free stats

නින්ද කියන්නෙ බාල, වැඩිහිටි සැමගේ ජීවිතයට ඉතා වැදගත් අංගයක්. නිවැරදි නින්දක් නොලැබීමෙන් විවිධාකාර අපහසුතා හා රෝග තත්ත්වයන් ද ඇතිවන්නට පුළුවන්. මාස 9 ක් මව්කුසේ වැඩෙමින් සිට මෙලොවට පැමිණි පුංචි පැටියාගේ දෛනික දින චර්යාව තුල වැඩිපුරම ඇතුලත් වන්නෙ මේ නින්දයි. දවසින් වැඩි වෙලාවක් පැටියා නිදාගැනීම සාමාන්‍යය තත්ත්වයක්. පැටියා තුල වරින් වර නින්දේදී සිදු වෙන ඇතැම් වෙනස්කම්, ක්‍රියාකාරකම් මව්පියන්ට ගැටලු‍කාරී වෙන අවස්ථා තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඒවා සාමාන්‍යය තත්ත්වයන් වන නමුත් රෝග තත්ත්වයන්වලට මග පාදන ලක්ෂණ ද නින්ද සමග දකින්නට පුළුවන්. මේ නිසා පැටියාගෙ නින්දත් සමග ඇතිවන විවිධ වෙනස්කම් හා ක්‍රියාකාරකම් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.

සාමාන්‍යයෙන් අලු‍ත උපන් පැටවුන්ගෙ පටන් අවුරුදු 4 දක්වා වයස් කාණ්ඩයේ පැටවුන්ගෙ නින්ද ආශ්‍රිත විවිධ තත්ත්වයන් පිළිබඳ මෙහිදී අප කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පැටියා නින්දෙන් කට ඇරගෙන වේගයෙන් හුස්ම ගැනීම, හීනෙන් බය වීම, නින්දෙන් අතපය චලනය කිරීම හා එක දිගට නින්ද නොයෑම වැනි තත්ත්වයන් පිළිබඳව අම්මලා බියක් දක්වනවා එය යම් රෝග තත්ත්වයක් ද කියලා. සැම විටම එය එසේ තීරණය කිරීමට නොහැකියි. බිළිඳු පැටියා මව් කුසේ කලලයක්ව වැඩෙන අවධියේදී ගර්භාෂයේ ඇති උණුසුමත්, විවිධ රසායන ද්‍රව්‍ය නිසාත් ක්‍රියාකාරිත්වය අඩු හා වැඩි ලෙස වෙනස් වෙනවා. අඩු මාසයෙන් ඉපදුණු පැටියෙකු නම් දවසේ වැඩි වෙලාවක් නිදා ගැනීම සාමාන්‍යය තත්ත්වයක්. ඒ ඔහු තවමත් සිය කලල අවධිය සම්පූර්ණ කරමින් පවතින නිසායි.

ක්‍රමයෙන් වර්ධනය සිදුවීමත් සමග මේ වැඩි නිදිබර ගතිය ඉවත්වී වැඩිහිටියෙකුගෙ නින්දට සමාන චක්‍රයකට පැටියා අනුගත වෙනවා. ළදරු අවධියේදී නින්දෙන් ගැස්සීම, ඇසිපිය යටින් පෙනෙන ඇසේ චලන, තොල්වල චලන හා නින්දෙන් සිනාසීම වැනි දෑ ක්‍රියාකාරී නින්දේ (Active Sleep) සාමාන්‍යය ලක්ෂණයි. නමුත් වැඩි වේලාවක් පවතින ඇග හෝ අතපය ගැස්සීම් තිබේ නම් ඇගේ එක පැත්තක් පමණක් ගැස්සෙනවා නම් එය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්. එවැනි රෝග තත්ත්වයන් කීපයක් පිළිබඳ දැන් සොයා බලමු.

