free stats
                                                                                            13

මේ උදාවුනේ අලුත් අවුරුද්දක්. වෙනදා වගේම නැවුම් බලාපොරොත්තු අරගෙන අලුත් අලුත් ප්‍රාර්ථනා එක්ක උදාවුණු මේ අවුරුද්දේ ඔබටම විතරක් පුද්ගලික වුණු බලාපොරොත්තු බොහෝමයක් ඇති. ඔබ දැනටමත් අම්මා කෙනෙක් වෙන්න සුදානම් වෙනවා නම්, මව් පදවිය සැලසුම් කරනවා නම්, විවාහයට සූදානම් වෙනවා නම්, ඇත්තටම මේ වසර සුවිශේෂි වගේම කාර්ය බහුල වසරක් වේවි. ජීවිතයේ නව පියවරක් නව නැම්මක් එක්ක පටන් ගන්න මේ වසර අවසානයේ දී පුරුදු විදියටම ආපහු හැරිලා බලද්දි සතුටු වෙන්න හැකි බොහෝ දේ ලඟාකර ගැනීමේ වගකීම ඔබට තිබෙනවා.

ලෝකය බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේම ඉක්මනින් ගමන් කරනවා. වේගවත් ලෝකයට ගැලපෙන විදියට අපිටත් වෙනස් වෙන්න සිදුවෙන බව අමුත්තක් නෙවෙයි. නමුත් ඒ වෙනස් වීම සිදුවිය යුත්තේ ඉතාම ක්‍රමානුකූලවයි. ඒ වගේම ඒ වෙනස ඔබේ මෙන්ම පවුලේ යහපත හෝ අයහපත තීරණය කරන බවත් අමතක කළ යුතු නැහැ. තනියම සිටි කාලයේ වගේ ඔබට තීරණ ගන්නට දැන් අවස්ථාවක් නැහැ. දරුවන් ගැන සිතන්න ඒ වගේම ඒ හා සමානවම පවුලේ වගකීම් ගැන සිතන්නටත් ඔබට සිදුවෙනවා. පවුලේ අය වෙනුවෙන් කල යුතු වගකීම් රාශියකුත් ඔබට තිබෙනවා. දැනටමත් ඔබ මවක් නම් ඔබේ දරුවා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් රාශියක් ඔබ වෙනුවෙන් තිබෙන බවත් මතකයේ තබාගත යුතුයි.

ඒ නිසාම ක්‍රමානුකූලව ඔබට ඔබේ කාර්යයන් කරගෙන යාම සඳහා අවශ්‍ය නිසි මානසිකත්වය සකස් කරගත යුතුයි. මේ සඳහා ගතයුතු ප්‍රධානම පියවර වන්නේ ඔබේ මනස සංසුන් ස්ථානයක තබාගැනීමයි. එසේ නොමැති විට කිසිසේත්ම දෛනික ජීවිතය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. රැකියාවක් කරන කාන්තාවක් නම් මුලින්ම රැකියාවට අදාල කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමේ මානසිකත්වය ගොඩනගා ගතයුතු වනවා. ඒ වගේම ඔබට පැවරි තිබෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය කාලය සකසාගත යුතුයි. මෙහිදි පැවරි ඇති කාර්යයන් නිසි අයුරින් මැනවින් අවසන් කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ගොඩගැසී ඇති වැඩ ප්‍රමාණය අවසන් කිරීමෙන් අනතුරුව අලුත් වැඩක් කරන්නට තිබෙන කාලය හා අතිරේක අවකාශය ද ලැබෙනවා.

මේ වසරේ දී මවක් වන්නට සූදානම් වන කාන්තාවක් නම් ඔබ මුලින්ම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාගත යුතුයි. රැකියාව සඳහා යන දුර ප්‍රමාණය අවම කරගත හැකිනම් මූලික පියවර ලෙස එයට යොමුවීම වැදගත් වනවා. වෙනත් නිවසක පදිංචි වීම, සුහද මාරුවක් ලබාගැනීම, කාර්යාල ප්‍රවාහණ සේවයක් තෝරාගැනීම හෝ වෙනත් ආකාරයකින් රැකියාවේ ගමන් බිමන් පහසුව සලසා ගන්නට පුළුවන්. නිවසේ පරිසරය වඩාත් ආරක්‍ෂිත ස්ථානයක් බවට පත්කරගැනීම මීළඟ පියවර වනවා. දැනටමත් නිවසේ වැඩ අවසන් කර නොමැති ස්ථාන තිබේ නම් ඒවා තාවකාලික ක්‍රමයකට හෝ ආරක්‍ෂිත ලෙස සකස් කරගැනීම, වඩාත් සුදුසුයි. උදාහරණයක් ලෙස නිවසේ උඩුමහලට අත්වැටක් නොමැති නම් පහළට වැටීමේ අවධානමක් තිබෙන්නට පුළුවන්. නමුත් ඉක්මනින් වැඩ අවසන් කිරීමට තිබෙන ප්‍රායෝගික ගැටළු නිසා ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාගැනීම වඩාත් සුදුසු වනවා.

