free stats

රත්තරන් පැටියා දැන් රෝහලෙන් ගෙදරට ඇවිල්ලා. එයා තවම ඉන්නේ අලුත් පරිසරයකට හුරුවෙන ගමන්. එයාට තවම මේ අලුත් පරිසරය ඇහෙන විවිධ හඬවල් හමන සුලඟ අමුතුම අත්දැකීමක්. මේ දවස්වල පැටියව හොදින් රැකබලාගන්න එක අම්මාගේ වගකීමක් වෙනවා. කොහොම වුණත් පැටියට තියෙන්නේ බොහොම සෞම්‍ය සුමුදු සමක් කියන එක නම් අමතක කරන්න එපා. මොකද පැටියගේ සමට සිදුවෙන හානියක් එයාගේ මුලු ජිවිත කාලයටම අනිසි විදියට බලපාන්න පුලුවන්. විශේෂයෙන්ම පැටියගේ සමට හානි වෙන්නේ බාහිර පරිසයෙන්. දුහුවිලි කුණු රැඳුනු සුළඟ සිතල පරිසරය අව්ව පැටියගේ සමට ඒ තරම්ම හිතකර නැහැ.

අන්න ඒ නිසාම පැටියා වෙනුවෙන්ම නිර්දේශිත ක්‍රිම් වර්ගයක් තෝරාගන්න සිදුවෙනවා. වෙළදපලේ මොනතරම් ක්‍රිම් වර්ග තිබුණත් නිවැරදිම ක්‍රිම් වර්ගය තොරාගන්නට අම්මා සැලකිලිමත් විය යුතුයි. නැත්නම් වැරදි ක්‍රිම් වර්ගයක් නිසා පැටියගේ සමට හානියක් වෙන්න පුලුවන්. සමහර ක්‍රිම් වර්ගවල සමට අහිතකර බ්ලීච් වර්ග පවා අඩංගු වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ගේ සමට ගැලපෙන ක්‍රිම් වර්ග පුංචි පැටවුන් ගේ සමට ගැලපෙන්නෙත් නැහැ. මෙතැනදි P.Hය අගය ඉතාම වැදගත් තැනක් ගන්නවා. P.Hය අගය කියන්නේ ඕනෑම ද්‍රව්‍යක අඩංගු වන හයිඩ්‍රජන් ප්‍රමාණයයි. ඒ අනුව ඕනෑම ද්‍රව්‍යයක ආම්ලික බව හා ආම්ලික නොවන බව (භාෂ්මික බව) මෙයින් පෙන්වා දෙනවා. පැටවුන් ගේ සමට නිර්දේශිත ක්‍රිම් වර්ග නිෂ්පාදනය කරන්නේ බිලිදු සමටම ගැලපෙන P.Hය අගයකින් යුක්තවයි. ඒ නිසාම එවැනි P.H (5.5) අගයක් සහිත ක්‍රිම් වර්ගයක්ම තෝරාගැනීම වැදගත්. පැටියාගේ සම සඳහාම නිර්දේශිත ඕනෑම නිෂ්පාදනයක මෙම P.Hය අගය සදහන් කර තිබෙනවා.

ඒ වගේ ම පැටියාගේ සමේ ගල්වන ක්‍රිම් ප්‍රමාණයත් ඉතාම වැදගත් වනවා. මොකද පුංචි පැටියට ක්‍රිම් හුගක් ගාන්න ඕන වෙන්නේ නැහැ. පැටියගේ සම මතුපිට අත් පා නැවෙන තැන්වල කිසිලි ඉකිලිවල ක්‍රිම් රැදිලා තියෙන්න ඉඩහරින්න එපා. එයාට ක්‍රිම් සුලු ප්‍රමාණයක් ඇති. අම්මාගේ අත් දෙකට ක්‍රිම් අරගෙන හොදින් පිරිමැදලා පැටියගේ අත් පා සහ උදරයේ ගැල්වීම වඩාත් සුදුසුයි. එයින් පස්සේ ටික වේලාවක් යනතුරු පැටියගේ අත් පා හොදින් පිරිමදින්න. පැටියා නාවලා ඉවරවුනු ගමන්ම හොදින් තෙත මාත්තු කරලා පැටියාගේ ඇග පුරාම ක්‍රිම් ගාන එක වඩාත් සුදුසුයි. වතුර තියෙන විටම ක්‍රිම් ගැල්වීම සමට හොද නැහැ.

මිලට ගන්නා සෑම වෙලාවකම හොද වෙළද නාමයක් සහිත ක්‍රිම් වර්ගයක්ම තොරා ගැනීම ඉතාම වැදගත් වනවා. එයින් ඔබේ විශ්වාසය පලුදු වන්නේ නැහැ. ඒ වගේම ක්‍රිම් ස්වල්පයක් අත්ලට ගත්විට දැනෙන මෘදු බව, සනිපවත් බව ආදිය හොද ක්‍රිම් වර්ගයක් හදුනාගත හැකි ලක්ෂණයි. පැටවුන් සදහාම නිෂ්පාදිත ක්‍රිම් වර්ගවලින් පැටියට නැවුම් සුමුදු බවක් ලැබෙනවා. ඒ නිසාම පැටියා දවස පුරාම සතුටින් නිදහසෙන් ඉන්නවා දකින්න පුලුවන්.