ මෑත කාලයේ නිසා ශිතකරණය භාවිත කිරීම සම්බන්ධව අපි අතර ඒ තරම් හොඳ මතයක් දකින්න ලැබුණේ නැහැ. ශීතරකණයේ ආහාර ගබඩා කලාම ආහාර විෂ වෙන්න පුළුවන්, ඒ වගේම ආහාරවල පෝෂණය අඩු වෙන්න පුළුවන් වගේ මති මතාන්තර මිනිසුන් අතර තිබුණා. නමුත් මේ මතවල කිසිම සත්‍යතාවයක් නැහැ.

ගබඩා කිරීමේ ප්‍රමිතිය

ශීතකරණයක ආහාර ගබඩා කරන සාමාන්‍ය උශ්නත්වය 5ක්‍ං ක් විදියට තමයි ගණනය වෙන්නේ. සාමාන්‍යයෙන් 35ක්‍ං හෝ 30ක්‍ං උශ්ණත්වයක් සහිත පරිසරයක තිබුණු එළවළුවක් හෝ පළතුරක් තමයි මේ විදියට අවම උශ්ණත්වයක ගබඩා කරන්නේ. ඒ වගේම එළවළු වර්ග හෝ පළතුරු ගබඩා කරන විට එකගොඩට දාලා ගබඩා කරන්නේ නැහැ. ඒවාට හොඳින් වාතාශ්‍රය ලැබීම අත්‍යාවශ්‍ය වෙනවා. එවිට බැක්ටීරියා වර්ධනය අඩාල කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් සහ වකුගඩු ආශ්‍රිතව සැත්කම් සිදුකළ ඒ වගේම වෙනත් සැත්කම්වලට මුහුණ දුන් අය ශීතකරණවල ආහාර ගබඩා කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ අයගේ ප්‍රතිශක්තිය අවම මට්ටමක පවතින නිසා විසබීජ ආසාදනවලට ලක්වීමේ හැකියාව ඉතාම වැඩියි.

ශීතකරණයේ තැබිය හැකි කාලසීමාව

සාමාන්‍යයෙන් පළතුරු යුෂ පානයක් විවෘත කළාට පස්සේ සතියක් දෙකක් තියාගන්න පුළුවන්. එළවළු වර්ග තියාගන්න පුළුවන් දවස් කිහිපයක් පමණයි. නමුත් යම් මැලවීමක් සිදුවෙනවා. ශීතකරණයේ තැබීමෙන් එළවළු වල තිබෙන වතුර ස්වභාවය ඉවත් වන නිසා එයින් පෝෂණයට යම් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ශීතකරණයේ ගබඩා කරන විට ඉටි බෑග් භාවිත කරන්නේ. නමුත් තක්කාලි වගේ පොත්ත හයිය එළවළු වර්ග නම් සති දෙකක කාලයක් තියාගන්න පුළුවන්. බීට් රූට්, කැරට් වගේ එළවළු වර්ග ඉක්මනින් මැලවෙනවා. ඒ නිසා ඒවා ශීතකරණවල ගබඩා කිරීමේ දී ඉටි බෑග්වල දැමීම වඩාත් සුදුසුයි. ලීක්ස් වගේ එළවළු වර්ග නම් පත්තර කොළවල ඔතා තැබීම මඟින් නැවුම් බව ආරක්‍ෂා වෙනවා. අර්තාපල් ශීතකරණයේ තියන්නේ නැහැ. ඒවා පිටතින් තියන්න පුළුවන්. එළවළු වර්ග ගබඩා කරන විට හොඳින් පිරිසිදු කරලා අනවශ්‍ය කොටස් ඉවත් කරලා ගබඩා කිරීම ඉතාම වැදගත්. නැත්නම් ඉක්මනින් කුණු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

පළතුරු වර්ග ශීතකරණයට දැම්මාම සතියක වගේ කාලයක් තියාගන්න පුළුවන් වුණත් කාලයත් එක්කම එහි පොත්ත අවපාට වෙනවා. ලෙල්ල එහෙමත් නැත්නම් පොත්ත කියන්නේ අවපාට වුණාම එයින් රුචිකත්වයට යම් ගැටළුවක් ඇතිවෙන්න පුළුවන්.

