free stats

අලුත උපන් බිළිදෙක් ඉන්න ගෙදරක සතුට දෝරේ ගලනවා වගේ ම හැමෝගේම සිත්වල ප්‍රශ්න නම් මහ ගොඩයි. අලුත උපන් පුංචි බබාට කරන්න පුලුවන් හොඳම දේ කොහොම ද කරන්නේ කියලා තෝරා බේරා ගන්න එක ගැටලුවක්. කාගෙන් ද මේ ගැන අහන්නේ.

ඉස්සර නම් අපි මෙහෙමයි, දැන් කාලේ හුඟක් වෙනස වෙලානේ.”

වැඩිහිටියන්ගෙන් නැගෙන චෝදනාවක් තමයි ඒ. නමුත් ඒ කාලෙයි මේ කාලෙයි කියලා වැඩ කරන විදිය වෙනසක් වුණාට අපි අතර තිබුනු සෙනෙහස හෝ බැඳීම් වෙනස් වෙලා නැහැ. අන්න ඒ නිසා අලුත උපන් දරුවෙක් වෙනුවෙන් වගේම ඒ උපත දුන් අම්මා වෙනුවෙන් පවුලේ අය අතින් ඉටුවිය යුතු යුතුකම් රාශියක් ම තියෙනවා.

මේ උපත දුන්නෙ කී වෙනි දරුවට වුණත් ඒ අත්දැකීම අලුත් එකක්. ඒ අලුත් දරු උපතක්. හැම මොහොතකම වෙනස් වෙන අතිශය වේදනාකාරි ක්‍රියාවලියක අවසාන ප්‍රතිපලය තමයි දරු උපතක් කියන්නේ. මේ මොහොත හරිම සුන්දරයි. අම්මා අතට දරුවා ලැබුණට පස්සේ ඇගේ සියලු වේදනා පහ වෙලා යනවා. නමුත් අපි දරුවා ගැන හිතලා සතුටු වෙනවා වගේම ඒ දරු පැටියා නිවසට පැමිණිමේ සතුට සමරනවා වගේම අම්මා ගැනත් හිතන්න වෙනවා.

නමුත් හුඟක් වෙලාවට පළමු දරු ප්‍රසුතියේ දි මව ගැන දක්වන අවධානය දෙවන තුන්වන දරු ප්‍රසුතියෙ දි ඒ මවට ලැබෙන්නේ නැහැ. එය සම්පුර්ණ වරදක්. ගෙදර අය හිතන්නේ පළමු දරු ප්‍රසුතියෙන් ඇයට අත්දැකීම් තිබෙන නිසා ඉන්පසු සිදුවන දරු ප්‍රසුතියකදි ඇයට උදව් අවශ්‍ය නොවන බවයි. දරු ප්‍රසුතියකින් පසුව අම්මා කෙනෙක් කායික සහ මානසික වශයෙන් විශාල වෙනසකට ලක් වෙන බව කවුරුත් දන්න දෙයක්. මේ සියලු වේදනා විද දරාගන්නට ඇයට කායිකව හා මානසිකව ලොකු ශක්තියක් අවශ්‍යයි. මේ ශක්තිය ලබා ගන්න නිවසේ ඉන්න අයගෙන් ඇයට උදව් අවශ්‍යයි.

නිවසේ සිටින අනෙක් වැඩිහිටි දරුවාගේ වගකීම්, අලුත් දරුවාගේ වගකීම්, ඒ වගේ ම කාන්තාවක් වශයෙන් ඇයට නිවස තුළ පැවරෙන කාර්යයන් නිසාම ඇය වෙහෙසට පත් වෙනවා. ඒ නිසා දරු උපත් කිහිපයකට මුහුණ දුන් මවකට වුණත් අලුත් දරු උපතකින් පසු සැමියා ඇතුලු නිවසේ ඉන්න අනිත් අයගෙන් උදව් අවශ්‍යයි.

මවට මානසිකව සහනයක් සැලසීමට කටයුතු කිරිම පිය පාර්ශවයෙ මුලික වගකීමක්. ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ ඇය ගේ වැඩ කටයුතුවලට සහය වීමයි. ඇයගේ කාර්යයන් ප්‍රමාණයෙන් ඇයව නිදහස් කරන්න පුලුවන් වඩාත් හොඳයි. ගෙදර උයන පිහන කටයුතු රෙදි සෝදන එක අනිත් අයට බෙදාගන්න පුලුවන්. ගෙදර ලොකු බබෙක් ඉන්නවා නම් ඒ බබාව ගෙදර අනිත් අයට බලාගන්න පුලුවන් නම් එය අම්මට පහසුවක්. අලුත උපන් බබා ගේ වැඩ කටයුතුවලින් පස්සේ අම්ම ට පොඩි විවේකයක් ලැබෙනවා නම් එය ඇයට ලැබෙන ලොකු සහනයක් බව අනෙක් අය අවබෝධ කරගැනීම වඩාත් වටිනවා.