free stats

දරු ගැබක් දරා සිටින මවකගේත් එයට රැකවරණය දෙන පියකුගේ එකම පැතුම වනුයේ නිරෝගී පුංචි පැටියකුගේ උපතයි. නමුත් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදුවන හෝ සිදු කරනු ලබන ඇතැම් දෑ එයට අහිතකර ලෙස බලපෑම් කළ හැකියි. අන්න ඒ වගේ අහිතකර ප්‍රතිඵල උදාකර දෙන කරුණු කිහිපයක් පිළිබඳවයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ.

මොකක්ද මේ කාරණාව. ඒ තමයි අහිතකර දුම් වර්ග.

මෙන්න මේ කියන දුම් නිසා කුස තුළ වැඩෙන පුංචි පැටියට වගේම මවටත් හානි සිදු වන්නට පුළුවන්. අපි දන්නවා හුස්ම කියන්නේ අපේ ජීවිතේ. එහෙමත් නැත්නම් හුස්ම නැතිව අපි කාටවත් ජීවත් වෙන්නට බැහැ. නමුත් ඉතින් නොමිලේම ලැබෙන දෙයක් නිසා ඒ ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි දන්නවා අපි ගන්න මේ වාතය පිරිසිදු වීම අතිශයින්ම වැදගත්. එහෙම නොවුණොත් ගර්භනී කාන්තාවන් විතරක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයන් පවා විවිධ රෝගාබාධවලට ලක් වෙන්නට ඉඩ ප්‍රස්ථාව පවතිනවා.

ඉතින් අපි බලමු මේ වාතය අපිරිසිදු වෙන ක්‍රම මොනවද? ප්‍රධානතම හේතුව තමයි කලින් සදහන් කරන ලද දුම. දුම කිව්වාම විවිධ ආකාරයේ දුම් වර්ග වාතයත් එක්ක මිශ්‍ර වෙලා
ආඝ්‍රාණය වීම සිදු වෙන්න පුළුවන්. ඒ අනුව,

ප්ලාස්ටික් පොලිතීන් පිළිස්සීමෙන් ඇතිවන දුම.

දුම් වැටි මගින් ඇතිවන දුම

මදුරු කොයිල් වේපරයිසර් දුම

හඳුන්කූරු දුම

මෙන්න මේ කියන ප්‍රධාන හේතු කිහිපය පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කරමින් අද කතා කරන්නට සිතුවේ.

පළමුවෙනි කාරණාව වෙන්නෙ ප්ලාස්ටික් පොලිතීන් පිළිස්සීමෙන් ඇතිවන දුම. පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීමේදී ඒවා සැකසීමට යොදා ගන්නා කාබනික සංයෝග දහන ඵල වාතයට මුදා හැරෙනවා. එසේම දහනය වීමේදී ඩයොක්සීන් නම් අතිශය විශ සහිත සංයෝග නිකුත් වෙනවා. මේ ඩයොක්සීන් මගින් හෘද රෝග, ඇදුම, පිළිකා ආදිය සෘජුව ඇති කරන අතර අපේ ශරීරවල ඒවා තැන්පත් වීම ද සිදුවෙනවා. මේ විදිහට තැන්පත් වන ඩයොක්සීන් මවකගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන්නටත් පුලු‍වන්. මෙය හෝමෝන පද්ධතිය වෙනස් කරන නිසා දරුවෙකුගේ ලිංගිකභාවය සම්බන්ධව ගැටලු‍ ඇති කරන්නට හේතු වෙනව. ඉතින් බලන්න අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව අපේ ලේසියට කරන මේ පොලිතින් පිලිස්සීම කොයිතරම් නම් අහිතකර ද කියලා.

ප්ලාස්ටික් පිළිස්සීමෙන් ඇතිවන උග්‍ර විෂ සහිත ඩයොක්සීන් ආඝ්‍රාණය වීම නිසා ප්‍රජනක පද්ධතියේ වගේම පුංචි පැටවුන්ගේ වර්ධනය සම්බන්ධව ගැටළු පවා ඇති වන්නට පුළුවන්. ඒ වගේමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්නත් මේ හේතුව බලපෑම් කරනවා. රත්වුණු ප්ලාස්ටික් සයනයිට් ඇතුළු තවත් විෂ වර්ග ගණනාවක් බිහි කරනවා. මේ නිසාමයි විවිධ ආහාරපාන ප්ලාස්ටික් බඳුන්වල බහාලන්නට එපා කියල අපි අහල තියෙන්නේ. මේ කාරණාව අමතර කාරණාවක් වුණත් පොලිතීන් ප්ලාස්ටික් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අප අමතක නොකළ යුතු දෙයක්.

