free stats

මව්වරුන් අතර තියෙන ලොකුම ගැටලු‍වක් තමයි දරුවන්ට නිසි පෝශණය ලැබෙන පරිදි ආහාර ලබා දෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම දරුවෙකුගේ වර්ධනයට ක්ෂුද්‍ර පෝශකවල තිබෙන අවශ්‍යතාව ඉතාම වැදගත්. මේ නිසාම ආහාර ගන්නා විට සිරුරට අවශ්‍ය ක්ෂුද්‍ර පෝශක ලැබෙන පරිදි ආහාර ගැනීම ඉතාම වැදගත් වනවා.මේ අනුව සෞඛ්‍ය පෝශණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය ළදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝශණය ඉහල දැමීම සදහා ක්ෂුද්‍ර පෝශක අතිරේක ලබාදීමට කටයුතු කලා. වයස මාස 6,12 හා 18 සම්පූර්ණ දරුවන් සදහා මෙම ක්ෂුද්‍ර පෝශක පැකැට්ටු ලබාගන්න පුලු‍වන්.

  • යකඩ මිලි ග්‍රෑම් 10
  • සින්ක් 41
  • ෆෝලික් අම්ලය මයික්‍රො ග්‍රෑම් 150
  • විටමින් සී
  • කොපර්
  • අයඩින් මයික්‍රො ග්‍රෑම් 90
  • සෙලේනියම් මයික්‍රො ග්‍රැම් 17

දරුවකුගේ කායික හා මානසික වර්ධනය හොදින්ම සිදුවන්නේ මුල් අවුරුදු දෙකේ දියි. මේ නිසාම ක්ෂුද්‍ර පෝශක නිසි පරිදි නොලැබි යාම වර්ධනය අඩාල වීමට හේතුවක් වනවා. විශේෂයෙන්ම යකඩ මෙහිදි ඉතාම වැදගත් ක්ෂුද්‍ර පෝශකයක් බව කිව යුතුයි. මෙම ක්ෂුද්‍ර පෝශකය ප්‍රමාණවත් පරිදි නොලැබීම බුද්ධි වර්ධනය අඩාල වීම, වර්ධනය බාල වීමට හා ආසාදනවලට ඉක්මනින් ගොදුරු වීමට හේතුවකි. මේ නිසාම එක ක්ෂුද්‍ර පෝශක පැකැට්ටුව බැගින් දිනකට වරක් දින හැටක කාලයක් සදහා ලබාදිය යුතුයි.

සෑම ප්‍රදේශයකම ඇති රජයේ මාතෘ හා ලමා සායනයෙන් මේ ක්ෂුද්‍ර පෝශක ලබාගන්න පුලු‍වන්. ලබා ගන්න හොදම කාලය වෙන්නේ දරුවාට මාස හයේ එන්නත ලබා දෙන දිනයේ හෝ මාස හයෙන් බර කිරන දිනයේයි. එදිනට ඔබ වෙත මෙම පැකැට්ටුව ලබා දෙනවා. මෙහි පෝශක පැකැට්ටු 30ක් අඩංගුයි. මේ පැකැට්ටු මාස දෙකක් දෙන්න ඕන. ඒ නිසා ඊලග පැකැට්ටුව ලැබෙන්නේ හත්වෙනි මාසෙදි. එදාට බර කිරන්න යන ගමන් ඒ පැකැට්ටුව ගන්න අමතක කරන්න එපා.

ඒ වගේම අපි මතක තියාගන්න ඕන කාරනයක් තමයිහැම දරුවෙකුටම ක්ෂුද්‍ර පෝශක දෙන්නේ නෑ කියන එක. ක්ෂුද්‍ර පෝශක දිය යුතු වෙන්නේ සති තිස් හතට පෙර ඉපදුනු දරුවන්ට වගේම උපත් බර ග්‍රෑම් 2500 ට අඩු ඒ කියන්නේ අඩුබර දරුවන්ට මේ පෝශක පැකැට්ටු දෙන්නේ නෑ. මොකද ඒ දරුවන් සදහා මුල සිටම වසර දෙකක් දක්වා ක්ෂුද්‍ර පෝශක අතිරේක ලබා දීමට නිර්දේශ කරනවා. ඒ නිසා සති 37ට වැඩි, නියමිත බර තිබෙන එනම් බර ග්‍රෑම් 2500 වැඩි දරුවන්ට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
දරුවට ලබා දෙන ආහාර වේල්වලින් එක් ආහාර වේලක් සදහා මෙම පෝශණ පැකැට්ටුව එකතු කරන්න පුලු‍වන්. අර්ධ ගණ හෝ ඝණ ආහාරයකට එකතු කරන එක වඩාත් සුදුසුයි. ඉන් පසුව විනාඩි 10-15 ක් ඇතුලත මේ මිශ්‍රණය දරුවාට ලබා දිය යුතුයි. වැඩි කාලයක මිශ්‍රණය වාතයට නිරාවරණය වීම අමුතු රසක් පැහැයක් ඇති වෙන්න හේතුවක්.

මේ ක්ෂුද්‍ර පෝශක පැකැට්ටුවක් එක දවසක දෙන්න බැරි උනා කියලා ඊලග දවසේ දෙක දෙක දෙන්න ඕන නෑ. හැබැයි මාස දෙකක් දරුවාට දෙන්න වගබලා ගන්න ඕන. අනික මේවා ජලයේ දිය නොවෙන නිසා දියරමය ආහාරවලට එකතු කරන්නත් එපා. ක්ෂුද්‍ර පෝශක දෙනකාලේ වෙන වොටමින් වර්ග දෙන්නම ඕන නම් වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා. වෛද්‍යවරයෙකුගෙන් අහන්නේ නැතුව විටමින් වර්ග ලබාදීම නුවණට හුරු නැහැ.

පාවිච්චි කලාට පස්සේ මේ පැකැට්ටු හුලං නොවදින විදියට අහුරලා තියන්න ඕන. නැත්නම් ඉක්මනින් ඒවා නරක් වෙලා ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා. අනෙක් වැදගත්ම කාරණය තමයි මේ පෝශක ලබා දීම අවසන් උනාම දිනකට දරුවාට යකඩ 10 මි. ග්‍රැ – 12.5 මි. ග්‍රැ වගේ දෙන්න ඕන කියන එක. මොකද නැත්නම් මාස තුනෙන් පස්සේ නැවත දරුවාගේ වර්ධනය අඩාල වෙන්න පුලු‍වන්. මෙය නිර්දේශ කරන්නේ ආහාර වේලකට පැයකට දෙකකට වගේ කලින් දෙන්න කියලා. පෝශක පැකැට්ටුව ගන්න කාලේ දරුවාගේ මලපහ කලු‍ හෝ තද පැහැය ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඔක්කාරය වමනය වගේ එන්නත් පුලු‍වන්. ඒ නිසා අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා. ක්ෂුද්‍ර පෝශක ගැන තව දුරටත් ගැටලු‍වක් තිය්නවා තමයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අහලා දැනගන්න පුලු‍වන්.

රූපා පෙරේරා
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය
රත්මලාන

දිශාන්ති වෙදගේ…