free stats

අපි හැමෝම ආසයි ආදරේ විඳින්න. පුංචි කාලේ ලැබෙන ආදරෙන් තමයි, අපේ ජීවිතේ හැමදෙම තීරණය වෙන්නේ. රටට ලෝකයට වැඩදායී පුද්ගලයෙක් වෙන්නත් නොවෙන්නත් ආදරේ ප්‍රබල සාධකයක් වෙනවා. ඉතින් ආදරේ කරන්න ආදරේ ලබන්න ඒ නිසා අපි හැමෝම කැමතියි. පුංචි පැටියෙක-ුට නම් මේ ආදරේ ලැබීම ගොඩාක් සුවිශේෂී වෙනවා. මොකද එයා සමාජයකට යන්න කළින් ලෝකය දකින්න කලින් එයාගේ මුළු ලෝකයම විදියට එයාට දැනෙන්නේ එයාගේ අම්මායි තාත්තායි. ඉතින් ඔබ දැනටමත් හිතනවා ඇති “මගේ පුංචි පැටියාට මං ගොඩාක් ආදරෙයි, මගේ ලෝකයම එයා කියලා…” ඒත් ඒ සිතිවිල්ල හිතේ ඇඳුනට ඇත්තටම පුංචි පැටියාට ඒක දැනෙනවා ඇති ද? ඉතින් මේ ලිපියෙන් කියන්නට යන්නේ ඔබේ පුංචි පැටියාට දැනෙන්න ආදරේ කරන විදි කිහිපයක් ගැනයි. ඔබත් මේ දේවල් කරලා තියෙනවද කියලා බලන්න.

  1. හැම වෙලාවකම ඔවුන්ගේ දෑස් දෙස බලන්න.

ඔබේ පුංචි පැටියාට ඔබට කතා කරන්න හදනවා නම්, නැත්නම් ඔබ ඔවුන්ට යමක් කියන්නට උත්සාහ කරනවා නම් ඔවුන්ගේ දෑස් දිහා බලාගෙන ඒ දේ අහන්න නැත්නම් කියන්න. ආදරේ ප්‍රබල විදියට දැනෙන මාධ්‍යක් විදියට අපේ ඇස් නම් කරන්න පුළුවන්. ඔබේ පුංචි පැටියාගේ ඇස්වල තියෙන අවංක පුංචි හැඟිම්වල හිර වුණු ආදරේ ඔබට දැක ගන්න පුළුවන් වගේ ම එයාලාට ඔබ ගැන ඔබට ඔවුන් ගැනත් ලොකු විශ්වාසයක් ගොඩ නඟා ගන්න ඒ ආදරේ හේතු වෙනවා.

  1. හිතින් විතරක් නෙමෙයි ගතින් දැනෙන්නත් ආදරේ කරමු.

ඔබ ඔබේ පොඩ්ඩට ගොඩාක් ආදරේ ඇති. ඒක මොනම දෙයකින්වත් තීරණය කරන්න, ප්‍රමාණය මෙච්චරයි කියන්න පුළුවන් ආදරයක් නම් නෙමෙයි. ඒත් ඒ ආදරේ දැනෙන්නට නම් ඔබ පුංචි පැටියට ඒ ආදරේ දැනෙන්න ඉඩ හරින්න ඕන. ඒක හිතින් විතරක් කරලා නම් බෑ. ගතින් පවා ඒ ආදරේ පෙන්නන්න ඕන. හැම වෙලාවම ඔබේ පොඩ්ඩා එක්ක කොහේ හරි යනවා නම් නැත්නම්, එයා ළඟින් ඉන්නවා නම්, එයාගේ අත්වලින් අල්ලගෙන ඉන්න, ඔඩොක්කුවෙන් තියාගෙන ඉන්න. ආදරේ තුළ ඇති විශ්වාසය ඒ විදියට ඔබේ පුංචි පැටියාට දැනෙන්නට ඉඩ හරින්න පුළුවන්. ඒක ගොඩාක් සුවිශේෂී වෙනවා.

  1. ඔවුන්ව ප්‍රංශසා කරන්න.

පුංචි පැටියෙකුට එයා ලබන හැම අත්දැකීමක් ම එයාගේ ජීවිතේ පළවෙනි අත්දැකීම් වෙනවා. සමහර විට ඔබ හොඳටම දන්නා දෙයක් ඔබට ඔවුන් කරලා පෙන්නවන්න පුළුවන්. ඒ වෙලාවට ඒ දේවල් ගණන් නොගෙන ඉන්න නම් එපා. ඔබ මොන වැඩේ යෙදීලා හිටියත් ඒ දෙයට ඔබේ අවධානය දෙන්න. ඒ කරපු දේවල්වලට ඔවුන්ට ප්‍රංශසා කරන්න. ඒක ගොඩාක් වටිනා දෙයක් වෙන බව නම් නිසැකයි.