ඇතැම් වෙලාවට අපේ අම්මලා වත්තේ කොනක නිවසෙන් බැහැර කරන මේ ප්ලාස්ටික් පොලීතින් පුළුස්සන්නට පුරුදු වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් අපි සමහර වෙලාවට දකිනවා කෑම බීම පිසගන්න ලිපට පවා ඉවත දමන ඉටිකොළ ආදිය නොසැලකිලිමත්ව දමලා පුළුස්සනවා. මේ විදිහට දමන පොලිතින් ප්ලාස්ටික් දහනයෙන් ඇතිවන දුම ගැබිනි මවකගේ කුසේ සිටින දරුවාට ස්නායු ගැටලු‍ වගේම මොලේ වර්ධනය අඩාල කිරීමටත් හේතු වෙන්නට ඉඩ තිබෙනව.

මීළඟ කාරණාව වෙන්නෙ දුම්වැටි දහනයෙන් ඇතිවන දුම. අපි දන්නවා ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් ඇතිවන දුමටත් වඩා වැඩි හානියක් ඇති කිරීමේ හැකියාව මේ දුම්වැටි මගින් පිටවන දුම ට තිබෙනවා. විදෙස් රටවලට සාපේක්ෂව අපේ ලංකාවේ කාන්තාවන් අතර දුම්පානය අවමයි. නමුත් එහෙමයි කියලා දුම්වැටි මගින් ලාංකීය කාන්තාවන්ට හානියක් සිදු වන්නට ඉඩක් නැතැයි සිතන්නට බැහැ. මොකද අපේ බහුතරය පිරිමි පුද්ගලයන් දුම්වැටි භාවිතයට හුරු වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් ඇබ්බැහි වෙලා තිබෙනවා. දුම් පානයේ අහිතකර තත්ත්වය වන්නේ ද මෙයයි. එය භාවිතා කරන පුද්ගලයාට හා සමානව අවට සිටින පුද්ගලයන්ටත් හානි සිදු කළ හැකිවීමයි. සාමාන්‍යයෙන් දුම්වැටියක අමුද්‍රව්‍ය 600ක් පමණ අන්තර්ගත වෙනවා. දුම්වැටිය දැල්වෙනවිට 7000 අධික රසායන ද්‍රව්‍යයන් ඉන් උත්පාදනය වන බව පැවසෙනවා. මේ අතුරින් අවම වශයෙන් විෂ 69 ක් පිළිකා කාරකයන් බවයි පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන්නේ.

මේ කියන අහිතකර ද්‍රව්‍ය කොයි තරම් අපේ සිරුරට හානිකර ද කියන කාරණය ඔබට වැටහෙනවා ඇති. ගර්භනී කාන්තාවකට මෙම දුම් ආඝ්‍රාණය වීමෙන් සෘජුවම කුස තුළ වැඩෙන දරුවාට බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබෙනව. මවට ගර්භාෂය ආශ්‍රිතව ගැටලු‍, ඩිම්බ කෝෂ ආශ්‍රිතව ගැටළු ඇති කිරීමේ හැකියාව තිබෙනවා ඒ වගේමයි උපදින පුංචි පැටියට සංජානනීය ආබාධ, හදවත් සිදුරු ඇති කරන්නටත් අංගවිකල දරුවන් බිහි වීමටත් ඊට අමතරව ගබ්සා වීම් වැනි භයානක තත්ත්වයන් ඇති වීමටත් පුළුවන්. මේ නිසාවෙන්ම ඔබ ගර්භණී කාන්තාවක් නම් මේ පිළිබඳව වඩා සැලකිල්ලක් දැක්වීම වැදගත්. එසේ නොවන්නට නූපන් පුංචි දරුවකු වැඩිහිටි උදවිය කරන වැරදි ක්‍රියාකාරකම් නිසා දුක් විදින්නට ඉඩ තිබෙනවා.

