free stats

කාන්තාවන් විවිධ වයස් මට්ටම්වලදී වැඩිවියට පත්වීම සිදුවන අතර වැඩිවියට පත් වීමත් සමඟම ඩිම්බ පිටවීම හෙවත් ඔසප් වීම ආරම්භ වේ. පළමු ඔසප් වීමේ පටන් සෑම මසකම යම් නියම්ත දිනයකදී ඇයගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් දින තුනත් පහත් අතර කාලයක් ඔසප් චක්‍රය පැවතිය හැකියි. මසකට වරක් ලෙස පැවසුවද නිවැරදිව ගණනය කර බැලුවිට ඔසප් වීම සිදුවන්නේ දින විසිඅටකට වරකි.

   කාන්තාවක් උපදින විටම ගර්භාෂයේ යම්  ඩිම්බ ප්‍රමාණයක් අන්තර්ගත වන අතර වැඩිවියට පත් වු දින පටන් සෑම ඔසප් දිනකම එක බැගින් පිටවෙමින් එම ප්‍රමාණය අවසන් වේ. විශේෂත්වය වන්නේ අවසන් වන ඩිම්බයට නැවත ඩිම්බ වර්ධනය නොවීමයි. මේ නිසාම ඔසප් වීමේ ක්‍රියාවලිය වයස අවුරුදු හතලිස් පහ ත් පනහ ත් අතර කාලසීමාවේදී අවසන් වේ. ඉතාම සුළු පිරිසකට පමණක් වයස අවුරුදු හතලිහට පෙර ඔසප් චක්‍රය අවසන් වීමට ඉඩ තිබේ.

 එක දිගට ස්ථිරව වසරක කාලයක් මෙලෙස ඔසප් චක්‍රය ක්‍රියාත්මක නොවීම (පැබදච්මිැ) ආර්තවහරණය ලෙස හැදින්වේ. ඔසප් චක්‍රය අවසන් වීමත් සමග ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ශ්‍රාවය වීමත් අවසන්වේ. එය කාන්තාවන්ට විවිධ රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවකි. කාන්තාවන් අතර  බහුලව දක්නට ලැබෙන ඔස්ටියෝපොරොසිස් , හෘද රෝග , දියවැඩියාව , අධික  තරබාරුව සහ පිළිකා රෝග ඇතිවීම මේ කාලයේ දී වැඩි වශයෙන්  දැකිය හැකිය. 

සමෙහි නිරෝගි බවට මෙම හෝර්මෝන වැදගත් වේ. විශේෂයෙන් කාන්තාවන්ගෙ සමේහි තරුණබව රැක ගැනීමට උපකාරි වන්නේ ප්‍රෝජෙස්ටරෝන් හෝර්මෝනයයි . තරුණ වයසේ පසුවන කාන්තාවකගේ තිබෙන සුමුදු නීරෝගි සම වයසට යාමත් සමඟ වෙනස් වන්නට පටන් ගන්නේ වයසත් සමගම හෝර්මෝන ක්‍ෂය වීමට පටන් ගැනීම නිසයි. මේ නිසා මෙතෙක් නිරෝගිව පැවති සම රැළි වැටීම, සමෙන් දුර්ගන්ධයක් මතුවිම, ආදී ලක්ෂණ ඉන් අනතුරුව මතුවේ.

මීට අමතරව පියයුරු කුඩාවීම හා කැක්කුම, උදරයේ මේද තැම්පත් වීම, ආදී ලක්ෂණ මතුවන්නට පුලුවන්. මුඛයේ වෙනස්කම් ඇතිවීමද මෙකල දැකිය හැකියි. එනම් කට වියලීම, රස නොදැනීම, දත් දිරායාම, මුඛයෙන් අසාමාන්‍ය දුර්ගන්ධයක් මතුවීම ආදී ලක්ෂණ බහුල වේ. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන වියලි බව සහ ඇදීමේ ස්භාවය අඩුවීම නිසා ලිංගික ආශාව හීන වේ. මුත්‍රා රෝග බහුල වේ. කහින විට මුත්‍රා පිටවීම , නින්දේ දී මුත්‍රා පිටවීම සහ නොදැනුවත්ව මුත්‍රා පිටවීම මුත්‍රා රෝග අතර ප්‍රධානය.

