free stats

මවක් කියන්නෙම යුතුකම් වගකීම් වලින් පිරුණු චරිතයක්. තරුණියකගේ චරිතයට පණ පොවද්දි නම් හිතේ තියෙන්නෙම තමන්ගේ ලස්සන රැකගන්නෙ කොහොමද කියන කාරණය විතරයි. නමුත් ඒ තරුණියම මව් පදවිය ලබනකොට හිතේ පිරිලා තිබුන හැම ආසාවකටම සමුදෙන්නේ කිසිම අකමැත්තකින් නෙවෙයි. දරුවන් වෙනුවෙන් කරන මේ පරිත්‍යාගයන් නිසාම තමයි ලොව පවතින උත්තරීතර පදවිය මව් පදවිය කියලා නම් කරලා තියෙන්නෙ.

මව් පදවිය ලබන්න කලින් හැම කාන්තාවක්ම වැඩිපුර උනන්දුවක් දක්වන්නේ තමන්ගේ ශරීරය සහ සම ගැන. සමේ සුන්දරත්වය රැකගන්න බොහෝමයක් කාන්තාවන් විවිධ ආලේපන වගේම බෙහෙත් වර්ග පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වුණ මෙවැනි නිෂ්පාදනයන් ගර්භණී සමය තුළ කොහෙත්ම භාවිතයට සුදුසු වන්නේ නම් නැහැ.

බොහෝමයක් කාන්තාවන් හිරු රශ්මියෙන් තමන්ගේ සම රැකගන්න හිතාගෙන භාවිතා කරන Sunscreen වැනි ආලේපන වර්ග ගර්භනී සමය තුළ පාවිච්චි නොකරන තරමටම හොදයි. මෙයට ප්‍රධානම හේතුව වෙන්නෙ හිරු රශ්මියෙ ආරක්ෂා කර සම පැහැපත්ව තබා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය මෙම ආලේපන නිෂ්පාදනය කරන්න යොදාගැනීම. මෙවැනි රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ලද ආලේපන වර්ග ගර්භණී සමය තුළ භාවිතා කිරීමෙන් වැලකී සිටීම තමයි ගොඩක්ම සුදුසු.

ගර්භණී මවක් මතකයේ තබා ගතයුතුම තවත් කාරණයක් තියනවා.ඒ තමයි මේ කාලය තුළ ඔබට විවිධ උත්සව අවස්තාවන්ට සහභාගි වීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙවැනි අවස්තා වල ගර්භනී මවක් ඉතාම සරල ඇදුමින් සහ සරල රූපලාවණ්‍ය කටයුතු වලින් සැරසීම අතවශ්‍යයි. මවක් වෙන්න කලින් තමන්ගේ ලස්සන වැඩි වෙන්න කරන හැමදෙයක්ම ගර්භණී මවක් විදිහට උත්සව අවස්ථාවකට සහභාගි වෙන්න ඉන්න අය නම් කිරීම සුදුසු වෙන්නෙ නැහැ.මෙයට හේතුව තමයි මෙවැනි අවස්ථාවල ඔබ යොදාගන්නා Makeup වර්ග විවිධ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කිරීම.

ඒ වගේම රසායනික ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන Hair Straightening Treatments වලින් සම්පූර්ණයෙන්ම බැහැරවිය යුතුයි.ඒ වගේම නිය සහ තොල් ආලේපන කිසිවක් මේ කාලය තුළ ආලේපනය නොකර සිටීම වඩාත් සුදුසුයි.ඔබ මවක් වෙන්න කලින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට විවිධ ආලේපන යොදාගැනීමට පුරුදු වී සිටි කෙනෙක් නම් ගර්භනී සමය තුළ මෙවැනි දේ කිරීමෙන් බැහැරව සිටීම මවගේත් දරුවාගේත් සෞඛ්‍යයට හිතකර වෙනවා.

කිසිදු ආලේපනයක් යොදානොගෙන කරන Eyebrows Threading කිරීම ගර්භනී සමය තුළ සුදුසු වන්නේ නැහැ.එයට හේතුව තමයි මෙය සිදුකිරීමේදී ඇතිවෙන සියුම් වේදනාව මවටත් දරුවාටත් නුසුදුසු වීම. ඔබ ගර්භනී සමය තුළ රූපලාවණ්‍යගාර වෙත යොමු නොවීම ඉතාම ආරක්ෂාකාරී පියවරක්. එවැනි ස්ථාන වල රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් රූපලාවණ්‍ය කටයුතු සිදුකරන නිසා වාතය ආශ්වාස කිරීමේදී ඇතුලු‍ වන අහිතකර වායු ඔබට හානි කර විය හැකියි.

ගර්භනී සමය තුළ බොහෝමයක් මව්වරු රැකියාවල නිරත වීම වර්තමානයේ සාමාන්‍ය දෙයක්. විවිධ රැකියාවල නිරත වෙන මව්වරුන් තමන්ගේ රැකියා ස්ථානය වෙත යන්නෙ පොදු ප්‍රවාහන සේවාවල.මේ නිසා ඔවුන් නිරන්තරයෙන් විෂබීජ සහ විෂ වායු වලට නිරාවරණය වී තිබීම අහිතකර තත්ත්වයක්.විශේෂයෙන් රැකියාවල නිරත වන ගර්භනී මව්වරු ඔවුන්ගේ පිරිසිදු බව පිලිබදව අවදියෙන් සිටිය යුතුයි.රැකියාවල නිරතවන ගර්භනී මව්වරු අධික වෙහෙසට පත් නොවී සිටීමට ද වග බලාගත යුතු වන්නේ එයින් තමන්ගේ කුසේ වර්ධනය වන දරුවාගේ සෞඛ්‍ය ත්ත්වයට යම්කිසි බලපෑමක් ඇතිවීමට ඇති හැකියාව වැඩි නිසය

ගර්භනී මවක් ලෙස ඔබ රැකියාවල නිරත වීමේදී ඔබ ඉතාම පහසු ගර්භනී ඇදුමකින් සැරසී සිටීම අනිවාර්යයි.ඒ වගේම ඔබ පලදින පාවහන් පැතලි අඩි සහිත පාවහන් වීම ඔබට ඉතාම පහසුවක් වේවී.මෙම අවධියේදී ඔබ කොයිතරම් කාර්යබහුල වුවත් ඔබ ගත යුතු ආහාරවේල් නිසි වෙලාවට ලබාගත යුතුයි.ඒ වගේම එම ආහාර අතරට ක්ෂණික ආහාර අඩංගු නොවීම ඉතාම වැදගත් වෙනවා.මාස නවයක ගර්භනී සමය තුළ මවකගේ සුන්දරත්වය රැදී තිබෙන්නේ ඇයගේ චාම් බවත් එක්කමයි.මේ කාලය තුළ මවගේ ආරක්ෂාවීම දරුවාගේ ආරක්ෂාව සලසනවා.

සටහන මල්ෂා නානායක්කාර