  1. ඔබේ පොඩ්ඩාට, පොඩ්ඩිට ස්තූතියි කරන්න.

ඔබ කියන දෙයක් පුංචි පැටියා අහගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නවා නම්, ඒ දේවල් කියලා ඉවර වුණාම ඔබේ පුංචි පැටියාට ස්තූතියි කියලා කියන්න පුරුදු වෙන්න. එයාලා අතින් පුංචි හරි වැරැද්දක් වෙලා එයා ඒකට සමාව ඉල්ලුවාට පස්සේ ඒ දේ වෙනුවෙන් එයාට ස්තූතියි කියන්න පුරුදු වෙන්න. එයා සමාව ඉල්ලපු එක වටිනා බව එයාට කියලා දෙන්න. ඔවුන්ට ඔවුන් ගැන හොඳ හැඟීමක් ඇතිවෙන්නත්, එයාලාට ඔබ ගැන ඒ වගේ දෙයක් වුණාම විශ්වාසයක් පවා ගොඩ නැඟෙනවා.

  1. එකට ඉඳගෙන කතා කියවමු.

ඔබට පුංචි පැටියා එක්ක ගත කරන්න තියෙන හොඳම වෙලාව ගැන කියනවා නම් ඒ තමයි එකට ඉඳගෙන කතා පොතක් කියවන එක. ඔබට රාජකාරී කොයි තරම් තිබුණත් පුංචි පැටියා නින්දට යන්න මොහොතකට පෙර හරි එයාලා එක්ක කතාන්දරයක් කියවන්න පුරුදු වෙන්න. නැත්නම් කතාව ඔබ කැමැති චරිතයක් ගැන එයාලාට කියලා දෙන්න. එහෙමත් නැත්නම් නම් ඔවුන් කැමතිම චරිතයක් ගැන ඔවුන්ගෙන් අහන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද ඒක ඔබත් ඔබේ පුංචි පැටියා අතරත් හොඳ සංවාදයක් ඇති කරන්නත්, දෙදෙනා අතර අනිත් ඕනෑම දෙයක් ගැන කතා කරන්නත් වටපිටාවක් ගොඩ නැඟෙනවා.

  1. නින්දට යන වේලාව සුවිශේෂී කරගන්න.

ඔබේ පුංචි පැටියාට නින්දට යන වේලාව ඉතාමත් සුවිශේෂී වේලාවක්. ඒ වෙලාවට එදා දවස ගැන ඔබේ පුංචි පැටියා එක්ක කතා කරන්න හොඳම වෙලාවක්. එයාට ඒ දවසේ හොඳම මොහොත ගැන අහන්න, ඔබේ දවසේ හොඳම මොහොත ගැන එයාලා එක්ක කතා කරන්න. ඔබ දෙදෙනා අතර හොඳ සංවාදයක් නිතරම පවත්වා ගැනීමෙන් ඔබේ පුංචි පැටියාට ඔබ එක්ක බයක් නැතුව කතා කරන්න පුළුවන් හැඟීමක් ගොඩ නැඟෙනවා. එතකොට එයාලා කවදාවත් රහස් හංගාගෙන ඉන්න එකක් නෑ.

  1. ඔයාලා එක්ක එයාලාටත් කෑම උයන්න දෙමු.

වයසින් ටිකක් වැඩි පොඩ්ඩෙක් නම් ඔබට ඉන්නේ එයාලාටත් ඔයාලා එක්ක උයන්න දෙන්න. කැපෙන පිහි වගේ දේවල්වලින් කරන දේවල් නම් නෙමෙයි. එළවළු සෝදනවා වගේ දේවල් එයාලාට කරන්න දෙන්න. එකෙන් ඔබේ පුංචි පැටියා සහයෝගයෙන් ඉන්න එක ගැන ඉගෙන ගනිවී. ඒ වගේ ම හරිම විනෝදයෙන් ගත කරන්න පුළුවන් අවස්ථාවක් වෙයි.

  1. එයාලාට උගන්වන්න.

