free stats

මිනිස් සිරුර කියන්නේ සැබැවින්ම අපූරු නිමැවුමක්. විවිධ ඕනෑ එපාකම් වෙනුවෙන් වගේම විවිධ අවස්ථා වෙනුවෙන් මේ මිනිස් සිරුරේ අවයව නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදියට. ඒ අතුරිනුත් පිරිමි පුද්ගලයකුගේ සිරුරට වඩා කාන්තාවකගේ සිරුරෙහි සුවිශේෂී ලක්ෂණයන් දැකගත හැකි වෙනවා. එයට හේතුව වෙන්නේ කාන්තාවකගේ සිරුර දරු උපතකට සරිලන ආකාරයේ යම් යම් හැඩගැසීම් සමගින් අංග නිර්මාණය වී තිබීමයි. ශ්‍රෝනිමේකලා කියන්නේ මේ විදියේ එක් අංගයක්. මොකද්ද මේ ශ්‍රෝනිමේකලාව කියන්නේ, ඇයි අපි මේ පිළිබඳව කතා කරන්නට අවශ්‍ය, මේ ගැටළු ඔබටත් මතු වන්නට ඇති. මේ නිසාමයි අද අපි මේ පිළිබඳව කතා කරන්නට සිතුවේ.

සරලව හැඳින්වුවහොත් ශ්‍රෝනිමේකලාව කියන්නේ අස්ථියක්. අස්ථියක් කිව්වට තනි අස්ථියක් ම නෙවෙයි. යුගල තුනකින් සමන්විත අස්ථි පද්ධතියක්. මේ අස්ථි කුහරය තුළ තමයි ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රජනක පද්ධතිය පිහිටලා තියෙන්නේ ඒ අතුරින් කාන්තාවකට සුවිශේෂී වෙන ගර්භාෂය පිහිටලා තියෙන්නෙත් මේ කියන ශ්‍රෝනිමේකලාව තුළමයි. අපේ සිරුරෙහි පහළ කොටස පාද මගින් මෙම අස්ථි පද්ධතියට සම්බන්ධ වන අතර ම ඉහළින් කොඳු ඇට පෙළ මෙයට සම්බන්ධ වෙනවා.

කාන්තාවක ගර්භණී තත්ත්වයට පත්වූ පසුව පුංචි පැටියාගේ වර්ධනය සමග සිරුර මගින් නිපදවන රුක්ං නම් හෝමෝනය නිසා සිරුරේ හන්දි බුරුල් වීමකට ලක් වෙනවා. ඒ වගේමයි මස්පිඩු වල තියෙන ඇදෙන ස්වභාවය වර්ධනය වෙනවා. ඉතින් මේ නිසාම තමයි අපේ අම්මලාට කොන්දේ වේදනා මස්පිඩු වේදනාව ගර්භණී සමයේදී නිරන්තරයෙන් ඇති වන්නේ. මොකද සාමාන්‍ය කෙනෙකුගේ මෙන් නොවෙයි ගර්භණී සමයේදී ඉක්මනින් හන්දි ඇදීමට පෙරලිමට ලක් විය හැකි වීමයි. මේ කාරණාව සිරුරෙහි බොහෝ හන්දිවලට වගේම ශ්‍රෝනිමේකලාවටත් බලපෑම් කරනව.

ගර්භනී සමය තුල ඉහතින් සඳහන් කළ හන්දි බුරුල් වීම නිසාම ශ්‍රෝනිමේකලාව ආශ්‍රිතව වේදනාවක් ඇතිවන්නට පුළුවන්. මෙය බොහෝ වෙලාවට සාමාන්‍යයි. නමුත් මෙය අසාමාන්‍ය විය හැකි අවස්ථාවන්ද පවතිනවා. එනම්,

  • ගබ්සාවක් සිදුවීම.
  • නාළ ගැබ් ගැනීමක් සිදුවීම.
  • කලින් දරු උපත් සිදුවීම( අඩු මාස දරු උපත්)

