free stats

දැන් ඔබ අම්මා කෙනෙක්. නිදි වර්ජිත රාත්‍රින් ගණනාවක්, වෙහෙස මහන්සිය නොබලා වැඩ කළ දවල් වරු ගාණක් ඔබ පසු කරලා ඇති. කිසිම කෙනෙකුගේ සහය නැතිව ගෙවෙන දවස් ගණන් ඔබට ගණන් කරගන්න බැහැ. තනියම හිටිය කාලේ විවාහ වුණු අලුත ඔබ ගෙවපු අපුරු ජීවිතය දැන් ඒ විදියටම ගෙවන්න බැහැ. තවම දරු පැටියා කුස තුළ දරාගෙන ඉන්නවා නම්, හවස නිවසට එන සැමියා එක්ක හුරතල් වෙන්න, තුරුළට යන්න උදරය ඔබට බාධාවක් වෙලා. උදෑසනට එන මහන්සිය, වමනේ ගතිය, සාමාන්‍ය දෛනික ජීවිතය මොනතරම් අසීරුද කියලලා ඔබට දැනෙනවා ඇති. පුංචි පැටියා දැනටමත් ඔබේ තුරුලට ඇවිල්ලා නම් එයා අඬන එක, රෑ තිස්සේ නිදියන්නේ නැති එක, හරියට කිරි ටික බොන්නේ නැති එක, ඔබව ආතතියට පත්වෙන්න තරම් හේතුවෙලා ඇති.

මේ තමයි ජීවිතය ඔබට ගෙනත් දෙන අභියෝග. ඔබේ අම්මත් මේ වගේම වෙසෙ වෙන්න ඇති. අඬන්න ඇති, බය වෙන්න ඇති. සමහර විට නින්දක් නැති වසර ගණනාවක් ඇය පසුකරන්න ඇති. ඇය තවමත් ඔබ ගැන හිතමින් නිදිවර්ජිතව රැය පහන් කරනවා ඇති. මුලින් ඔබට දැනුන ආතතිය මහන්සිය වැඩිවෙලා සියුම් දුකකින් හිත පිරෙන මොහොතක ඔබ ඔබේ අම්මාව මතක් කරන්න. සමහර විට අපිට ඔබට මට උවමනා දේ නොලැබෙනකොට අපි මොනතරම් රණ්ඩු කරන්න ඇතිද? ඇයව අඬවන්න ඇති ද? දරුවා බිහිවන මොහොතේ දැනෙන අසීමිත වේදනාව ඔබට නිසැකවම ඇයව මතක් කරාවි. මාතෘත්වය කියන්නේ අන්න එහෙම හරි අපූර්ව බැඳීමක්.

සොබාදහම ඔබව නිර්මාණය කරන්නේ ඒ අපූර්ව බැඳීම ඉදිරියට පවත්වාගෙන යන්නයි. ගැහැණියක් නිසාම ඇතිවන මාසික ඔසප් වේදනාව, අසීමිතව සිදුවන සිත් බිදීම්, රිදුම් වේදනාවන් දරාගන්නා ඔබ කාන්තාවක් නිසාම විදින අපහාස වේදනා බොහෝමයක් දරාගන්න ඇති. “ගැහැණියක් වීම ම පාපයක්” කියමින් ඔබව ආතතියටත් පත් කරන සමහර වචන යම් මොහොතක දරුණු කඩාවැටීමක් වෙන්නට ඇති. එහෙත් ඒ කිසිම වේදනාවකට ඔබව නවත්වන්නට හැකියාවක් නැහැ. සම්පුර්ණ ලෝකයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකය ඔබයි. ඒ තැන හිමිකරගන්නට ඔබට අභියෝග කරන කිසිවකුට බැහැ. හොඳ අධ්‍යාපනයක් තියෙනවා නම්, හොඳ සමාජ දැනීමක් තියෙනවා නම් ඔබට අභියෝගවලට මුහුණ දීම කියන්නේ සාමාන්‍ය කාරණාවක්. සරල, පහසු අත්දැකීමක්.

