විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැනින්ම අපේ කාලේ කාන්තාවකගේ එකම තේරිම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු සොයා ගැනීමය. එසේ සොයා ගැනීමෙන් පසුව වෛද්‍යවරයාගේ පරික්ෂා කිරීම් වලින් පසුව ඇය ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පිළිබදව නිවැරදිව දැනගත හැකිය.
ඒත් අපේ අතීත ජනසමාජයේ දරුවෙකු පිළිසිද ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුභ ආරංචි කිවයුත්තේ උදෑසන බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස් කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්විය. මේ සුභ ආරංචිය නැන්දම්මාට කියූ සැනින් නැන්දම්මා ලේලියගේ හිසට අතට තබා ආශිර්වාදය කරයි. ඉන් අනතුරුව මව හා දරුගැඹ ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා පත්තනි පඩුරක් වෙන් කිරීමටද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති චාරිත්‍රයකි. මේ පඩුර දෙහි ඇඹුලින් සෝදා පිරිසිදුකර සුදු රෙදිකඩකින් ගැට කසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කරන්නේ ඉන් අනතුරුවයි. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බවට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.
නැන්දම්මාගෙන් ලේලියට වටිනා ත්‍යාගයක්
මෙසේ ලේලියගේ හිස අත තබා ආශිර්වාදය කරන නැන්දම්මා තමා සතු වටිනා යමක් ලේලිට දීම එදා සිරිතක් ලෙස පැවතිනි. එය නැන්දම්මා සතුව පැවති රන්මාලයක් වළල්ලක් තෝඩුදෙකක් කුඹුරු කෑල්ලක් ඉඩමක් වැනි දෙයක් ද විය හැකිය. තම තමන්ගේ වත්පොහොසත්කම අනුව එය තීරණය වුණි.
බිරිදට දරුවෙකු ලැබිමට සිටින බව ස්වාමියා දැන ගන්නේ තම මවගෙනි. ඇය සුභ වෙලාවක් බලා තම පුතාට මේ බව පවසන්නේ ව්‍යංගයෙනි. පුතාට මෙ පණිවිඩය මව විසින් දැනුම් දෙන්නේ වගකීම් සහිත බව පෙන්විමටය.
පුතේ දුව කියනවා තවත් කුඹුරක් අස්වද්දන්න වෙයි කියලා
බිස්ස හිස්කරන්න බැහැ කියලා දුව කියනවා
”බිස්ස” යනු ආහාර පාන සුරක්ෂිතව තබා ඇති ස්ථානයයි. අලුත් සාමාජිකයෙකු පවුලට සම්බන්ධ වන්නේ නම් ”බිස්ස” හිස්නොකර තව තවත් පිරවිය යුතු බව ගම්මු විශ්වාස කළහ. ස්වාමියාට මේ සුභආරංචිය කියූ පසුව නව යුවල පන්සලට ගොස් මල් පහන් පූජා කර දරුගැබට ආරක්ෂාව ඉල්ලා වැදුම් පිදුම්කරනු ලැබේ.
අනතුරුව නැන්දමමා ලේලිව කැටුව ගමේ වෙදරාල වෙත යාම සිරිතකි. මේ ගමනද යන්නේ කාටත් හොර රහසේය. බුලත් හුරුල්ලක් වෙදරමහතාට දී ලේලියට දරුගැඹක් පිහිටා ඇති බව නැන්දම්මා මූලිකව කීමද සිරිතකි. එවිට වෙදමහතා ලේලියගේ නාඩි පරික්ෂා කර බලා දරුගැඹ පිහිටි කාලය නිවැරදිව ප්‍රකාශ කරනු ලැබේ. අනතුරුව අනුගමනය කළ යුතු පිළිවෙත් වෙදරාළ විසින් පැහැදිලි කර දී ඇයට සෙත් පැතීමක් කරයි.
වෙදරාළගේ තහංචි පැනවීම
උෂ්ණ අධික ආහාරපානවලින් වැලකීම -ඌරුමස් ඉස්සන් මගුරු මාලු මෝර මාලු වැනි පිලී වර්ග ආහාරයට නොගන්නා ලෙස තහංචියක් පනවයි.ි පළාවර්ග එළවලු පළතුරු සදහා මුල් තැනක් හිමි වේ. තනිපල්ගලමේ ගමන් බිමන් යාම තහනම් ය.- තනියම ගමන් බිමන් යන අතර කුමක් හෝ කරදරයක් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් දැන නොගනියි. දරුගැඹ දරා සිටින කාලයේදී බර ඔසවා ගෙන යෑම තහනම් කෙරේ – දරමිටි හිසමත තබා ගෙන යෑම වතුර කළගෙඩි උකුලේ තබාගෙන යෑම මෝල්ගහ සහ වංගෙඩිය භාවිත කර වී කෙටීම පිටි කෙටීම ගැඹට මාස තුන සම්පූර්ණ වනතෙක් කුරහන් ගලේ ඇඹරීම සපුරා තහනම් කෙරේ. තොවිල් බැලීම ගර්භනී කාලයේ සපුරා තහනම් කරයි. තොවිල් පලවකට හෝ ඇය කැටුව යෑම තහනම්ය. ස්නානය කළ යුත්තේ ද උදේ වරුවේය. කොණ්ඩය කඩාගෙන දවසේ වැඩි කාලයක් නොසිටින ලෙසට ඇය තහංචි පනවනු ලැබේ.