මෙරට ජනයාගේ ආයුකාලය සලකා බැලු විට සාමාන්‍යයෙන් කාන්තාවක් වයස අවුරුදු හැත්තෑ අටක් පමණ කාලයක් ජිවත් වේ. ඒ අනුව වයස අවුරුදු පනහේ දී පමණ ඔසප් චක්‍රය අවසන් කරන කාන්තාවක් තම ආයුකාලයෙන් වසර විසි අටක් පමණ කාලයක් ආර්තවහරණ කාල පරිච්ඡෙදයක් ගතකරයි. මේ කාලසිමාව තුල ඇයට මානසික ආතතිය , විශාදය , අමතක වීම , නින්ද පවත්වාගෙන යාමට අපහසු වීම පමණක් නොව ඇල්සයිමර් රෝගය පවා වැලදිය හැකියි. ආර්තවහරණය සමග එන හොර්මෝන වෙනස් වීම එයට හේතුව සේ සැලකේ.

මේ අනුව සෑම කාන්තාවක්ම ආර්තවහරණයේ මුලික ලක්ෂණ හදුනාගැනීම ඉතාම වැදගත්ය. එම වයස් සිමාවේදී එක්වරම ඔසප් චක්‍රය දීර්ඝවීම හෝ කෙටි වීම , අධික රුධිර වහනය , අක්‍රමවත් රුධිර වහනය , අධික ලෙස දහදිය දැමීම , මුහුණ රත්වීම ආදී ලක්ෂණ මතුවේ නම් ඒ ඔසප් චක්‍රය අවසන් වීමේ ආරම්භය බව කිව හැකිය.

ආර්තවහරණය වීමත් සමඟ එන මෙවැනි රෝග සඳහා හොදම ප්‍රතිකාර ක්‍රමය වන්නේ හෝර්මෝන ප්‍රතිකාරයයි. වෛi උපදෙස් මත හෝර්මෝන පෙති, සමට ඇතුල් කරන කරල් හෝ එන්නත් ලෙස හෝර්මෝන ප්‍රතිකාර ලබාගත හැකිය. සමේ වියළි බව මඟහරවා ගැනීම සඳහා සුදුසු ජෙල් වර්ග ගැල්වීම සුදුසු වේ. මෙම සෑම ප්‍රතිකාරයක්ම ආර්තවහරණය සිදුවී පළමු වසර දහය ඇතුලත හෝ වයස අවුරුදු 60 වනවිට ලබාගත යුතුය.

මෙතෙක් ගතකල ජීවන රටාව වෙනස්කල හැකිනම් ඒ තුලින් අපූරු ප්‍රතිපල ලගාකරගත හැකිය. නිසි පරිදි ව්‍යායාමවල නිරත වීම ඉන් ප්‍රධානය. දිනකට පැය කිහිපයක් ව්‍යායාම සඳහා වෙන්කල හැකිනම් එයින් බෝ නොවන වැළදීම වැලැක්වේ. සමබල ආහාර වේලක් ගැනීම සහ හොඳින් ජලය පානය කිරීම අධික තරබාරුව, සම වියලීම පාලනයට උපකාරි වේ. යෝනි මාර්ගයේ වියලි බව නිසා එන කැසීම් සහ වේදනාවන්ට වෛද්‍ය උපදෙස් මත ආලේපනයක් ගැල්වීම සුදුසුය.

වයස්ගත වීමත් සමග එන පිළිකා රෝග වලක්වා ගැනීම සඳහා රෝග කලින් හදුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමුවිය හැක. ඕනෑම රජයේ රෝහලක පවත්වන ස්ත්‍රි රෝග සායන හරහා පැප් පරික්ෂාව සහ පියයුරු පරික්ෂාව සිදුකර ගැනීමෙන් ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා වලක්වාගත හැකිවේ.

ශ්‍රී ලංකා ආර්තවහරණ සංගමයේ සභාපති
වෛද්‍ය
මංගල දිසානායක
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
කේතුමති මාතෘ රෝහල
පානදුර.