කාර්ය බහුල මවට ශීතකරණයෙන් තිබෙන ප්‍රයෝජන

බහුතරයක් කාන්තාවන් රැකියාවල නිරත වෙන නිසා නිවසේ තිබෙන කටයුතුත් එක්ක උදේට නැගිටලා උයන එක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා හුඟක් කාන්තාවො කලින් දවසේ රෑට අවශ්‍ය දේවල් කපලා ශීතකරණයේ තියන්න පුරුදු වෙලා ඉන්නවා. සතියකට අවශ්‍ය එළවළු වර්ග වුණත් මේ විදියට කපලා තියන්න පුළුවන්. නමුත් භාවිතා කරන භාජනය ඉතාම වැදගත්. ප්ලාස්ටික් භාජන භාවිත කරනවා නම් ඊඡත්‍ ලාංජනය සහිත ප්ලාස්ටික් භාජනයක් භාවිත කළ හැකියි. නමුත් වඩාත් සුදුසු වෙන්නේ වීදුරු භාජන භාවිතය. සමහර කාන්තාවන් භාවිත කළ මාජරින් පෙට්ටි වගේ ප්ලාස්ටික් පෙට්ටි භාවිත කරනවා. නමුත් ඒවා මයික්‍රොවේව් කරන්න නම් සුදුසු නැහැ. ඒ වගේම එවැනි ප්ලාස්ටික් පෙට්ටි භාවිත කරලා තියෙන්නේ එක් වරක් පමණක් භාවිත කරන්නයි. නැවත නැවත එවැනි ප්ලාස්ටික් වර්ග භාවිතයෙන් ගැටලු ඇතිවෙන්න පුළුවන්. මේ විදියට එළවළු වර්ග කපලා තියන එකෙන් පෝෂණයේ විශේෂ අඩුවීමක් සිදුවෙන්නේ නැහැ. එළවළු වර්ග එළියෙන් තිබ්බාම වේලෙන නිසා මීටත් වඩා පෝෂණයේ අඩුවීමක් සිදුවෙනවා.

පළතුරු සහ එළවළු වර්ග ගබඩා කරන විට සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වෙන්නේ ශීතකරණය තුළ එළවළු ගබඩා කරන ස්ථානයයි. එහිදි එළවළු වර්ග ගබඩා කිරීමට හොඳම ස්ථානය වෙන්නේ ශීතකරණයේ තිබෙන ඉහළම තට්ටු කිහිපයයි. ඒ හැරුණු විට පහළම තිබෙන එළවළු බක්කියත් එළවළු ගබඩාවට වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් කලින් පිසින ලද මාළු සහ වෑංජන වර්ග නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා ශීතකරණයෙන් තියනවා. එවැනි අවස්ථාවල ඒවා හැලෙන්න පුළුවන්. එවැනි ගැටලුවක් ඇතිවුණොත් එළවළු වර්ග නරක් වීමට හෝ අපිරිසිදු විමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ගබඩා කිරීමේ දි ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්. එළවළු වර්ග කිසිම වෙලාවක මස් මාලු වර්ග සමඟ ගබඩා කරන්නේ නැහැ.

සමහර එළවළු සහ පළතුරු වර්ග කැපුවාම කඑහට පිපෙන ගතියක් තිබෙනවා. ඒ වාතයේ තිබෙන ඔක්සිජන් සමඟ ඇතිකරන රසායනික ප්‍රතික්‍රියාවක් නිසයි. ඒ නිසා වම්බටු ඇපල් අළු කෙසෙල් වැනි කහට පිපෙන ආහාර වර්ග අවශ්‍ය වෙලාවට කපලා ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම පළතුරු වර්ග ශීතකරණයේ තියලා ඉදවීම සුදුසු නැහැ. ඒවායේ නියම රසය ලැබෙන්නේ ස්වාභාවිකව ඉදුණොත් පමණයි. නමුත් කෙටි කාලයක් ශීතකරණයේ තියලා ගත්තට පස්සේ පළතුරු ඉක්මනින් ඉදීමේ සම්භාවිතාවක් තියෙන නිසා එවැනි ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම මොන ආහාරය ගබඩා කලත් එය හොඳින් වසා තැබිය යුතුයි. නැත්නම් එහි සුවඳ හා රසය අනෙක් ආහාර වර්ග සමඟ මිශ්‍ර වෙනවා. එයින් රසයට හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම භාගෙට කපන ලද ළුූෑණු ශීතකරණයෙන් තියනවා නම් හොඳින් වසා තැබිය යුතුයි. එහෙම නැත්නම් ළුූෑණවල තිබෙන සුවඳ අනිත් එළවළු වර්ග සමඟ මිශ්‍ර වෙනවා. ඒ වගේම ශීතකරණයත් අපිරිසිදු වෙන්න පුළුවන්.

අපි සාමාන්‍යයෙන් අධි ශීතකරණයේ එළවළු වර්ග ගබඩා කරන්නේ නැහැ. නමුත් ගබඩා කරනවා නම් ඒ සඳහා නිෂ්පාදිත විශේෂ ඉටි බෑග් වර්ගයක් භාවිත කළ යුතුයි. අධික සීතල නිසාම ජල අණු පිපිරෙනවා. එයින් ස්වාභාවික ගතිය නැතිවෙන්න පුළුවන්. නමුත් එළවළුවල පෝෂණයට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම කල් ඉකුත් වුණු ආහාර ශීතකරණයේ දැමීමෙන් කිසිම විටෙක නැවත භාවිතයට ගන්න බැහැ.

පහසුව සහ කල් තබාගැනීම සඳහා ශීතකරණය භාවිත කළත් එය නිසි පරිදි භාවිත නොකිරීමෙන් ගැටළු රැසක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එහි නිසි ප්‍රයෝජනයක් ලබාගන්නත් අපහසුයි. ඒ නිසා නිසි පරිදි ශීතකරණය භාවිත කිරීම වැදගත්.

සටහන චාපා හංසිනි ආටිගල

වයඹ විශ්ව විද්‍යාලය
පෝෂණවේදය පිළිබඳව
මහාචාර්ය
රේණුක සිල්වා