ජීවිතය ඇතුලේ ඔබට ඇතිවන ප්‍රශ්න, සිත් රිදීම් ඒ හා සමානවම ලෝකයේ අනෙකුත් හැම කාන්තාවක්ම අත්විදිනවා. ඒක ඔබට පමණක් පුද්ගලික වුණු දෙයක් නෙවෙයි. වෙනස වෙන්නේ ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය පමණයි. ජීවිතය ඕනම අතකට පෙරලෙන්න පුළුවන්. ඒක අපිට කලින් සැලසුම් කරන්න බැහැ. එහෙම වුණා කියලා ඔබ ඍණාත්මක විදියට ජීවිතය දකින්න අවශ්‍ය නැහැ. තිබෙන්නේ සාමාන්‍ය පරිදි එදිනෙදා ජීවිතය ගතකරගෙන යාමයි. ඒ අතරතුර අභියෝගාත්මක අනාගතය වෙනුවෙන් ඔබට සූදානම් වෙන්න පුළුවන්. රැකියාවේ උපයන මුදලින් කොටසක් ඉතිරි කිරීම, ඉඩමක් මිලට ගැනීම, රන් ආභරණ සකසා ගැනීම වගේ දේවල් ඔබේ අනාගත සුරක්‍ෂිතභාවයට හේතු වෙනවා. ඒ වගේම අනාගතයේ ඇතිවිය හැකි රෝගාබාධවලින් මිදෙන්නත් අද දවසේ ඉදලම පටන් ගන්න පුළුවන්.

  1. හොඳින් වතුර බොන්න

දිනපතා උදෑසනට වතුර වීදුරුවක් බීලා දවස පටන් ගන්න. ඒ වගේම දවසට ලීටර තුන හමාරක් වතුර පානය කරන්නත් මතක තියාගන්න. සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය නිසි පරිදි ලැබුණාම මුත්‍රා පහවීම හොඳින් සිදුවන නිසා යුරින් සහ අනෙකුත් අහිතකර සාධක සිරුfැරන් ඉවත් වනවා. එය අනාගතයේ වකුගඩු රෝගී අවධානමෙන් ඔබව මුදවන්න හේතුවක්. ඒ වගේම හැකි තරම් පිරිසුදු වතුර දීර්ඝකාලීනව භාවිත කල හැකි වීදුරු බෝතලයකින් පානය කරන්න. මොකද ප්ලාස්ටික් දීර්ඝ කාලයක් භාවිත කිරීම සිරුරට අහිතකරයි. එය පරිසරයටත් සුදුසු නැහැ. ඒ නිසා පරිසර හිතකාමි ලෙස ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට විදුරු බෝතලයක් භාවිත කළ හැකියි.

  1. ආහාර ගැන සැලකිලිමත් වෙන්න

ඔබ ගන්නා ආහාර ඔබට වගේම ඔබෙන් ජීවය ලබන දරුවාටත් එක සේ බලපානවා. ඒ නිසා මොනතරම් කාර්යබහුල වුණත් කෘතිම ආහාරවලට යොමු වෙන්න එපා. ඒ වෙනුවට පහසුවෙන් සකස් කරගත හැකි අපේ ආහාර සංස්කෘතියට ගැලපෙන කෑම වර්ග තිබෙනවා. දැන් අන්තර්ජාල හා යුටියුබ් පහසුකම් තිබෙන නිසා ඔබට අවශ්‍ය නම් එවැනි ආහාර වර්ග ගණනාවක් පිළිබඳව තොරතුරු ලබාගන්න පුළුවන්. එකම ආහාර වර්ගය වුණත් විවිධ රසින් පිරිසුදුව සකස් කරගන්නා හැටි ඔබට මෙයින් ඉගෙන ගන්න ලැබෙනවා.