දොළ දුක් ගාය
ගැඹට මාස තුන සම්පූර්ණ වනවාත් සමග ඇයට fදාළදුක දැනේ. ඒ අනුව ඇය කන්න කැමති දෑ පවසන්නේ නැන්දම්මාටය. ඇය ආහාර සුරක්ෂිතතාවය මෙන්ම විශ්වාසනීයත්වය දන්නා කාන්තාවකි. මෙහිදී දරුගැඹක් දරාසිටින කාන්තාවක් ඇතිවන fදාළදුකට කන්න හිතන ඕනෑම දෙයක් ඉල්ලූ විට එය ලබා දීම අනිවාර්යෙන්ම සිදු වූවකි. එම ඉල්ලීම ඉවත දැමීමට කිසිවෙකුත් ක්‍රියා නොකරති. ඇය කන්න කැමති මොනවාද කියා දැනගත් ගම්මු එය සාද ඇගේ අතටම ගෙනවිත් දීම සිරිතකි. එහෙත් ඇය එම ආහාරය භුක්ති විදන තෙක් බලා නොසිටියහ ඇයද ඒ ආහාර භුක්ති වින්දේ කාටත් නොපෙනෙන්නටය.
අපේ පැරණි සමාජයේ සිරිත වූයේ ගහක අලුතින් පල හටගත් විට එහි මුල්ම කොටස බුදුන්ට පූජා කර දෙවනි කොටස ගමේ ගැබ්බර මවවරුන්ට පිරිනැමීමය. ඒ තරමටම එදා ගම්මු ගර්භනී මවකට සැලකුවේය. ගැඹට මාස තුන සම්පූර්ණ වූ පසුව ඇයව ගම්මු හැදින්වූයේ ”ගැබ්බර සිරියාව” යනුවෙනි.
දරුවා ගමට අයිති සම්පතකි
දරුගැබ දරාගෙන සිටින මවකට කුඹුරේ වැඩට යාම තහනම්ය. ඇයට දරට යාම බරවැඩ කිරීම වතුර ඇදීම පිටිකෙටීම වැනි බර වැඩ සපුරා තහනම් කෙරේ. ඒ සියලුම බර වැඩ ගමේ අන් කාන්තාවන් අතින් ඇයට සිදු කර දුන්නේය. ඇගේ කුසතුල සිටින දරුවා එම නිවසට පමණක් නොව ජනසමාජයටම අයිති වූවකු සේ එදා සැලකීය.
ගර්භ සංරක්ෂණය
ගැබට පළමු මාස තුන පිරුණු පසුව නැන්දම්මා නැවුම් කළගෙඩියක් ගෙන ගෙවත්තේ දෙහි ගහක හෝ පැගිරි අතු අතර එම කළ ගෙඩියේ කට බිමට සිටින සේ රදවනු ලැබේ. මෙය සිද කරන්නේ හිමිදිරි පාන්දර කපුටන් ඇඩලීමට පෙරය. ගැබ ආරක්ෂා කර ගැනීමට එදා ගම්මු කළ චාරිත්‍රයකි. මෙය ගර්භ සංරක්ෂණය ලෙස හැදින්විය. ගැබට මාස හත පිරුණු තැන ඊලග කළ ගෙඩිය ද පැගිරි ගහේ අතු අතර රදවනු ඇත. මෙසේ තුන්වන කළය ද රදවනුයේ ගැබට මාස නමය සම්පූරණ වූ පසුවය මේ කළ ගෙඩි තුන දෙහි ගහේ හෝ පැගිරි ගහක ආරක්ෂා වෙන අන්දම ගැබ දරා සිටින කාන්තාව නිරන්තරයෙන්ම දකිනු ඇත. එවිට ඇය ට තම ගැබද මේ අයුරින්ම ආරක්ෂා වන්නේ යැයි සිත සතුටු කර ගැනේ.
ස්වාමියා නිදහස් කිරීම
දරුවා ලැබීමට දින දෙක තුනකට කලින් ගම්මු පැමිණ ගැබ්බර මවගේ ස්වාමයාව ගොවිතැන් කටයුතු වලින් නිදහස් කරනු ලබයි ඔහු විසින් කළ ගොවිතැන් කටයුතු සියල්ල සිදුකරනුයේ ගම්මු විසිනි.
කල්වේලා ඇතිව වින්නඹුමාතාවට ආරාධනා කළයුතු වන්නේද ස්වාමයා විසිනි. ඒ ආරාධනාවත් සමග ගමේ වෙදරාළට ආරාධනා කරනුයේ දරුවා ඉපදීමට සිටින දිනයේදී නිවසට පැමිණෙන ලෙසටයි. තවද ගමේ වැඩිහිටියන් කිපදෙනෙකුටම ආරාධනා කරනුයේ හදසි රෝගාබාධයක් ඇති වුවහොත් ඊට අවශ්‍ය ඖෂධ ආදිය සොයා ගැනිමට උදව්වක් ලෙසට මෙසේ ආරාධනා ලැබ පැමිණෙන වැඩිහිටියන් හුළුඅතු ආන බැදගෙන ඒම සිරිතය. රාත්‍රි කාලයේදී ඔසු සෙවීමට සිදු වුවහොත් ඊට සූදානම් වීමකල් වේලා ඇතිව සිදුවිම මෙයින් ඇගවේ.
කළගෙඩි බිදීම
දරුවා නිරෝගිව මෙලොව එළිය දුටුපසුව ගෙවත්තේ පැගිරි ගහේ සංරක්ෂිතව තබා තිබූ කළගෙඩි තුනම ගලකගසා බිදීම දරුවාගේ පියා විසින් කළ යුත්තකි. දරුගැඹ ආරක්ෂා වී ඇති බව
මෙයින් හැගවේ.
ජනශ්‍රැත පර්යේෂක
මහින්ද කුමාර දළුපොත
සටහන- ශ්‍රියානි විජේසිංහ