යනාදිය හැඳින්විය හැකියි. මේ නිසාම මෙලෙස ඇතිවන ඕනි ශ්‍රෝනිමේකලාව ආශ්‍රිත කැක්කුම් නොසලකා හැරීමක් නොකළ යුතුයි. තවත් සරල විදියට අපි මේ කරුණු සඳහන් කළොත් ගර්භණී සමය තුළ ශ්‍රෝනිමේකලාව ආශ්‍රිත කැක්කුම් සාමාන්‍යයි.නමුත් එම කැක්කුම් අධිකව ඇති වන්නේ නම් හෝ කැක්කුම සමග ලේ වහනය සිදුවන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යයි. ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

අපි දන්නවා නාළ ගැබ් ගැනීමක් මගින් දරුවකු බිහි කළ හැකි වන්නේ නැහැ. වර්ධනය සමගින් කලලයට ඉඩ අවම වෙලා නාලය පුපුරා යාමක් පවා සිදු වන්නට පුළුවන්. එවැනි පුපුරා යාමකින් පසුව සිදුවන අභ්‍යන්තර ලේ වහනය භයානක තත්ත්වයක් විය හැකියි. නමුත් ඔබ කිසිසේත් අනියත බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ. නිසි අවධානයෙන් යුක්තව සිටීම තමයි මේ කාලයේ දී වැදගත් වන්නේ. එහෙම වුනොත් අපිට නිරෝගිමත් දරුවෙක් බිහි කිරීමේ අවකාශය උදා වෙනවා.

ශ්‍රෝනිමේකලාව සම්බන්ධව කතා කිරීමේදී දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන ඔබටත් දරුවෙක් බිහිකළ ඔබටත් වැදගත් වන කරුණු කිහිපයක් පවතිනවා. ඉන් ප්‍රධානතම කරුණ වනුයේ ව්‍යායාම පිළිබඳ සැලකිලිමත් වීමයි. දරුවකු බිහිකිරීමට පෙර ව්‍යායාම සිදු කිරීම මගින් දරුවා බිහි කිරීමෙන් පහසුව ඇති වෙනවා. ඒ වගේමයි දරුවකු බිහිකිරීමෙන් පසුව මෙකී ව්‍යායාමයන්‍හි නිරත වීමත් ඉතාම වැදගත්. මොකද ශ්‍රෝණිමේකලාව ආශ්‍රිතව පෙර සඳහන් කළ හන්දි ලිහිල් වීම යථා තත්ත්වයට පත් කළ හැකි පත් කර ගැනීමට ව්‍යායාම උපකාරී වීමයි. එමගින් ඇතැම් විට අප නොසිතන ගැටළු පවා වළක්වා ගත හැකි වෙනවා.

  • ගර්භාෂය ඉදිමීම.
  • නිරන්තරයෙන් මුත්‍රා පිට වීම

යන කරුණු මේ අතරින් ප්‍රධානයි. නමුත් ඔබ මේ ව්‍යායාම කළ යුතු වනුයේ නිවැරදි උපදෙස් මතයි ඒ සඳහා භෞතවේද චිකිත්සකවරයෙකු හෝ සුදුසුකම් ලත් ව්‍යායාම උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම අනිවාර්යයි. මෙලෙස ශ්‍රෝනිමේකලාව ආශ්‍රිතව ගර්භණී සමයේ දී අපට වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කළ හැකියි.

මෙහිදී සුවිශේෂී කරුණක් වශයෙන් ගර්භණී සමය තුළ දී අපගේ මව්වරුන් ව්‍යායාම පිළිබඳ සැලකිලිමත් වන්නේ ඉතාම අඩුවෙන්. නමුත් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් බොහෝ සංකූලතා මගහරවා ගත හැකියි. ඇතැම්විට ඔබේ රෝහලේ පවා මෙකී ව්‍යායාමයන් පිළිබඳ උපදේශන සේවා පවතිනවා විය හැකියි. වැදගත් වනුයේ ඔබ ඒ පිළිබඳ දක්වන උනන්දුවයි. එය නිවැරැදි හා පහසු දරු උපතකට මග පාදනු ඇත.

ඩී.බී නායකරත්න
වෛද්‍ය නිලධාරී සැලසුම්
දිස්ත්‍රික් මහ රෝහල කෑගල්ල

සටහන නදීශා ගයානි