කුඩා දරුවන් සිටින මවක් විදියට ලබන වසර ඔබට සුවිශේෂි වසරක් වග අමුතුවෙන් කිවයුතු නැහැ. කාලය ගතවන්නේ පුංචි පැටියා තව තවත් වයසින් හා සිරුරෙන් වර්ධනය කරමින්. සමහර විට පැටියාගේ හය වන මාසය උදාවන්නේ මේ වසරේ නම් මව්කිරි පමණක් ආහාරයට ගත් පැටියාගේ අතිරේක ආහාර කාලසටහන සඳහා යොමුවීමට ඔබට දැන් සිදුවේවි. දණ ගාන පැටියා අල්ලාගෙන සිටගන්නටත්, අල්ලාගෙන සිටගත් පැටියා අපහසුවෙන් පියවර නගන්නට පටන්ගන්නෙත් උදාවු මේ අලුත් අවුරුද්දේ නම් ඔබේ ජීවිතය නැවුම් හැඟීම්වලින් පුරවාලන්නට මේ වසර සමත් වේවි. ඉතින් පැටියා වෙනුවෙන් නව බලාපොරොත්තු රැසක් ඇතිකරගන්නට මේ වසර ඔබට අත්වැලක් වන වග අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

පැටියා වෙනුවෙන් අලුත් යමක් කරන්නට මේ වසර තරම් සුවිශේෂි වසරක් නැවත උදාවන්නේ නැහැ. ඔබත් දැන් සුවිශේෂි කාන්තාවක්. නැවුම් පියවරක් තියන්න මේ උදාවෙලා තියෙන්නේ හොඳම කාලය බව ඔබ දන්නවා. පැටියා වෙනුවෙන් ගිණුමක් ආරම්භ කරන්න. ආදායමෙන් කොටසක් එයා වෙනුවෙන් වෙන් කරන්න දැන් ඔබට පුළුවන්. දරුවා වැඩිහිටියෙක් වෙද්දි උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම්වන මුදල සුළුවෙන් හෝ පියවාගන්න ඒ මුදල ඔබට උපකාරි වෙනවා. ඒ වගේම හැකියාවක් තිබෙනවා නම් පැටියා වෙනුවෙන් රක්‍ෂණයක් වුණත් ආරම්භ කරන්න පුළුවන්.

ඒ වගේම කාන්තාවක් මවක් විදියට ඔබ අතින් ඉටුවිය යුතු තවත් බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම දරුවා වෙනුවෙන් දරුවාගේ අනාගතය වෙනුවෙන් පරිසරය උදෙසා ඔබට කළ හැකි බොහෝ දේ තිබෙනවා. අලුත් පැලයක් සිටුවීම මෙයින් ප්‍රධානම කාර්යයක්. ඔබ සිටවන්නේ පළතුරක් ද, එළවළු පැලයක්ද, රූස්ස ගසක් වන පැලයක් ද, වටිනාකමින් වැඩි ලී වර්ගයක් ලබාගත හැකි පැළයක් ද කියා වෙනසක් නැහැ. ඔබට පැලයක් සිටුවන්න පුළුවන්. පැල කිහිපයක් සිටුවන්න පුළුවන් නම් එය ඉතාම සාර්ථකයි. ඒ වගේම තවමත් ඔබ පරිසරයට කුණු එකතු කරන, නොදිරන ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කරන, සත්ත්ව සම් වලින් නිර්මාණය කරන ලද උපකරණ භාවිතයට වැඩි නැඹුරුවක් දක්වනවා නම් ඔබ ඔබේ දරුවාට අහිමි කරන්නේ සුන්දර අනාගතයක් බව අමතක නොකළ යුතුයි.

පසුගිය කාලයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ ශ්‍රි ලංකාවේ කොළඹ නගරය අවට පැතිර ගිය දූලි වලාව ඔබට මතක ඇති. ඒ අපිට පෙර සිටි වැඩිහිටි පරපුර විසින් අපිට දයාද කළ වර්ථමානය බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් අද දවසේ උදෑසන සුපුරුදු පරිදි ඔබ වාහනයෙන් ඉවත විසිකළ කුණු බෑගය, කෑම පෙට්ටියක් වෙනුවට දහවල් ආහාරය රැගෙන ගිය ලන්ච් ෂීට් එක, ඔබ භාවිතා කරන ලෙදර් බෑගය හෝ සෙරෙප්පු යුවල හෙට දවසේ ඔබේ දරුවා ජීවත්වන පරිසර තත්ත්වය තීරණය කරනවා. ඔබත් මමත් කුඩා කාලයේ සිට අද මේ මොහොත වනතුරු නිදහසේ ගත් හුස්ම හෙට දවසේ ඔබ දරුවාට ගන්නට සිදුවන්නේ මුඛ ආවරණයකින් නම්, දුව පැන ඇවිදින්නට සිදුවන්නේ ඔක්සිජන් ටැංකියක් පිටෙහි බැදගෙන හෝ අතෙහි එල්ලාගෙන නම් ඔබ දරුවාට කෙතරම් හොඳ මවක් වුවත් එයින් දරුවාට කිසිඳු ප්‍රයෝජනයක් අත්වන්නේ නැහැ. අද දවසේ අපි ආදරය කරන දකින්නට ආසා කරන සමනලුන්, සතුන් මිහිමතින් වදවී ගිය ලෝකයක පාළුවෙන් ජීවත් වීමට ඔබේ දරුවාට සිදුවනවා නම් ඔබ දරුවෙකු ලෝකයට දයාද කිරිමේ ප්‍රථිපලයක් නැහැ.

එබැවින් මේ වසර උදාවන්නේ ඔබට හොඳ මවක් වීමේ අවස්ථා රැසක් උදාකරමින්. ඒ සඳහා ඔබට අතිරේක මුදලක් වියදම් වන්නේ නැහැ. මහන්සියක් වන්නට අවශ්‍ය නැහැ. ඇත්තේ ඔබේ සාමාන්‍ය පුරුදු ජීවන රටාව වෙනස් කරන්නට පමණයි.

ඔබේ කුසේ සිටින, දැනටමත් ඔබ තුරුලේ සිටින හෝ තුරුළට ගන්නට සැලසුම් අදින පැටවාගේ අනාගතය වෙනුවෙන් අලුතෙන් සිතන එවන් ආදරණිය අම්මාවරුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.

සටහන චාපා හංසිනි ආටිගල