ඔබේ පුංචි පැටියාගේ ජීවිතේ පළමු ගුරුවරුවන් වන්නේ ඔබයි. එයාලා හැමවෙලාවම අලුත් දෙයක් උගන්වන්න බලන්න. ඒ කියන්නේ ඔබේ ස්මාර්ට් දුරකථනය භාවිත කිරීම, පරිගණකය භාවිත කිරීම වගේ දේවල් නෙමෙයි. පොතක තියෙන දෙයක්, ගස් ගැන, මල් ගැන, සත්තු ගැන වගේ දේවල් එයාලාට කියලා දෙන්න. ඒ කතා කරන වෙලාවට ඒ තැන්වලට ගිහින් කතා කරන්න. ඇවිදින ගමන් ක්‍රියාකාරකමක යෙදීලා ඉන්න ගමන් ඒ දේවල් ගැන කතා කරන්න. ඔබේ රැකියාව ගැන එයාලාට කියලා දෙන්න. එකෙන් ඔබේ පුංචි පැටියාට ඔබටත් නොදැනීම ජීවිතේ සමහර දේවල් ගැන අවබෝධයක් ලබා ගනී. එයාලාට එනතුරක් වෙන දේවල් ගැන එයාලාට කියලා දෙන එකෙන් එයාලාට තුවාල වෙන්න තියෙන අවස්ථා හැමදේම නැතිවෙයි.

  1. සාමාන්‍ය විදියෙන් පිට පැනලා අලුත් දෙයක් කරමු.

හැමදාම එකම දේවල් ඔබේ පුංචි පැටියා එක්ක නොකර විවිධ දේවල් කරමු. උදාහරණයක් විදියට රාත්‍රී කෑම ගන්න එකම විදියකට නම් ඒක වෙනස් විදියට කරමු. කෑම පිළිගන්වන විදිය, කෑම බෙදා ආකාරය පවා වෙනස් කරලා එයාලාව පුදුම කරවන්න. ඔබේ පොඩ්ඩා ඒකට ගොඩාක් කැමැති වෙයි. ඒක ඔබේ ආදරේ වෙනස් ම විදියකට පෙන්වන්න තියෙන හොඳම අවස්ථාවක් කියලාත් කියන්න පුළුවන්.

  1. ඔබේ වටිනාම දේ ඔවුන් බව දැනෙන්නට හරින්න.

ඔබේ පුංචි පැටියාට කොයි තරම් ආදරේ ද කියලා ඔබේ හිත හොඳටම දන්නවා. ඒත් ඒක ඔබේ පුංචි පැටියාට දැනෙන්ට ඔබ ඉඩ හරින්න ඕන. ඔබ රාජකාරී අවසන් කරලා එයාලා එක්ක කාලය ගත කරන්න කොයි තරම් ආසායි ද කියලා එයාලාට කියන්න. ඔබ ඔබේ පුංචි පැංචා ගැනත් පැංචි ගැනත් දකින හීන ගැන එයාලාට කියන්න. ඔබ කොයි තරම් එයාලාට ආදරේ කියලා එයාලාට කියන්න. එයාලාට ඔබේ ආදරේ දැනෙන්නට ඉඩ හරින්න.

  1. එකට එකතු වෙලා සෙල්ලම් කරමු.

ඔබට ඔබේ පුංචි පැටියා එක්ක කාලය ගත කරන්න තියෙන තවත් හොඳම අවස්ථාවක් තමයි එයාලා එක්ක සෙල්ලම් කරන එක. ඔබේ පුංචි පැටියා ගොඩාක් වෙලාවට සිහින ලෝකයක් හදා ගෙන ඒක ඇතුළේ සෙල්ලම් කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබත් එයාලා එක්ක ඒ සිහින ලෝකයේ කොටසක් වෙලා සෙල්ලම් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. එයාලා කරන සෙල්ලම් ගැන එයාලාගෙන් අහන්න. ඔබත් ඒවාට සම්බන්ධ වෙන්න. ඒක ආදරේ බෙදා හදා ගන්න අවබෝධයක් හදා ගන්න තියෙන හොඳම අවස්ථාවක් විදියට කියන්න පුළුවන්.

  1. එයාලාට කතාන්දර කියන්න, ඔබ ඒ ගැන අසා සිටින්න.