  1. නිතරම සතුටින් ඉන්න

සතුටින් ඉන්න ඔබට මුදලක් වැය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ හොඳම යහපත්ම ක්‍රමය සොයා ගැනීම පමණයි. භාහිර ස්වරූපයෙන් ඔබව කුමන ආකාරයෙන් දිස් වුණත් අභ්‍යන්තර වශයෙන් ඔබ සතුටින් සිටිනවාද යන්න ඉතාම වැදගත්. බටහිර මනෝ විද්‍යාවේ ෂබබැර ්‍ය්චචහ එහෙමත් නැත්නම් අභ්‍යන්තර සතුට පිළිබඳව වැඩි වශයෙන් කතා කරනවා. මව් පදවියටෙ සූදානම් වන කාන්තාවක් වඩාත් සතුටින් සිටිය යුත්තේ එය ඔබේ දරුවාට බලපාන නිසයි. ඒ සඳහා සුන්දර ගීතයකට සවන් දීම, ආදරණියයන් සමඟ කාලය ගත කිරීම, පොතක් කියවීම, හොඳ චිත්‍රපටයක් නැරඹිම වගේ බොහෝ ක්‍රම තිබෙනවා.

  1. කාන්තාවක් වන්න

කාන්තාවක් වීම කියන්නේ භාහිර වශයෙන් තමන්ගේ ස්ත්‍රි ලාලිත්‍ය පෙන්වීම පමණක් නෙවෙයි. අනිත් කාන්තාවනුත් ඔබ වගේම කාන්තාවන් බව ඔබ තේරුම් ගතයුතුයි. ඒ අයත් ඔබ වගේම පීඩාවන්, පුද්ගලික ගැටුම්, වේදනාවන් දරාගන්නවා. තවත් කාන්තාවකට අපහාස කරන්නට කලින්, වේදනාත්මක වචනයක් පිට කරන්නට කලින් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුත්තේ ඒ නිසයි. විශේෂයෙන්ම මව් පදවියට සූදානම් වන ඔබට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි සිතුවිලි කිසි සේත්ම සුදුසු නැහැ. එවැනි සිතුවිලි පහල වෙනවා නම් ඒවා ආයාසයෙන් හෝ මැඩපවත්වාගත යුතුයි. විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව මානසික රෝග ගණයට අයත්වන තත්ත්වයක් බව අමතක කළ යුතු නැහැ. ඒවැනි අවස්ථාවක සිරුරට අහිතකර හෝර්මෝන රැසක් නිපදවනවා වගේම ඒවායින් ඔබේ සිරුරට හා මොළයට විවිධ අයුරින් හානි පමුණුවනවා.

  1. ඔබ ඔබම වෙන්න

ඔබ සුවිශේෂියි. අනෙකාට වඩා ඔබ විශේෂයි. ඒ නිසාම ඔබේ පැවැත්ම වෙනුවෙන් තවකෙක් වෙන්න අවශ්‍ය නැහැ. මුලින්ම ඔබ ඔබව හඳුනාගත යුතුයි. එවිට ඔබේ හැකියා, දක්‍ෂතා, අවශ්‍යතා නිවැරදිව හඳුනාගන්න පුළුවන්. එක් අතකින් ඔබ ඔබම වීම පහසුවක්. චරිත ද්විත්වයක් පවත්වාගෙන යාමට වඩා එය මානසිකව නිදහස් වීමට හේතුවක්. ඒ නිසා ඔබ ඔබම වෙන්න.

ජීවිතය ඔබ සිතනවාට වඩා පහසුයි. සංකීර්ණ වන්නේ ඔබ එය බාරගන්නා ආකාරය අනුවයි. ආතතියෙන් තොරව නිදහස් මනසකින් ජීවිතයට මුහුණ දෙන්න. එවිට ලෝකයේ සිටින හොඳම අම්මා වන්නට ඔබට නොහැකි වුණත් ඔබට ඔබේ දරුවාගේ ලෝකයේ හොඳම අම්මා වන්නට පුළුවන්.

සටහන චාපා හංසිනි ආටිගල