මේ සියළු කාරණාවන් ට අමතරව සුවිශේෂී කාරණාවක් විදියට දුම්වැටි භාවිතා කරන පිරිමි පුද්ගලයන්ට ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි බවයි.

මීළඟ කාරණා වෙන්නේ මදුරු කොයිල් සහ හඳුන්කූරු දුමයි. මදුරු කොයිල් කියන්නේ මදුරුවන් පලවා හරින්නට නිර්මාණය කරලා තියෙන විස සංයෝග අඩංගු දෙයක්. අපි දන්නවා මදුරු කොයිල් බොහෝ වෙලාවට හාවිත කරන්නේ වසන ලද කාමරවල. ඉතින් මේ නිසාවෙන්ම ඉන් පිටවන දුම පිටතට නොයා කාමරය තුළම කරකැවෙනවා. මේ ඉතාම තදබල ලෙස ගර්භණී කාන්තාවන්ට බලපෑම කළ හැකි කාරනාවක්. මදුරු කොයිල් එකක් යම් කාමරයක් තුළ දල්වන්නේ නම් එය දුම්වැටි 75 ක් දැල්වූවා හා සමානව විසදුමක් ඇති කළ හැකි බවයි පැවසෙන්නේ. මේ දුම ආඝ්‍රාණය වීමෙන් ගර්භයට වගේම මවටත් හානි කළහැකියි. විශේෂයෙන්ම ස්වසන ආබාධ ඇතිවීමට මෙය හේතු කාරක වෙනවා.

අප වැඩි අවධානයක් යොමු නොකළත් සෑම නිවසකම පාහේ භාවිතා වන දෙයක් තමයි හඳුන්කූරු. නිවස සුවඳවත් කරන්න විවිධ ආගමික වතාවන් වලට අපි නිරන්තරයෙන් හඳුන්කූරු භාවිතා කරනවා. නමුත් ඔබ දන්නවාද මේ මගින් පිටවන දුම අපේ සිරුරට ඉතාමත් අහිතකර බව. මදුරු කොයිල් වල වගේම හඳුන්කූරු වලත් විෂ රසායනික සංයෝග රාශියක් ඇතුළත් වෙනවා. අද වනවිට බොහෝ රටවල හඳුන්කූරු දැල්වීම තහනම් කරලා ඒ වෙනුවට හඳුන්කූරු පාවිච්චි කරන්න ඕනි ස්ථානවල ඉටිපන්දම් දල්වනු ලබන්නේ මේ හේතුව නිසයි. ජපානය පර්යේෂණ ආයතනයක් තහවුරු කරලා තියෙනවා සාමාන්‍ය හඳුන්කූරු පැකට් එකකින් නිකුත් වන විෂ දුම සිගරට් පැකට්ටුව කින් නිකුත් වන දුම ට සමාන බව.

ගර්භනී අම්මලාට මේ දුම ආග්‍රහණය මවට වගේම සමාන හානියක් දරුගැබටත් සිදුවන්නට පුළුවන්. උපතේ සිට වයස අවුරුද්දක් වෙනකල් දරුවන්ට මේ විෂ දුම ආඝ්‍රාණය කිරීමෙන් පෙනහලු‍ ආසාදන ඇති වෙනවා. ඒ වගේම පෙනහලු‍ ආශ්‍රිත ගැටලු‍, ස්වසන ගැටලු‍,කැස්ස, උගුර ආශ්‍රිත රෝගාබාධ වගේම දරුණුතම තත්ත්වයක් ලෙස පිළිකා පවා ඇති කරන්නට මෙම දුමට හැකියාව තිබෙනවා. මේ ආදී දුම් වර්ගයන් පිළිබඳව ලෝකය පුරා විවිධ පර්යේෂණයන් සිදු වී නමුත් ඒ මගින් ඇතිවන රෝගාබාධයක් නිශ්චිතවම පැවසිය නොහැකි වනුයේ ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවිනි. එසේ වුවත් ඔබ ගර්භණී මවක් නම් මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය.මන්ද විශ සහිත දුමක් ආග්‍රහණය වීමෙන් ඔබට වගේම වැඩෙන දරුවාටත් ඉන් සෘජුවම බලපෑම් කළ හැකි වීමයි.

විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා
ප්‍රජා කායික රෝග විශේෂඥ වෛද්‍ය
සෞඛ්‍ය අමාත්‍යංශය

සටහන නදීශා ගයානි ගුණතිලක