පුංචි පැටියෙක් නිදි කරවන කොට අපි කතාන්දර කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඔබ ඔබේ පොඩ්ඩට කවදාවත් කතාන්දරයක් කියන්න අවස්ථාවක් දීලා තියෙනවා ද? ඒ නිසා ඔබ ඔවුන්ටත් කතාන්දරයක් කියන්න කියලා පොළඹවන්න. පුංචි සිතිවිලි හරියට ගලපගන්න බැරි වුණත් කැඩී කැඩී කියන වචනවලින් එයාලා කියන කතාව කුතුහලයෙන් අහගෙන ඉන්න බව පෙන්වන්න. පුංචි පුංචි ප්‍රශ්න අහන්න. ඒක එයාලාගේ ජීවිතේ නිර්මාණාත්මක බව හදා ගන්න කරන උදව්වක් වගේ ම, එයාලා කියන දෙයක් අපි අහන්න සුදානම් කියලා පෙන්වන්න තියෙන හොඳම අවස්ථාවක්.

  1. එයාලාව නිතරම ධෛර්මත් කරන්න, නිතරම එයාලාව පොළඹවන්න.

නිතරම එයාලාගේ හීන ගැන අහන්න, එයාලා යමක් කරනවා නම් අවධානයෙන් ඒ ගැන එයාලාගෙන් අහන්න. වැරැදි දෙයක් නම් නෙමෙයි හොඳ දෙයක් කරන්න හැම වෙලාවෙම එයාලාව පොළඹවන්න. එයාලාගේ හීන ගැන අහලා ඔබෙන් ඒ හීනවලට එයාලාට යන්න තියෙන පාර විවෘත කරලා දෙන්න. එයාලාව ධෛර්මත් කරන්න. එහෙම කරන හැම වෙලාවකම එයාලාගේ හීතේ ඇඳෙනවා ඔයාලාගේ ආදරේ. දවසක එයාලාගේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් ඔබ එයාලා එක්ක හැමදාම හිටපු විදියට එයාලාට මතක් වෙයි. ඔබේ ධෛර්ය කිරීම් එයාලාට මතක් වෙයි. ඒ නිසා හැම වෙලාවකම එයාලව දිරිමත් කරන්න. ඒක ගොඩාක් වටිනවා. ඔබේ පොඩ්ඩාට පොඩ්ඩිට එයාලාගේ ජීවිතේ හදා ගන්නත් ලොකු හයියක් වෙයි ඒක.

  1. ඔබේ බැඳිම්, ඔබේ සංස්කෘතිය පුංචි පැටියාටත් පුරුදු කරමු.

පවුල කියන හරිම අපුරු බැඳීමක්. මේ පවුල තුළත් බැඳීම් සංස්කෘතියන් තියෙනවා. ඒවා ඔබේ පුංචි පැටියාට පුරුදු කරන්න. ඒවා තුළ ඇති හොඳ දේවල් ගැන එයාලාට අවබෝධයක් ලබා දෙන්න. ඒවා තුළින් ජීවිතේ හදා ගන්න එකත් අනf්‍යා්න්‍ය සම්බන්ධතා ගොඩ නඟා ගන්න හැටිත් එයාලාට අවබෝධ කරලා දෙන්න. පවුලක් විදියට එකිනෙකා එකට ඉන්න එකෙන් ප්‍රශ්න, අමාරු අවස්ථාවල දී එකට ඉන්න එක ගැන එයාලාට කියලා දෙන්න. ඒක ඔබේ පුංචි පැටියාට හොඳ ජීවිතයක් ගොඩ නඟා ගන්න විශාල උපකාරයක් වෙනවා නිසැකයි.

ඔබේ ආදරේ පුංචි පැටියාට පෙන්වන්න, සෙල්ලම්බඩු, ඇඳුම් පැළඳුම් අරන් දෙනවා වගේ ම මේ විදියටත් එයාලාට ඔබේ ආදරේ පෙන්වන්න. එයාලා ඔබෙන් කවදාවත් වෙන්වෙන එකක්වත්, නරක ඇසුරකට පත්වෙන්නේවත් නැති වෙයි. මොකද මේ ඉහත කී විදියට ආදරේ කරන කොට ඔබ ගැන ඔබේ ආදරේ ගැන පුංචි හිත් තුළ විශාල විශ්වාසයක් ගොඩ නැඟෙන නිසායි. ආදරේ සැබෑවටම විඳින්න ඔබේ පුංචි පැටියාටත් කියලා දෙන්න. එයාව සමාජයේ රටේ ලෝකයේ වඩාත් වැඩදායී පුද්ගලයෙක-ු කරන්න ඔබටත් ඉන් හැකියාවත් ලැබෙයි.

Huffpost වෙබ් අඩවිය ඇසුරිණි.
සංජේ රණවක