විශේෂයෙන්ම මෙතනදී මම කියන්න උත්සහ ගත්තේ ඔබ අලුත උපන් චූටියාව ගෙදර එක්ක එන්න කලින් බිළිඳාව තබන කාමරය හෝ නිවසේ වෙන්කරගත් ස්ථායක් සූදානම් කරනවා නේද? අන්න ඒ පිළිබඳවයි. දරුවා ලැබෙන්න ආසන්න වෙන කොට තමයි අපේ අම්මාලා මේ දේවල් සූදානම කරන්නේ. කමක් නැහැ කල් ඇතිව සූදානම කළොත් දරුවා ලැබෙන්න ලංවෙනකොට අපිරිසිදු වෙන්න පුළුවන්. කොහොම නමුත් එසේ සූදානම් කරන ස්ථානය හිරු එළිය වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක් වෙන්න ඕනේ. ඒ වගේමයි දූවිළි පිසදාලා මකුළුදැල් කඩලා විසබිජ නාශක දියරයකින් ගෙබිම පිරිසිදු කරලා හොඳින් සුද්ද කරන්න. එහෙම නැතිනම් සබන් යොදා පිරිසිදු වතුරෙන් සෝදන්න. නැත්නම් ඔබේ දරුවා කිල්ලට අහුවෙන්න පුළුවන්. කිල්ල කියලා අපේ වැඩිහිටියන් කියන්නේ මේ කුණු දූවිලි සමග එකට ජීවත්වන රෝගකාරක විසබීජ වලටයි.
අන්වීක්ෂයක් ආදාරයෙන් බැලූවිට අපිට මේ කුණු දූවිළි එක්ක රෝගකාරක විසබීජ දැක ගන්න පුළුවන්. ඒවා ඔබේ දරුවාට කුමන තරාතිරමක රෝගයක් ඇතිකරයි ද කියලා කියන්න බැහැ. ඒක සුළු රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් බරපතල රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් අපි රෝගකාරයකයක් විසබීජ සියල්ලම විනාශ කරලා දරුවාට පිරිසිදු පරිසරයක් සකස් කර දෙනවා නම් විෂබීජ වලට හෝ කිල්ලට දරුවා ගොඳුරු වෙන්නේ නැහැ.
තවත් දෙයක් තමයි බිළිඳා තබන කාමරයේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කටයුතු කරන්න. පරණ සෙරප්පු පත්තර පොත් රෙදි ලීබඩු වගේ දේවල් ඉවත් කරන්න. මොකද ඔය පරණ දේවල් නිතරම අස්පස් වෙන්නේ නැති නිසා දූවිලි විසබීජ විශාල වශයෙන් ඒවායේ රැදී සිටින්න පුළුවන්. යම් හේතුවකින් විසබීජ මොනවා හරි කාමරයේ තිබිලා චූටියාට යම් රෝගී තත්ත්වයක් ඇති කළොත් ඒක සුළු දෙයක් හෝ බරපතල දෙයක් වෙන්න පුළුවන්. ඉතිං අපිට ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් ඇයි අපි බරපතල තත්ත්වයන් බවට පත්කර ගන්නේ.
මෙසේ පිරිසිදු කරන කාමරයට යම් විටෙක ඔබ තීන්ත ආලේපනයක් කරන්නේ නම් එය කහපැහැති වර්ණයක් නොවිය යුතුයි. ඒ වගේමයි තිරරෙදි ඇද ඇතිරිළි වගේ දේවල් දානවිට ඒවා කහපැහැය හෝ කහපැහැයට හුරු ඒවා නොවන්න ඕනේ. ඒ වගේමයි චූටියාව තබන කාමරයට කහ පැහැති විදුලි බල්බ දමන්නත් හොඳ නැහැ. එයට හේතුව තමයි දරුවා කහපැහැ ගැනුනොත් ඒ ගැන හරියමට අම්මාට නිරික්ෂණයන කරන්න බැරිවෙනවා. දරුවාට අවශ්‍ය තරම් මව්කිරි ලැබුණේ නැතිනම් කහපැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේමයි දරුවා කහපැහැ වීමට බලපාන තවත් රෝග තත්ත්වයන් තියෙනවා.
මේ කොහොම වුණත් දරුවාව හොඳින් නිරීක්ෂණය කිරිම ඉතාමත් වැදගත්. ඒ වගේමයි මවගේ ඇස්දෙකට හොඳින් එය පෙනෙන්නනත් ඕනේ. ඒ නිසා කහපැහැති විදුලි පහන් කාමරයට දාන්න එපා. ඒ වගේමයි දරුවාගේ ඇඳ මෙට්ටය කොට්ට දිනපතා වගේ අව්වේ වියළා ගැනීමට මතක තබාගන්න. ඇඳ ඇතිරිලි කොට්ට උර දිනපතාම සෝදන්න අපහසු නම් දවස් දෙකකට වරක් හෝ හොදින් සෝද පිරිසිදුකර ගැනීම ඉතාමත් වැදගත්. දරුවා නිතරම මුත්‍රා පිටකරන බැවින් එම මුත්‍රා රෙදි කාමරයේ තැන තැන දමන්න එපා. මුත්‍රා හෝ මළපහ තැවරුණු රෙදි හැකි ඉක්මනින් කාමරයෙන් ඉවත් කර ඒවා හොඳින් පිරිසිදු කරගන්න. මොකද මේවා සුලු සුළු කාරණා වුණත් ඇතැම් මව්වරුන් මෙවැනි සුළු කාරණා නොසලකා හැරීම නිසා අලුත උපන් බිළිඳුන් රෝගී වන අවස්ථා ඕනෑතරම් තියෙනවා. දිනපතාම වාගේ කාමරය විසබීජ නාශක දියරයකින් පිරිසිදු කළ හැකිනම් එය දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාවට බෙහෙවින්ම බලපානවා.
තවත් දෙයක් තමයි දරුවෙකු පිළිසිද ගත් දිනයේ ඉදලාම අම්මාට නොපෙණුනත් නොපෙනෙන දරුවාට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. දිනෙන් දින වැඩෙන දරුවා සිටින කුස අතගාමින් දරුවාට ඇසෙන්නට දැනෙන්නට ආදරය කරන්න. එය දරුවාගේ මානසික සංවර්ධනය බෙහෙවින්ම බලපානවා. ඒ වගේම දරුවා ඉපදුණාට පසුව දරුවා තබන කාමරය දරුවාගේ මානසික සංවර්ධනය වැඩිවන ලෙසට සකස් කරන්න. පාට පාට පිංතූර වලින් කාමරය අලංකාර කිරීමෙන් දරුවාගේ ඇස් ඒ පාට ගැටීමෙන් යම් යම් පණිවිඩයන් මොළය කරා ගමන් කර මොළයේ සෛල උත්තේජනය කිරිමට හේතුවක් වෙනවා. මෙය දරුවාගේ මනෝ සංවර්ධනයට යහපත් ලෙස බලපෑම් ඇතිකරනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි
නිලුක්ෂි තිලකසිරි
සටහන -- ශ්‍රියානි විජේසිංහ