  • Benign sleep myclonus of infancy

මෙම රෝගයේදී පැටියා නින්දට වැටෙන අවස්ථාවේදී, එනම් ගැඹුරු නින්දට පෙර (NREM Sleep) අතපය හෝ ඇග ගැස්සීම සිදු විය හැකි අතර පැටියා අවදියෙන් සිටින විට මෙය සිදු වන්නෙ නැහැ. උපතේ සිට මාස 6 ක් දක්වා ළදරුවන්ට මෙය ඇති විය හැකියි. ක්‍රියාකාරකම් නිසි කාල වකවානුවේදී අත්පත් කරගන්නා පැටියෙකුගේ මේ තත්ත්වය සාමාන්‍යය තත්ත්වයක් ලෙස සැලකෙනවා. මෙම රෝගය මොළයේ ස්නායුවල ක්‍රියාකාරීත්වය පරික්ෂා කරන EEG (Electro Encephalogram) පරික්ෂණයේදී කිසිදු වෙනසක් පෙන්වන්නෙ නැහැ.

  • Benign myoclonic epilepsy of infancy රෝගය

පෙර දැක්වූ රෝගයේ සේම සිදු විය හැකි අතපය ගැස්සීම් සමහර ළදරුවන්ගේ මොළයේ ස්නායු වල අසාමාන්‍ය හෝ අධි ක්‍රියාකාරීත්වය නිසා සිදුවිය හැකියි. එවැනි අවස්ථාවලදී ෑෑඨ වාර්තාවේ ඒ තත්ත්වය පෙන්නුම් කරනවා.

  • Infantile Spasm රෝගය

මෙහිදී පැටියාට නින්ද යෑමේදී හෝ ඇහැරීමට ආසන්න වන විට ඇතිවන ගැස්සීම්, අධික ලෙස හඬමින් වේදනාකාරී බවක් පෙන්නුම් කරයි. මෙයද ෑෑඨ පරික්ෂාව මගින් හඳුනාගත හැකි අතර ලමා රෝග විශේෂඥ මග පෙන්වීම යටතේ ප්‍රතිකාර ගැනීමෙන් සුව කල හැකියි.

  • Neonatal Sleep apnoea රෝගය

පැටියා නින්දෙන් කට ඇරගෙන හයියෙන් හුස්ම ගැනීමේ තත්ත්වය විශේෂයෙන්ම අඩු මාසයෙන් ඉපදුණු විට ඇතිවිය හැකියි. ඉපදී මුල් සතියේදී හයියෙන් හුස්ම ගැනීමත්, තත්පර 10 -20 අතර කාලයක් හුස්ම අල්ලන් සිටීමත් දක්නට පුළුවන්. මීට හේතු ලෙස
ආම්ලිකතාවය, රක්තහීනතාවය, ආසාදන තත්ත්ව, පෙනහලු‍ හෝ ස්නායු ආශ්‍රිත රෝග හා විවිධ බෙහෙත් වර්ග දැක්විය හැකියි.

  • Congenitail laryngomalacia රෝගය

මෙය පැටියාගෙ ශ්වාසනාලය ආශ්‍රිත ආබාධයකි. ශබ්දයක් සහිතව හුස්ම ගැනීම මෙහිදී දක්නට හැකියි.

අලු‍ත ඉපදුනු පැටියා තමා සිටින පරිසරයට හුරු වීමට යම් කාලයක් ගතවෙනවා. එතෙක් නින්ද නිසි ලෙස පිළිවෙලකින් තොරව සිදු වීම සාමාන්‍යයයි. පිරිසිදු හා අවම බාධාවන් සහිත පරිසරයක් සකස් කර දීමෙන් පැටියාට සුව නින්ද ලබා ගත හැකියි. ඉහත රෝග තත්ත්වයන් ඉතා විරල රෝග නිසා අනවශ්‍ය ලෙස ඔබ බිය නොවිය යුතුයි. නමුත් පැටියාගෙ සිදුවන සියුම් වෙනස්කම් පිළිබඳව ද මනා අවධානයකින් හා අවබෝධයකින් සිටීම මෙහිදී වැදගත්. නිසි වේලාවේදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් ඔබට සැක සහිත කාරණාවන් වුවද දුරු කරගැනීමට පුලු‍වන්. එමගින් පැටියාට ඇතිවිය හැකි බරපතල රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඈන්මරී පෙරේරා මෙනවිය
සීමාවාසික වෛද්‍ය නිලධාරීනී
උතුරු කොළඹ ශික්ෂණ රෝහල

සටහන -කුමුදිකා ඩී. සපුතන්ත්‍රි